Main Logo

Wednesday, 13 January 2021

අපේ පැත්තෙන් අසමත් විශ්වවිද්‍යාලය

 

අපේ පැත්තෙන් අසමත් විශ්වවිද්‍යාලය

 

මේ මස විසිඑක්වැනි දා ට විශ්වවිිද්‍යාල ආයතනය පිහිටුවා අවුරුදු සීයක් ගතවෙනවා. මේ ලිපියත් ලබන බදාදා (20) ලිපියත් ඒ වෙනුවෙන්. විශ්වවිද්‍යාල ආයතනයක් කියන්නෙ විශ්වවිද්‍යාලයක් නො වෙයි. ඒත් තවමත් ලංකාවේ තියෙන්නේ නම මොකක් වුණත් විශ්වවිද්‍යාල ආයතන. ඒ නිසා අපට ලංකාවේ විශ්වවිද්‍යාල ආරම්භය 1921ට ගෙනි යන්න පුළුවන්. 1921 දි ඇති කෙළෙ ලන්ඩන් විශ්වවිද්‍යාලෙ උපාධිවලට සිසු සිසුවියන් පුහුණු කරන ආයතනයක්. එහි විෂය නිර්දේෂ නියම කිරීම,  ප්‍රශ්න පත්‍ර සැකසීම, පිළිතුරු පත් බැලීම ආදිය කෙරුණෙ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන්. ඉගැන්වීම හා විභාග අධීක්‍ෂණය තමයි ලංකාවෙ ගුරුවරුන්ගෙන් කෙරුණෙ. ඒකට ඔවුන්ට ගෙවීමක් කෙරුණා. අදත් ලංකාවෙ කථිකාචාර්යවරුන්ට විභාග අධීක්‍ෂණයට ගෙවීමක් කෙරෙනවා. ඉගැන්නුවත් නැතත් වැටුපක් ගෙවනවා.

 

විශ්වවිද්‍යාල ආයතනය පිහිටුවීම ගැන පස්සෙ කියන්නම්. ඒ ආයතනයත් 1870 පිහිටුවන ලද වෛද්‍ය විද්‍යාලයත් එකතු කරල 1942 දි ලංකා විශ්වවිිද්‍යාලය පිහිටෙව්වා. 1952 දි ශාස්ත්‍ර හා පෙරදිග අධ්‍යයන පීඨ පේරාදෙණියට ගෙනිච්ච. ඊට පෙර 1949 දි කෘෂිකර්ම, පශු වෛද්‍ය හා නීති අධ්‍යයනාංශ පේරාදෙණියට ගෙනියල තිබුණ. 1961 දි දෙවැනි විද්‍යා පීඨයක් හා දෙවැනි වෛද්‍ය විද්‍යා පීඨයක් පේරාදෙණියේ පිහිටෙව්වා. 1964 දි ඉංජිනේරු පීඨය පේරාදෙණියට ගෙනයෑම ඇරඹුණා. විශ්වවිිද්‍යාලය අරුප්පලට හා තවත් තැන්වලට ගෙනි යන්නත් කතා තිබුණා. මා දැක්කා පඬි නැට්ටකු ලියා තිබුණා පේරාදෙණිය හා අරුප්පල එක තැන යන තේරුම එන විධියට. අරුප්පලට යන්නෙ මහයියාවෙ රා කඩේ ළඟින් හැරිල. සමහර විට විශ්වවිද්‍යාලයට එතැන හොඳ වෙන්න තිබුණ.

 

