Main Logo

Saturday 9 January 2021

සාමාන්‍ය නොවූ සාමාන්‍ය දැනුම

 සාමාන්‍ය නොවූ සාමාන්‍ය දැනුම


ලංකාවේ මිනිසුන්ගේ සාමාන්‍ය දැනුම කුමක් ද? මට මේ ප්‍රශ්නය අහන්න හිතුණේ එක් බටහිර වෙද මහතකු කියා තිබූ කරුණක් නිසා. ඔහුට අනුව ධම්මික වෙද මහතාගේ පැණිය ප්‍රතික්‍ෂෙප කිරීමට විශේෂඥ දැනුමක් අවශ්‍ය නැහැ. සාමාන්‍ය දැනුමක් ඇති අයකු එය ප්‍රතික්‍ෂෙප කරනවා. ඒ කතාව අපට මෙහෙම ලියන්න පුළුවන්. සාමාන්‍ය දැනුමක් ඇති අයකු ධම්මික වෙද මහතාගේ පැණිය ප්‍රතික්‍ෂෙප කරනවා.


දැන් මෙහි විලෝම ගණනාවක් ගැන අපට හිතන්න පුළුවන්. ධම්මික වෙද මහතාගේ පැණිය ප්‍රතික්‍ෂෙප කරන්නේ සාමාන්‍ය දැනුමක් ඇති අයයි.  සාමාන්‍ය දැනුමක් නැති අයකු ධම්මික වෙද මහතාගේ පැණිය පිළිගන්නවා. ධම්මික වෙද මතාගේ පැණිය පිළිගන්නේ සාමාන්‍ය දැනුමක් නැති අයයි. මේ ඒකාන්ත ප්‍රකාශ. ඒවා ද්විකෝටික කතා. ද්විකෝටිකය කියන්නේ චතුස්කෝටිකයේ කෝටික හතරෙන් දෙකක් බව පඬි නැට්ටන් දන්නේ නැහැ. චතුස්කෝටිකයේත් ඒකාන්ත පිළිතුරු දෙන්න පුළුවන්. චතුස්කෝටිකයෙත් කියන්න පුළුවන් රෙද්ද ගැලවිලා කියලා. අපේ රටේ ප්‍රධාන ම ප්‍රශ්නය සිංහල බෞද්ධයන් වෙනුවට ඊනියා තාර්කික බුද්ධිවාදී ඇති වීම. 


චතුස්කෝටිකයේ තවත් පිළිතුරු දෙන්න පුළුවන්. ඒ කොහොම වෙතත් ප්‍රශ්නය වන්නේ මෙහි කතා කරන සාමාන්‍ය දැනුම කුමක් ද යන්නයි. මා නම් ධම්මික වෙද මහතාගෙ  පැණිය පිළිගන්නවා විතරක් නොවෙයි එය මියන්මාරයට ගෙන්වා ගත හැකි ද කියාත් සොයා බලනවා. එයින් කියන්නේ මට සාමාන්‍ය දැනුමක් නැති බව ද? මට නැත්තේ කාගේ සාමාන්‍ය දැනුම ද? මගේ හුඟක් දැනුම් අඩු බව මා පිළිගන්නවා. මගේ නිර්මාණාත්මක ශක්තියත් දුර්වලයි. මට විද්‍යාඥයකු වීමට බැරි වුණා.


සාමාන්‍ය දැනුම එක එක තැන්වල විභාග කෙරෙනවා. දැනුම මිනුම තරග තියෙනවා. රූපවාහිනී නාළිකා එවැනි තරග පවත්වනවා. එහි සාමාන්‍ය දැනුම කියන්නෙ වැඩ සටහනේ අධ්‍යක්‍ෂගෙ නැන්නන් නිෂ්පාදකගෙ එහෙමත් නැත්නම් යම් ඔවුන් දන්නා කියන කණ්ඩායමක් තීරණය කරන සාමාන්‍ය දැනුම ද? ඒ අතර විවිධ පරීක්‍ෂණවලත් සාමාන්‍ය දැනුමක් විභාග කෙරෙනවා. ඒ ප්‍රශ්න පත්‍ර සකස් කරන්නන් ප්‍රශ්න තෝරා ගන්නේ කුමන පදනමකින් ද?


විවිධ උගතුන්ගෙ විවිධ සාමාන්‍ය දැනුම් තියෙනවා. බටහිර වෙද මහතුන්ගේ සාමාන්‍ය දැනුම ධම්මික වෙද මහතා වැනි ගැමියකුගෙ සාමාන්‍ය  දැනුමට වඩා වෙනස් වන්න ඕනෙ. පසුගිය දා මට ලැබුණු විද්‍යුත් ලිපියක හොඳ කතාවක් තිබුණ. රසායන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හැදෑරූ කාන්තාවක් කලකට පෙර නාවින්නේ ආයුර්වේද පර්යේෂණාගාරයේ සේවයට ගිහින්. ඇයට එවැනි පත්වීමක් දුන්නේ කෙසේ ද යන්නත් ඇය එවැනි පත්වීමක් භාර ගත්තේ කෙසේ ද යන්නත් මගේ සාමාන්‍ය දැනුමට අහුවෙන්නෙ නැහැ. අර තරුණ තරුණියන්ගෙ භාෂාවෙන් කියනවා නම් මගේ මීටරයට අහුවෙන්නෙ නැහැ. මගේ මීටරය කිසි දා හොඳ මීටරයක් වුණෙ නැහැ. 


