ඊනියා උගතුන්ගෙ විද්‍යාත්මක අවුරුද්ද
ජනවාරි පළමුවැනි දා මුළු ලෝකයට ම වගේ අලුත් අවුරුද්දක් ඇරඹෙනවා. ඒක එහෙම වෙන්නෙ මොක ද? විවිධ රටවල විවිධ දවස්වල අලුත් අවුරුද්දක් ඇරඹෙනවා. ඒත් ඒව ගණන් ගන්නෙ නැහැ. ථෙරවාදී ලෝකයේ ම අලුත් අවුරුද්ද ඇරඹෙන්නේ අප්‍රේල් 13 14 දවස්වල. අප කුඩා කල අවුරුද්ද කිවුවෙ ඒ බක් මහේ ලබන අවුරුද්දට. ජනවාරි පළමුවැනි දා අපට අවුරුද්දක් උදා කෙළේ නැහැ. අපි එයට ජනේරුව කිවුව. ඒත් අද වන විට ජනවාරි පළමුවැනි දා තමයි අවුරුද්ද උදාවෙන්නෙ. බක් මහේ අවුරුද්ද සිංහල අවුරුද්ද කරල. ඒක වෙදකමෙත් වෙලා. එදා අප බෙහෙත් ගන්න ගියෙ වෙදමහත්තයා ළඟට. බටහිර වෙදකමේ බෙහෙතක් ගන්න ගියා ම කිවුවෙ ඉංගිරිසි බෙහෙත් ටිකක් ගන්න ගියා කියල. අද ඉංගිරිසි බෙහෙත් තමයි බෙහෙත. අනෙක සිංහල බෙහෙත වෙලා.
මේ වෙනස ඇති වෙන්න මොන විධියට ගත්තත් අවුරුදු
පනහක් ගියෙ නැහැ. පඬිනැට්ටන් කියනවා අප බටහිර දැනුම යෙදා ගන්නෙ එහි තියෙන ආධිපත්‍යයක්
නිසා නොව එය නිවැරදි නිසා කියල. එය විද්‍යාත්මක නිසා කියල. ඒත් අපි බක් මහේ
අවුරුද්දෙන් ජනවාරි අවුරුද්දට මාරු වුණෙ ඒකෙ තියෙන මොන නිවැරදිකමක් නිසා ද? ඒකෙ
මොන විද්‍යාවක් තියෙන නිසා ද? බක් මහේ අවුරුද්ද නම් අර සූර්යයා මීනයෙන් මේෂයට යන නිසා ඇති වෙන
එකක්. සූර්යයාට තියා කාට වුණත් ගමන් කරන්න පුළුවන් තවත් අයකුට සාපේක්‍ෂව පමණයි.
ඊනියා නිරපේක්‍ෂ චලිත කොහෙද තියෙන්නෙ. සූර්යයා සුර්යයාට සාපේක්‍ෂ ව නම් නිශ්චල ව
ඉන්නෙ. මා ඒ ටික කිවුවෙ සූර්යයා නෙවෙයි පෘථිවිය තමයි යන්නෙ කියන පඬියන්ට. පෘථිවිය
සූර්යයාට සාපේක්‍ෂ ව යනවා. මට සාපේක්‍ෂව නම් යන්නෙ නැහැ. මට සාපේක්‍ෂ ව සූර්යයා
නම් යනවා.
කොහොමත් අපි ජනේරුවට එමු. ජනේරුව ගැන විවිධ කතා
තියෙනවා. එකක් තමයි ජනවාරි මාසය ම ජානුස් කියන දෙවියන්ගෙ නමින් තියෙන මාසය කියන
එක. ඒ මාසෙ පළමුවැනි දා ජානුස් දෙවියන්ට වෙන් කරල. මේක රෝම කතාවක්. ඒත් මට පොඩි ප්‍රශ්නයක්
තියෙනවා. අද ලෝකෙ යොදා ගන්නෙ ග්‍රෙගරියානු දින දර්ශනය. මායාවරුන්ගෙ දින දර්ශනය එයට
වඩා සියුම් වුවත් ලෝකයා එය යොදා ගන්නෙ නැහැ. සිංහල මාස ක්‍රමය යොදා ගන්න කවුද
හිතන්නෙ? මුළු ලෝකෙ ම ග්‍රෙගරියානු දින දර්ශනය යොදා
ගන්නෙ ඒක නිවැරදි නිසා ද? නැත්නම් විද්‍යාත්මක නිසා ද? බටහිර
ආධිපත්‍යය නිසා ද?
