Main Logo

Monday, 18 January 2021

වැවයි දාගැබයි

 වැවයි දාගැබයි   


මේ දවස්වල වැව් පිටාර ගලනවා. ඒ තරම් ලොකු වැස්සක් වැහැලත් නොවෙයි. ඊළඟට යම්තන් පායන කොට වැව් හිඳෙනවා. වැව් හැදුවෙ පොඩි වැස්සකට පිටාර ගලන්නවත් පොඩි පෑවිල්ලකට හිඳී යන්නවත් නො වෙයි. මේකට කරන පිළියම මොකක් ද? වැව් ප්‍රතිසංස්කරණය කිරීම තමයි විසඳුම. ඒත් ඒකෙන් කියන්නෙ මොකක් ද? ප්‍රතිසංස්කරණය කරන්නෙ කොහොමද? මොකක් ද අනුගමනය කරන ක්‍රමය.


කලකට පෙර මට මතක හැටියට චන්ද්‍රිකාගෙ ආණ්ඩුව කාලෙ ජ වි පෙ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙ පිටාර ගලද්දි ජ වි පෙ ඇමති කෙනකු වැව් සම්බන්ධ ව කටයුතු කළා. මගේ මතකය නිවැරදි නම් වැව් දාහක කතාවක් ඒ දවස්වල කියැවුණා. වැව් දහසක් ප්‍රතිසංස්කරණය කිරීම ලෙහෙසි වැඩක් නො වෙයි. සමහර විට ඒකට වෙලාවක් තියෙන්න නැතිව ඇති. ඒ වැව් දාහට මොකද වුණෙ කියල අහන එක වැඩකට නැති ප්‍රශ්නයක්. ඒවත් පිටාර ගලනව ඇති. 


වැව් ගැන කතා කරන්න හිතුණෙ ජ වි පෙ නායක සහෝදරයෙක් පහුගිය දා වැව් හැදුවෙ පිටරට ආයෝජකයන් ඇවිල්ල නොවෙයි කියල කියා තිබුණ හින්ද. ඒක නම් ඇත්ත. වැව් හැදිල්ල අපේ මිනිස්සු ඉගෙන ගත්තෙ කාගෙන් ද? වැව් හැදුවෙ කවුද? ඔය ප්‍රශ්නවලට උත්තර දෙන්න ගියා ම තව තව ප්‍රශ්න ඇති වෙනවා. අපි දාගැබ් හදන්න ඉගෙන ගත්තෙ කාගෙන් ද? මා කලින් දවසක කිවුවා දාගැබ් පිරමිඩ් වර්ගයක් කියල. ඒ කතාවට අවශ්‍ය වන්නෙ පිරමිඩයක් කියන්නෙ මොකක් ද කියන එක වෙන විධියකට නිර්වචනය කරන එක විතරයි. මට එදා කියන්න අමතක වුණා. පිරමිඩයට මා දුන් නිර්වචනය අනුව කේතුවත් පිරමිඩයක් වෙනවා. 


අපි වැවයි දාගැබයි ගැන කතා කරනවා. ඒත් වැව් දාගැබ් හැදුවෙ කොහොමද කියල දන්නෙ නැහැ. දැනගන්න වුවමනාවකුත් නැතිව වගෙයි. අද ඉන්න සිවිල් ඉංජිනේරු මහත්තුරු දන්නවා ද වැව් හදන්න. දාගැබ් නම් හදනව තමයි. ඒත් ඉස්සර විධියට නො වෙයි. 


කොහොමත් ජ වි පෙ වැව් ගැන කතා කළත් වැව් දාහක් ප්‍රතිසංස්කරණය කරන්න කතා කළත් වැව් හදන හැටි දන්නෙ නැහැ. ලෙනින් හරි මාඕ හරි අඩු තරමෙන් විජේවීර හරි ඒ ගැන මොකුත් කියල නැතිව ඇති. පහුගියදා බෙල් බොටම් විහාර මහා දේවිලගෙ ඉඳන් බෙල් බොටම් වික්ටෝරියාලට පිම්මක් පැන්න චම්පක නම් කියන්නෙ ජ වි පෙරමුණ මනෝරාජික පක්‍ෂයක් කියල. චම්පකත් සිවිල් ඉංජිනේරුවෙක් නො වෙයි. ඔහුත් දන්නෙ නැතිව ඇති වැව් හැදුවෙ කොහොමද කියල. 


වැව් හදන්න පිටින් ආයෝජකයොවත් ඉංජිනේරු මහතුන්වත් අවශ්‍ය නැහැ. ඒත් ප්‍රශ්නය තියෙන්නෙ අවශ්‍ය කාවද කියන එකේ  හා ඒ අය ලංකාවෙ ඉන්නෙ කොහෙද කියන එකේ. ඉස්සර වැව් ගැන කතා කරපු තැනැත්තෙක් හිටිය මුදියන්සෙ තෙන්නකෝන් කියල. ඒ අර මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් වෙලා හිටපු තැනැත්තා නො වෙයි. ඒ වුණාට ඔහුට කිවුවෙ අගමැති අයිය කියල. එඩ්මන්ඩ් රණසිංහගෙ අධීක්‍ෂණය යටතෙ දිවයින ජාතික පුවත්පතක් ලෙස තිබුණ කාලෙ අගමැති අයිය වැව් ගැන ලිව්ව ලිපි පෙළක් දිවයිනේ පළ වුණා. කා ළඟ හරි ඒ ලිපි තියෙනව නම් පොතක් ලෙස පළ කරන එක හොඳය කියා හිතෙනවා. 