දැන් මේ උපාධිධාරිණිය නාවින්නට ගියා ම එතැන තිබුණු උපකරණ දැකල පුදුම වෙලා. පුදුම වෙලා කියන්නෙ වශී වෙලා නො වෙයි. එතැන අඩු තරමෙ උෂ්ණත්ව මාපකයක්වත් තිබුණෙ නැහැ කියල ඇය කියා තිබෙනවා. දැන් ඇයගෙ සාමාන්‍ය දැනුම අනුව සාමාන්‍යයෙන් පරීක්‍ෂණාගාරයක (ඊනියා රසායනාගාරයක) තිබිය යුතු උපකරණ කිහිපයක් තියෙනවා. ඒ උපකරණ එකල නාවින්නෙ තිබිල නැහැ.


දැන් මේක කියවල කවුරන් හරි කියන්න බැරි නැහැ නාවින්නෙ හැමදාමත් උෂ්ණත්ව මාපක තිබුණ කියලා. මට එය සතපහකට වැඩක් නැහැ. කිසිම දේශීය වෙද මහතකු මගේ උණ උෂ්ණත්ව මාපකයකින් මැනල නැහැ.  ආයුර්වේද පර්යේෂණාගාරයක් කියන්නෙ මොකක් ද කියන එක ගැන මට වැටහීමක් නැති බව මා පිළිගන්නවා. ආයුර්වේද පර්යේෂණ කියන්නෙ මොනව ද කියන එක ගැනවත් මට දැනුමක් නැහැ. එහෙම පර්යේෂණ තියෙනවා නම් ඒ පර්යේෂණ බටහිර රසායන විිද්‍යාවෙ තියෙන පර්යේෂණ නොවන බවට නම් මට තේරුමක් තියෙනවා.


ලංකාවෙ සිංහල මධ්‍යම පංතිය තරම් අනුකාරකයන් තවත් නැහැ. ඉස්සර ඔවුන් හිටියෙ නගරාශ්‍රිත ව . දැන් නිදහස් අධ්‍යාපනයට හා රූපවාහිනී නාළිකාවලට පවු සිද්ධවෙන්න ඔවුන් හැම තැන ම දකින්න පුළුවන්.  ඊනියා උගත් ගැමි තරුණයන් අපට අරුණළු ගෙන එන්නෙ නැහැ. ගැමියන්ගෙ සාමාන්‍ය දැනුම මධ්‍යම පංතියෙ සාමාන්‍ය දැනුමෙන් වෙනස්. ගැමියන්ගෙ සාමාන්‍ය දැනුමේ දෙවියන් බුදුන් ඉන්නවා. උගත් ගැමි තරුණයන් ගැන කියන නාගරික මධ්‍යම පංතියෙ සාමාන්‍ය දැනුමේ පුනබ්භවයක්වත් නැහැ. 


ඔවුන්ට නිවනක් තියෙනවා ද නැද්ද දන්නෙ නැහැ. නිවනක් තියෙනව නම් ඔවුන් දැන් නිවන් දැකල. ඔවුන් සසරෙ යළි ඉපදෙන්නෙ නැහැ. ඔවුන්ගෙ සාමාන්‍ය දැනුමේ ගණිකාවන්ගෙන් යළි ඉපදෙන්න පුළුවන් ද කියල මා දන්නෙ නැහැ. තවත් සමහරුන්ගෙ සාමාන්‍ය දැනුමෙ සම්‍යක්දෘෂ්ටික දෙවියන් ඉන්නවා. වෙනත් දෙවියන් ඉන්නවා ද කියන එක පැහැදිලි නැහැ. ඔවුන්ගෙ සාමාන්‍ය දැනුමෙ දෙවියන්ගෙන් දැනුම දැනුම ලබා ගන්න බැහැ. දෙවියන් සමග සන්නිවේදනය කරන්නන් නැහැ. 


සමහරුන්ගෙ සාමාන්‍ය දැනුමට අනුව තියෙන්නෙ එක දැනුමක්. එක් ලෝකයක් එක් දැනුමක්. වෙනත් දැනුම් කියන ඒවා මිථ්‍යා. බොහෝ දෙනාගෙ සාමාන්‍ය දැනුමට අනුව ඒ ඒ දේ හා ඒ ඒ පුද්ගලයන් පවතිනවා. සමහරුන්ගෙ සාමාන්‍ය දැනුමට අනුව ඒ ඒ පුද්ගලයන් පවතින්නෙ නැහැ. පැවැත්ම කියන්නෙ මායාවක්. ඒත් ඔවුන්ගෙ සාමාන්‍ය දැනුමට අනුව මනස පවතිනවා. මගේ කසිකබල් මීටරෙට මනස අහුවෙන්නෙ නැහැ. එහෙමත් කියන්න බැහැ. මීටරේට මීටරේවත් අහුවෙන්නෙ නැහැ. සාමාන්‍යයක් වූ සාමාන්‍ය දැනුමක් අහුවෙන්නෙත් නැහැ.