ඒ කොහොම වෙතත් 1967 ඔක්තෝම්බරයෙ දි ලංකා විශ්වවිද්‍යාලය දෙකට කැඩුවා. එකක් පේරාදෙණියෙ. එය ලංකා විශ්වවිද්‍යාලය නමින් ම ගෙන ගියා. අනෙක කොළඹ විශ්වවිද්‍යාලය කියල නම් කෙරුණ. කොළඹ වෛද්‍ය ශිෂ්‍යයන්ට ඒක ප්‍රශ්නයක් වුණා. ඔවුන් කියා හිටිය එංගලන්තෙ දන්නෙ ලංකා විශ්වවිද්‍යාලය කියන එක මිසක් කොළඹ නොවන බවත් ඒ නිසා ඔවුන්ට එංගලන්තයෙ ලියා පදිංචියට බාධාවක් කියාත්. ඒ ප්‍රශ්නය දුර දිග ගියා. පන්ති වර්ජනත් තිබුණා. කොළඹ විශ්වවිද්‍යාලෙ සිසුන් එම් ඒ ජස්ටින්ගෙ නායකත්වයෙන් (පරණ) පාර්ලිමේන්තුව වැටළුවා. ජස්ටින් කතානායක අසුනෙ වාඩිවෙලා රැස්වීමකුත් පැවැත්තුව. කොළඹ විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා කියල නම් කෙරුණා. 1972 දි සියලු විශ්වවිද්‍යාල එකතු කරල ලංකා විශ්වවිද්‍යාලය පිහිටෙවුවා. විශ්වවිිද්‍යාල මණ්ඩප වුණා. 1978 දී නැවතත් වෙන වෙන ම විශ්වවිද්‍යාල නම් කෙරුවා. දැන් කොළඹ විශ්වවිද්‍යාලයත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් තියෙනවා. අප උපාධි ලත් ලංකා විශ්වවිද්‍යාලය නැහැ. විශ්වවිද්‍යාල ආයතනයෙ අනුප්‍රාප්තිකයන් ලෙස කොළඹ විශ්වවිිද්‍යාලය වගේ ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් සලකන්න පුළුවන්.

 

මා 1963 ජූනි මාසෙ ඇතුල් වුණෙ ලංකා විශ්වවිද්‍යාලයෙ පේරාදෙණියට. 1964 ඔක්තෝම්බරයෙ ගණිතය හැදෑරීමට කොළඹට ආවා. 1967 ලංකා විශ්වවිිද්‍යාලයෙන් උපාධිය ලැබුණා. 1967 ඔක්තෝම්බරයෙ පේරාදෙණියට පත්වීමක් ලැබුණා. 1975 දි අස්වෙලා ඕස්ත්‍රේලියාවට ගියා. ඒ බිරිඳ ලොකු පුතාත් (ළදරු)  සමග පශ්චාත් උපාධිය සඳහා ගිය නිසා. අප 1977 අවසන ආපසු ආවා. පේරාදෙණි මණ්ඩපය මා නැවත බඳවා ගැනීම ප්‍රතික්‍ෂෙප කළා. මණ්ඩපයත් විශ්වවිද්‍යාලයත් තීරණය කරල තිබුණ මා නුසුදුස්සකු කියල. ඒ දිනවල, 1972න් පස්සෙ එක විශ්වවිද්‍යාලයයි තිබුණෙ. පේරාදෙණිය මණ්ඩපයෙන් ප්‍රතික්‍ෂෙප වුණු මා කොළඹ මණ්ඩපයෙන් ද ප්‍රතික්‍ෂෙප වුණා. කොළඹට ඉල්ලුවා ම ගත්තෙ නැහැ. 1978 ජේ ආර් නැවත විශ්වවිද්‍යාල වෙන් කළාට පසු ජේ ආර්ගෙ ඥාතියා ස්ටැන්ලි විජේසුන්දර මා කොළඹට බන්දා ගත්තා. 1978 ජේ ආර් විශ්වවිද්‍යාල වෙන් නොකරන්න මට ඒ පත්වීම ලැබෙන්නෙ නැහැ. 1992 දි ජී එල් පීරිස් සහ පාලක මණ්ඩලය මා කොළඹින් අස් කළා.

 

මා මේ ටික සඳහන් කෙළෙ කොළඹත් පේරාදෙණියෙත් දෙකේම ඉගෙන ගත්ත කියා කියන්න පුළුවන් (මා ඉගෙන ගත්ත දෙයක් නැහැ) දෙකේ ම ඉගැන්නුවාය කියන්න පුළුවන් (මා උගන්නපු දේකුත් නැහැ) දෙකෙන් ම ප්‍රතික්‍ෂෙප වුණු එකම තැනැත්තා මා විය හැකි නිසා. ඒ නිසා විශ්වවිද්‍යාල ආයතනයට මගේ ඇති සම්බන්ධය වැඩියි. ඒත් ඒ අය කැමති වෙන එකක් නැහැ මා එක්ක සම්බන්ධකම් පවත්වන්න.