ජනේරුව තිබුණෙ ජුලියානු දින දර්ශනයට අනුව. දැන්
මේ ග්‍රෙගරියානු දින දර්ශනයෙත් ජනේරුව තියෙනවා.
ඒ ජනේරුවයි මේ ජනේරුවයි දෙක ම එක ද?
මා එහෙම අහන්නෙ ජුලියානු හා ග්‍රෙගරියානු
දින දර්ශන අතර දවස් දහයක පමණ වෙනසක් තියෙන නිසා. ජුලියානු දින දර්ශනය අනුව නිවුටන්, ඔවු
ඔවු අර ඇපල් නිවුටන්, ඉපදිල තියෙන්නෙ 1642
දෙසැම්බර විසිපහ. ඒත් ග්‍රෙගරියානු දින දර්ශනය අනුව 1643
ජනවාරියෙ. රොබට් නොක්ස් කියන දවස්වලටත් දින කිහිපයක් එකතු කරන්න වෙනවා අදට ගැලපෙන
විධියට කියන්න නම්. නොක්ස්ට අනුව එකල
අවුරුද්ද ලබල තියෙන්නෙ මාර්තු විසිගණන්වල.
දින වෙනස කොහොම හරි හරිගස්ස ගත්ත කියමු. ජනේරුව
ගැන තවත් මත තියෙනව. ග්‍රෙගරියානු දින දර්ශනයට අනුව යේසුස් වහන්සෙ ඉපදිල තියෙන්නෙ
දෙසැම්බර් 25. යේසු බිළිඳා සුන්නත් කරල තියෙන්නෙ ඉපදීමෙන්
පටන් ගන්න අටවැනි දවසෙ ඒ කියන්නෙ ජනවාරි පළමුවැනි දා. එදා තමයි අවුරුද්ද පටන්
ගන්නෙ කියල සමහරු කියනව. යේසුස් වහන්සෙ ඉපදුණෙ යුදෙව්වකු ලෙස බව අමතක කරන්න එපා.
සුන්නත් කිරීම බටහිර ආසියාවෙ චාරිත්‍රයක්. දූවිල්ලෙන් (පස වෙන්නත් පුළුවන්) මවන
කතාව ඒ පළාතෙ මිසක් උතුරු යුරෝපයෙ පිණි මුවන් අතර කතාවක් නො වෙයි. එහෙ ඒ කතාව
හැදුව නම් කියන්නෙ වෙන්නෙ හිමෙන් මැවුව කියලා.
දූවිල්ලෙන් සැදුණු ලියේ බාලොලියේ බාලොලියේ මතක් වෙනවා.
ඔය අතරෙ තව කතාවක් තියෙනවා. ඒ මිත්‍රත් එක්ක
සම්බන්ධයි. මිත්‍ර කිවුවෙ රෝහිණී පොතේ මිත්‍ර සෙනවියා නො වෙයි. ඇත්තට ම නන්දිමිත්‍ර
ට ඒ නම දැම්මෙ මොක ද? නන්දි කියන්නෙ ගවයන්ට නිසා ද? එහෙම නැත්නම් මිත්‍රගෙ නෑදෑකමට ද? ඒ
මොකක් වුණත් අපේ කතාවෙ මිත්‍ර කියන්නෙ වෛදික දෙවියෙක් කියනව. ඔය දෙවියන් සූර්ය
දෙවියන් කියලත් කියනවා. මිනිසුන්ට සූර්යයා නැතිව අවුරුදු නැහැ. මිත්‍ර වෛදිකයන්ගෙන්
බැබිලෝනියාවට මිසරයට සහ තවත් රටවලට ගිහින් රෝමයටත් ඇවිත් තියෙනවා. ඒ කියන්නෙ ඒ ඒ සංස්කෘතීන්
මිත්‍ර තම තමන්ට ගැලපෙන විධියට අවශෝෂණය කර ගෙන.