අගමැති අයියා විජේවීර එක්කත් සම්බන්ධකම් පැවැත්තුවා. කඳුකරයේ තේ ගස් උගුල්ලන්න කියල විජේවීරට කිවුවෙ අගමැති අයියා. විජේවීරට ඒක කරන්න හම්බ වුණෙ නැහැ. අනුර දිසානායකට හම්බ වෙන්නෙත් නැහැ. අගමැති අයියා පොල්පොට් ගැනත් කිවුව. මට මතක හැටියට ඔහු ගවේෂකයන්ගෙ ආරාධනයෙන් කොළඹ විශ්වවිද්‍යාලයෙ නව කලාගාරයෙ දේශනයක් පැවැත්තුව. ඒ දේශනයට විශාල පිරිසක් සහභාගි වුණා කියල මගේ මතකයෙ තියෙන්නෙ.  මගේ මතකය කවදත් එතරම් හොඳ නැහැ. 


මා දැක්ක සිවිල් ඉංජිනේරුවකු වූ සංජීව විජේසිංහ වැව් ගැන ලියල තියෙනවා. අර ඖෂධහාමිත් වැව් ගැන ලියනවා. ඖෂධහාමිලගෙ පියාගෙ පරම්පරාවෙ අය වැව් ගැන යමක් දැන හිටියා. ඒ හතළිස්තුනේ බළකායෙ අය නොවෙයි. හතළිස්තුනේ බළකායෙ ඉන්නෙ වික්ටෝරියල මිස විහාරමහාදේවිල නො වෙයි. නිදහස් අධ්‍යාපනයෙන් අපට ලැබිච්ච දේට වැඩියි නැතිවෙච්ච දේ. අපි කියල කියන්නෙ සමස්තයක් හැටියට රටට. පෞද්ගලික ව නම් අර තනතුර මේ තනතුර ලැබෙන්න ඇති. 


අවාසනාවකට අද වැව් ගැන ටිකක්වත් දන්න අය නැති තරම්. දැනගෙන හිටි පරම්පරාව දැන් නැහැ. දැන් මොකද කරන්නෙ. ඔය වැව් ටික යන්ත්‍රෝපකරණ යොදල හෑරුවොත් ඒ තමයි වැවේ අවසානය. වැව් හදන හැටි නඩත්තු කරන හැටි බටහිර තාක්‍ෂණයෙන් දැන ගන්න බැහැ. කාම්බෝජයේ වැව් තියෙනවා. කාම්බෝජයේවත් ඉන්නවද දන්නෙ නැහැ වැව් නඩත්තු කරන්න දන්න අය. කාම්බෝජයෙ වැව් අපේ වැව් තරම් පරණ නැහැ. බොහෝ විට අපෙන් එහාට වැව් හැදිල්ල යන්න ඇති කියල හිතෙනවා. කවුරු හරි ඒ ගැන අධ්‍යයනයක් කරනවද? ඒත් මා හිතන්නෙ නැහැ කරයි කියල. අපට ඒව ගැන උනන්දුවක් නැහැ. මා අත්දැකීමෙන් කියන්නෙ.


කාම්බෝජයෙ ජාතික කෞතුකාගාරයෙ තමයි දැනට දැකල තියෙන පරණ ම ශූන්‍යය සංකේතය (0) තියෙන්නෙ. ඒක හත්වැනි සියවසේ. ශූන්‍යය අද අපි හින්දුන්ට දීල. අපිට ථෙරවාද බෞද්ධයනට බිංදුව. ඒත් ශූන්‍යයට සංකේතයක් නිර්මාණය කරන්න බැහැ ශූන්‍ය සංකල්පය නැතිව. ඒක බෞද්ධයනට තිබුණ. සීගිරියෙ පස්වැනි සියවසට අයත් ශූන්‍ය සංකේත තියෙනවා. ඒත් ඒ සංකේතය බිංදුව (0)  නො වෙයි. හල් කිරීම. මා ඒ ගැන කලකට පෙර ලිවුව. පුරාවිද්‍යාඥයන්ට කිවුව. කිසිවකු සතපහකට ගණන් ගත්තෙ නැහැ. හල් කිරීම ශූන්‍යය සඳහා යොදා ගැනීමටත් හේතුවක් මා කිවුව. හල් කිරීම බිංදුව (0) බවට පත් වූයේ කෙසේ ද යන්න ගැනත් මට කතාවක් තියෙනවා. ඒත් කාටවත් සීගිරි ගිහින් බලන්නවත් වුමනාවක් තිබුණෙ නැහැ.


කාම්බෝජයෙ වැව් ගැන දන්න අය නැත්තන් කරන්න තියෙන්නෙ ඒ දැනුම උඩින් ගන්න පුළුවන් ද කියල බලන එක. ඊනියා පශ්චාත් උපාධිධාරීන්ට ඒ දැනුම නැති වුණත් ඔය බාසුන්නැහැ කෙනකුට තියෙන්න පුළුවන්. අපට අවශ්‍ය හතළිස්තුනේ බළකායකට වඩා වෙනත් බළකායක්.  ඔය අධ්‍යාපනයෙන් බිහිවෙච්ච අය අවශ්‍ය වන්නෙ අපට වඩා වෙනත් අයට.