 

ලංකාවට විශ්වවිද්‍යාලයක් අවශ්‍ය කියා මුලින් ම හඬ නැගුවෙ පොන්නම්බලම් රාමනාදන් ජේම්ස් පිරිස් මාකස් ප්‍රනාන්දු ප්‍රධාන අය. ඔවුන් තිදෙනා ම රාජකීය විද්‍යාලයෙ ආදි සිසුන්. ඔවුන්ගෙ නමින් පේරාදෙණියෙ ශාලා තියෙනවා.  ලංකාවෙ ප්‍රභූන් විශ්වවිද්‍යාලයක් ඉල්ලුවට ඉංගිරිසි ආණ්ඩුව එයට කැමැත්තැක් දැක්වූයේ නැහැ. ඒ ඇයි ද කියන එක මට තේරෙන්නෙ නැහැ. ඔවුන් මියන්මරයට යැන්ගොන් (රැංගුන්) විශ්වවිද්‍යාලය දීල තියෙන්නෙ 1920 දෙසැම්බරයෙ. ඉන්දියාවට විශ්වවිද්‍යාල දුන්නෙ ඊටත් ඉස්සර.  ලංකාවෙ තමයි හොඳ ම අනුකාරකයන් හිටියෙ. ඉංගිරිසි පාසල් අධ්‍යාපනය වඩාත් ම සාර්ථක වෙලා තියෙන්නෙ ලංකාවෙ. විශ්වවිද්‍යාලය කවද පිහිටෙව්වත් එය මේ අනුකාරක අධ්‍යාපනයෙ දිගුවක් පමණයි. මෙරට නිදහස් සටනට විශ්වවිද්‍යාලෙ දායකත්වය මොකක් ද? මෙරට විසිවැනි සියවසේ නිදහස් සටනක් කියා එකක් තිබුණ ද? යැංගොන් විශ්වවිද්‍යාලයෙන් අවුං සාන් ලා බිහි වෙන විට ලංකා විශ්වවිද්‍යාලවලින් බිහි වෙලා තියෙන්නෙ කවුද? ඉංගිරිසින් අපට වෙන කාටත් කලින් 1931 දී සර්වජන ඡන්දය ලබා දුන්නෙ ඇයි? අපි කවුද?

 

අපි ඉංගිරිසි අධ්‍යාපනයෙන් බිහිවූවන්. ඉංගිරිසි අධ්‍යාපනය ඉංගිරිසි මාධ්‍යයෙන් ම දෙන්න ඕන නැහැ. භාෂා මාධ්‍යය එහි දී වැදගත් වෙන්නෙ නැහැ. අධ්‍යාපනය ලබන්නන් ගමේ ද නගරයේ ද යන්න බලපාන්නෙත් නැහැ. අද ධම්මික වෙද මහතාට හා පැණියට හිනාවෙන අය මේ අධ්‍යාපනයෙන් බිහි කෙරුණු අය. ඉංගිරිසි අධ්‍යාපනය බටහිර රටවලින් බාහිර ව හොඳට ම මුල් බැහැගෙන තියෙන්නෙ ලංකාවෙ. බටහිර දැනුම් ආධිපත්‍යයට දැනුම් යටත්විජිතවාදයට වැඩියෙන් ම යටවෙලා තියෙන්නෙ ලංකාව. ඒකටත් හේතු තියෙනවා. ඒවා පස්සෙ කතා කරමු.