මිත්‍ර නැත්නම් සූර්යයා ඔය පොළොව වටේ යන ගමන එක
විධියකට කරන්නෙ නැහැ. නැගෙනහිරින් පායල බස්නාහිරින් බැස යන ගමන් උතුරටත් දකුණටත්
ගමන් කරනවා. ඒ නිසා තමයි බටහිර සෘතු හතර හැදෙන්නෙ. අද වන විට උත්තරාර්ධ ගෝලයෙ ශීත
සෘතුව. ඒ සූර්යයා මේ දවස්වල දකුණට ගිහින් තියෙන නිසා. සූර්යයා ඔය උතුරු දකුණු
ගමනෙදි දකුණට ගිහින් ආපහු උතුරට යන්න හැරෙන දවසක් තියෙනවා. බටහිර තාරකා විද්‍යාවට
අනුව ඒක වෙන්නෙ ග්‍රෙගරියානු දින දර්ශනයෙ දෙසැම්බර් 21.
මිත්‍ර දෙවියා ඊජිප්තුවෙත් දෙවි කෙනෙක්.
ජුලියස්ලා ඔගස්ටස්ලා, ඔක්කොම සීසර්ල, ඊජිප්තුවෙ
නැත්නම් මිසරයෙ ක්ලියොපැට්රව බලා ගත්ත නොවැ. මිත්‍රට මිසරයෙ රා දෙවියන් නැත්නම්
සූර්ය දෙවියන් කියල කිවුව. රාවණ මතක් වෙනවා ද?
මිත්‍ර දෙවිය, ඒ කියන්නෙ සූර්යයා, අර උතුරු දකුණු ගමනේ දී දකුණට ගිහින්
උතුරට හැරෙන්නෙ දෙසැම්බර් 25 වැනි දා. ග්‍රෙගරියානු දින දර්ශනයට
අනුව තමයි. ඉන් හත්වැනි දවසෙ තමයි අවුරුද්ද දැන් පටන් ගන්නෙ. ඉස්සර දින දර්ශනයට
අනුව දෙසැම්බර් 25 ද කියල හොයල බලන්න ඕන. එහෙමත් නැත්නම්
ජුලියානු දින දර්ශනයෙ දෙසැම්බර් 15 ද දන්නෙ නැහැ.
හැබැයි ඔය මිත්‍ර දෙවියන් හා යේසුස් වහන්සේ අතර
සමානකම් තියෙනවා. මිත්‍ර රෝමයට ගිහින් තියෙන්නෙ, රෝම සංස්කෘතියට අවශෝෂණය කෙරී
තියෙන්නෙ කිතුවසින් හැත්තෑවකට පමණ පෙර.
මිත්‍රවාදය කියල හඳුන්වන්න පුළුවන් දැනුම් පද්ධතියකට (වෛදික මිත්‍රගෙ
විකාශයක්) අනුව මිත්‍ර ඉපදිලා තියෙන්නෙ
දෙසැම්බර් 25 වැනි ද දවසක
අනහිත කියන කන්‍යාවියකගෙ කුසින්. මිත්‍ර ළදරුවා ඔරුවක තමයි නිදි කරවල
තියෙන්නෙ, එඬේරුන් තමයි බලාගෙන තියෙන්නෙ. මිත්‍රත්
තැනින් තැන ගිහින් උගන්නපු ගුරුවරයෙක්. ඔහුටත් අනුගාමිකයන් දොළොස් දෙනකු
ඉඳලා තියෙනවා. මිත්‍රත් ප්‍රාතිහාර්ය පාලා තියෙනවා. ඔහු ලෝක සාමය වෙනුවෙන් දිවි
පුදාල තියෙනවා. ඔහු ස්වර්ගයට නැගී ගිහින් තියෙනවා. මිත්‍රවාදයෙ ඕන නම් මිත්‍ර ආගමෙ සත්ප්‍රසාදයක් තියෙනවා.
යේසුස් වහන්සෙ කොහෙ උපන්නත් ක්‍රිස්තියානි ආගම
හා රෝමය අතර සම්බන්ධයක් තියෙනවා. බටහිර ආසියාව
අද ප්‍රධාන වශයෙන් මුස්ලිම් නැත්නම් යුදෙවු. ඒක වෙන ම කතා කරන්න ඕන දෙයක්.
මට මෙහි දී අවශ්‍ය වුණෙ ජනවාරි පළමුවැනි දා අලුත් අවුරුද්ද ලෝකයට ම ගියෙ ඒකෙ තියෙන
නිවැරදිබවක් නිසා ද ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් නිසා ද බටහිර ආධිපත්‍යය නිසා
ද කියන එක කතා කරන්නයි. බටහිර දැනුම සිිරිත් විරිත් අප මත පටවන්නෙ ඊනියා විද්‍යාවක්
හින්ද නො වෙයි. ආධිපත්‍යය හින්ද.