 

අද තිබෙන අධ්‍යාපනයෙ පියවරු මෙතෝදිස්ත නැත්නම් වෙස්ලියානු පූජකවරු. ඉංගිරිසි පාලකයන් ඇංග්ලිකන්. ඔවුන් මෙතෝදිස්තයන් සැක කළා. කොළඹ පාසල් පිහිටුවන්න දුන්නෙ නැහැ. ඒ නිසා මෙතෝදිස්ත මිෂනාරීන් ගාල්ල, යාපනය, මඩකලපුව ආදී ප්‍රදේශවලට ගියා. ලංකාවෙ පැරණි ම බටහිර ක්‍රිස්තියානි පාසල් තියෙන්නෙ මේ නගරවල. ඒ මෙතෝදිස්ත පාසල්. මේ මිෂනාරීන් තමයි ලංකාව දෙකඩ කරන්න ඕන කියල ඉස්සෙල්ල ම කියල තියෙන්නෙ. ඔවුන් දැනගෙන හිටි ඉතිහාසයක් නැහැ. ඔවුන් හිතුවෙ මෙරට එක රටක් නොව රටවල් දෙකක් කියල. ලංකාවෙ භාෂා දෙකක් පමණක් කතා කිරීම ප්‍රශ්නයක් වී ඇති බව පැහැදිලියි. මෙරට භාෂා විසිපහක් විතර කතා කළා නම් ඔවුන් කියන්නෙ නැහැ රටවල් විසිපහක් කියල.

 

මිෂනාරීන්ට මුල පටන් ඕන වුණෙ සිංහල බුද්ධාගමට සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගහන්න. ඒක තමයි ඔවුන්ගෙ අධ්‍යාපනයෙ අරමුණ. අපේ සංස්කෘතියට පහර දීල අපේ දැනුම ඊනියා මිථ්‍යාවක් කියල අපට බටහිර දැනුම ලබා දෙන එක.  බටහිර දැනුම උසස් ය කියන එක අපේ සිත්වලට කාන්දු කළා. එය අපේ හිත්වල කිඳා බැස්සා. පසුව ඇංග්ලිකන් මිෂනාරීන් ද පාසල් පිහිටෙවුව. කොළඹ ඔවුන්ගෙ බුත්තියට වගේ තියා ගත්තා. වෙස්ලි විද්‍යාලය වෙන්න ඕන මෙතෝදිස්ත පල්ලිය කොළඹ පිහිටුවපු පළමු පාසල. ඊට පසු කතෝලික පාසල් ද ඇරඹුණා. 1886 දි ආනන්ද විද්‍යාලය ඇති කළත් එයට පුළුවන් වුණෙ අර ක්‍රිස්තියානි අධ්‍යාපනයට බෞද්ධ සායම් ටිකක් ගෑම පමණයි.

 

ප්‍රභූ පාසල්වල විතරක් නොවෙයි හැම තැන ම ඉංගිරිසි අධ්‍යාපනය උසස් ලෙස සැලකුණා. ඉංගිරිසි මාධ්‍යයෙන් උගන්වන පාසල්වලට ඉහළ වැදගත්කමක් ලැබුණා. සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල නොමිලේ ඉගැන්වුවා. ඒ දුන්නෙත් ඉංගිරිසි අධ්‍යාපනය. ඉංගිරිසි මාධ්‍ය පාසල්වල මුදල් අය කරා. අධ්‍යාපනය රැකියා පිළිබඳ මිනුම්දණ්ඩ බවට පත් කෙරුණා. සමාජයේ ඉහළට යන්න අධ්‍යාපනය විශේෂයෙන් ම ඉංගිරිසි මාධ්‍යයෙන් ලබා දුන් අධ්‍යාපනය අවශ්‍ය වුණා. ඒ සමග පෞද්ගලිකත්වය ද වර්ධනය කෙරුණා. පංතියේ පළමුවැනියා වීම පරීක්‍ෂණවලින් පළමුවැන්නා වීම අගය කෙරුණා. හිතන්න බැරි අය බිහි කෙරුණා. ඊනියා සුදුසුකම් වැඩි වන විට වැදගත් ය කියන රැකියා ලැබුණා. අධ්‍යාපන තරගය නිසා ඊර්ෂ්‍යාව වෛරය වර්ධනය වුණා. පවුල් අසමගිය පැතුරුණා. එක පවුලකට වඩා හොඳින් ඉගෙන ගන්න අනෙක් පවුල උත්සාහ කළා. එක ම පවුලේ වුණත් අධ්‍යාපනයෙන් භේද ඇති කෙරුණා. ඇතැමුන් එයට වෙනස් ව වැඩ කරන්න ඇති. ඒත් පොදුවේ ගත්ත ම අධ්‍යාපනය විසින් විෂමතාව ඇති කෙරුණා.