බටහිර විද්‍යාව අප මත පටවන්නෙත් ඒ ආධිපත්‍යය
යොදා ගෙන. බටහිර විද්‍යාවයි තාක්‍ෂණයයි කියන්නෙ එකක් නොව දෙකක්. ඒ දෙක ම එක ම
චින්තනයක බිහි වන්නෙ. බටහිර තාක්‍ෂණයෙ නිර්මාණ කරන අය බටහිර විද්‍යාව ඉහළින් දන්න
අය නො වෙයි. ලංකාවෙත් ඔය එක එක නිර්මාණ
කරන තරුණයන් බටහිර විද්‍යාව වැඩිය දන්න අය නො වෙයි. බටහිර තාක්‍ෂණය අද මිනිසුන්ගෙ
ආශාව වර්ධනය කරනවා. ඒ තාක්‍ෂණයට අද ඉල්ලුමක් තියෙනවා. බටහිර විද්‍යාව පවතින්නෙත්
බටහිර තාක්‍ෂණය නිසා.
බටහිර අධ්‍යාපනය, බටහිර ජනමාධ්‍ය, බටහිර
කලාව ආදිය තමයි අපට බටහිර කතා කියා දීමට යොදා ගන්නෙ. අපට අද උත්සව සමය කියන්නෙ
නත්තල් ජනේරු කාලය. ඒකෙ තියෙන විද්‍යාව මොකක් ද? බොහොම ඉස්සර අපේ උත්සව සමය වුණෙ පොසොන්
සමය. දේවානම්පිය තිස්ස රජු ඒ කාලෙ උත්සව පැවැත්තුව. මිහිඳු හාමුදුරුවන් උත්සව කාලෙ
ලංකාවට වැඩිය.
අද ඊනියා උගතුන් පැණියට හිනාවෙන්නෙ ඊනියා විද්‍යාවක්
බදා ගෙන. රෝමයන් එංගලන්තය යටත් කර ගත්තෙ නැත්තන් ලෝකෙ කොහොම තියෙයි ද? රෝමයෙ
ඇති වෙච්ච කතෝලික ආගම බටහිර යුරෝපයට නොයන්න මොනව වෙන්න තිබුණ ද? කතෝලික
ආගම පහළොස්වැනි සියවසේ චින්තන විප්ලවයකට හසු නොවන්න බටහිර විද්‍යාවක් ඇති වෙන්න
තිබුණ ද? මාටින් ලූතර් නැත්තන් බටහිර විද්‍යාව ඇති වෙන්න
පුළුවන් ද? මේ ප්‍රශ්න වැඩක් නැති ප්‍රශ්න තමයි. අපට
ආපස්සට ගිහිල්ල බලන්න බැහැ මොකද වෙන්න කියල.
ලංකාවෙ මේ උගතුන් ඇති වීම වෙන ම කතා කරන්න ඕන.
ඒ අය බිහිවුණෙ කසිකබල් අධ්‍යාපනයකින්. ඔය අධ්‍යාපනය ප්‍රභූ පාසල්වල පටන් ගත්තෙ
සිංහල උගන්වන ගුරුවරයාට අපහාස වන අන්දමින් ගමයා කියල. මේ උගතුන් බිහි කරපු අලුත්
දැනුමක් නැහැ. අලුත් පැණියක් නැහැ. ඔවුන් කරන්නෙ පිටරට පැණි විකුණන එක විතරයි.
ඔවුන් හිතනවා ඇති තමන් ඊනියා විද්‍යාඥයන් කියා. මා නම් විද්‍යාඥයකු නො වෙයි. මා
විද්‍යාඥයකු කියල කියන්නෙ ආචාර්ය උපාධියක් ලබා ගත්තු අයකුටවත් ඊනියා පර්යේෂණ පත්‍රිකා
දෙතුන්සීයක් පළ කරපු අයකුටවත් නො වෙයි. බටහිර විද්‍යාවට දැනෙන යමක් කේන්ද්‍රයට එකතු
කළ අයකුට. මා නම් එහෙම කරල නැහැ.