 

බොහෝ දෙනා එය එහෙම නොවෙයි කියාවි. මේ ලිපිය ගැන මට දොස් කියාවි. අධ්‍යාපනයෙන් තමන්ට වී ඇති යහපත ගැන කියාවි. මා එකල මහාචාර්ය  වුණෙ කොහොමද කියල අහාවි. ඒත් නිවාඩු පාඩුවෙ කල්පනා කළොත් පොදුවේ ගත්ත ම අධ්‍යාපනයෙන් සමගිය ඇති වී තිබෙනවා ද තරගය අසමගිය වැඩි වී තිබෙනවා ද කියා වැටහේවි. අප අවසානයේ දී අපට ලැබෙන රැකියාවෙන් තෘප්තිමත් වෙනවා. වෙන මොනව කරන්න ද? එක ම ක්‍ෂෙත්‍රයේ ඊනියා සහෝදරත්වයක් ගැන බයිලා කිවුවත් ඇත්තේ තරගයක්. බෙලි කැපීමක්. 

 

ඉංගිරිසි අධ්‍යාපය දරුණු හීනමානයකට ද අප යොමු කළා. ඉගෙන ගත් පාසල අනුව වර්ග කිරීමක් සිදු වෙනවා. මා දන්නා ආනන්ද ආදී සිසුන් තම පුතුන් රාජකීය විදුහලට ඇතුල් කෙළේ ඇයි? ශස්ත්‍ර පීඨවල කථිකාචාර්යවරුන්ගේ දරුවන් ශාස්ත්‍ර පීඨවලට ම ඇතුල් වුණොත් අසාමාන්‍ය විධියට ඉංගිරිසි අධ්‍යනංශයට යොමු වන්නේ ඇයි? මා කථිකාචාර්යවරුන්ට දොස් කියනවා නො වෙයි. අධ්‍යාපනය සැකසී ඇත්තේ ඒ ආකාරයෙන් අගය කිරීමටයි.

 

අද පහේ ශිෂ්‍යත්වය තියෙනවා. අධ්‍යාපන තරගය තියෙනවා. කලකට පෙර ශිෂ්‍යත්වවලින් කෙරුණේ යම් මිනුම් දණ්ඩක් අනුව  දක්‍ෂ යැයි කියන සිසුන් තෝරා ඔවුන් ඊනියා වැදගත් රැකියා සඳහා යොමු කිරීමට අධ්‍යාපනයක් ලබා දීමයි. පහේ ශිෂ්‍යත්වයෙන් ඒක එහෙම ම කෙරෙන්නේ නැහැ. ඒ අපට ක්‍රමය හරි හැටි නොතේරීම නිසා වෙන දෙයක්.  

 

ප්‍රභූ පාසල්වල සිංහල උගන්වන ගුරුවරයා ගමයා ආදී නම්වලින් හැඳින්වුණේ ඇයි? අප සමාජයේ වැඩියෙන් ම බලපාන්නේ දැනුම් ආධිපත්‍යයයි. පාසල් අතර වර්ගීකරණයක් තිබෙන පරිදි විශ්වවිද්‍යාල අතර ද වර්ගීකරණයක් තියෙනවා. පිටරට විශ්වවිද්‍යාල ගැන ද වර්ගීකරණයක්  තියෙනවා. ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් ප්‍රින්ස්ටන් හාවඩ් ආදී  වශයෙන්. මේ එකක්වත් අප හදා ගත්ත දේ නොවෙයි. අපට ඉංගිරිසින් දුන් ඒවා. කවුරුහරි හිතනව නම් අධ්‍යාපනයෙන් උස් මිටි තැන් නැති කරනවා කියා එය වැරදියි.

 

1921 පිහිටුවන ලද විශ්වවිද්‍යාල ආයතනයේ මේ සියල්ල දකින්න පුළුවන්. හරමානිස්ලා හා කුල්ටන් දකින්න පුළුවන්. අපි එය ඊළඟ සතියේ කතා කරමු.