Main Logo

Wednesday, 26 May 2021

සසර බය නැති කිරීම හෙවත් අර්යෂ්ඨාංගික මාර්ගය කාපට් කිරීම

 

සසර බය නැති කිරීම හෙවත් අර්යෂ්ඨාංගික මාර්ගය කාපට් කිරීම

                                   

මා මේ ලිපිය ලියන්නෙත් බයෙන්. මා පිටස්තරයෙක් නිසා. ඒ මා මියන්මාහි ජීවත්වන නිසා නොවෙයි. ජාතිකත්ව කඳවුරෙත් මා පිටස්තරයෙක්. ජනමාධ්‍යයටත් පිටස්තරයෙක්. ඉඳහිට ඔවුන් මා පාවිච්චි කරනවා. අද සිට මා ඉනුත් ඉවත් වෙනවා. අර විවිධ පෞද්ගලික කැමරාකරුවන්ගෙනුත් ඉවත් වෙනවා. එඩ්මන්ඩ් රණසිංහගෙන් පසු හරි හමන් ජාතිකත්ව ජනමාධ්‍යයක් නැහැ. මා හිතන හැටි වෙනස්. බුදුදහම ගැනත් මගේ වෙනස් අදහස් තියෙනවා. මා දන්නේ ඔබ දන්නා බුදුහාමුදුරුවන් නොවෙයි.  ඉතිහාසය ගැනත් මගේ වෙනස් අදහස් තියෙනවා. මා බහුශ්‍රැතයෙක් නො වෙයි. ඒ නිසා මගෙන් සසුනට හරි ජාතියට හරි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියා හිතනවා.

 

අප කුඩා කල සමාජයේ කතාවක් තිබුණා. නෑ කතිකාවතක් නො වෙයි. අද වල්පල් කතාත් කතිකාවත් ලෙස හැඳින්වෙනවා. ඒ කතාවෙන් කියැවුණේ අපි කාට ද බය, අපිට කවුද බය යන්නයි. බය කියන එකත් සාපේක්‍ෂයි. මගේ බය ඔබේ බය වෙන්න ඕන නැහැ. අද සමාජයේ කතාවක් තියෙනවා ලජ්ජා බය නැහැ කියල. මේ මොකකට තියෙන බය ද? ආණ්ඩුවට තියෙන බය ද? අපොයි නැහැ. ආණ්ඩුවට බය කවු ද? රාජ්‍යයට තියෙන බය ද? හමුදාවට පොලීසියට තියෙන බය ද? එන්නත කොහොම හරි තමන්ගෙ අයට දෙන්න තියෙන බය ද? මේ එකකටවත් බය නැති බව ප්‍රවෘත්ති අහන බලන විට පේන්න තියෙනවා.

 

මා කතා කරන දේ අර ගිනි ගත් නැවට වෙන්න යන්නෙ මොකක් ද කියන එක සමගත් සම්බන්ධයි. ඒකත් බයක් තමයි. නැත්නම් ප්‍රවෘත්ති ප්‍රචාරයේ වැදගත් තැනක් දේවි යැයි. ප්‍රවෘත්ති ප්‍රචාර කියන්නෙ බය ඇති කරන දේ සමාජගත කිරීම. අද අප බය වෙන්නෙ අපේ ජීවිතය නැති වේවි ද කියන එකට. ජීිවිත බය. ලජ්ජා බය නැහැ කියන එක ජීවිත බයත් සමග බැඳිලා නැහැ. ඒක පැහැදිලි වෙන්න ඕන. ජීවිත බය තියෙනවා. වෙනත් මොහොකට හරි ලජ්ජා බය නැහැ.

 

අප බය වෙන්නෙ අපේ ජීවිත ගැන. අපේ දරුවන්ගෙ සහකරුගෙ සහකාරියගෙ දෙමවුපියන්ගෙ සහෝදර සහෝදරියන්ගෙ හිතවතුන්ගෙ ජීවිත ගැන. යම් සීමාවකින් පිට අයගෙ ජීවිත ගැන අපි බය නැහැ. අර සීමාව ඇතුළෙත් ප්‍රමූඛතා තියෙනවා. බුදු හාමුදුරුවොත් දේශනා කර තියෙනවා සත්වයන්ට ජීවිත බය තියෙන බව. ජීවිත බය ප්‍රශ්නයක් නො වෙයි. ප්‍රශ්නය අපට අනෙක් අයගෙ ජීවිත ගැන බයක් නැති වීම. අර නැව ලංකා මුහුදු සීමාවෙන් එහාට ඇදල දාන්න පුළුවන් නම් අපට බයක් නැහැ. අඩු තරමෙන් බය අඩු වෙනවා.

 

අප සතුන් මරන්නෙ ඔවුන්ගෙ ජීවිත ගැන බයක් නැති නිසා. මේ වෙසක් දවසෙත් පඬි නැට්ටන් ගැන නොකියා ඉන්න බැහැ. ඔවුන් අහයි දෙමළුන්ගෙ ජීවිත ගැන බයක් නැද්ද කියල. අපොයි බයයි. එක් එක් දෙමළ ජීවිත ගත්තොත් බයයි. ගැමුණු රජුත් දෙමළ නූණත් යුද්දෙන් හානි වූ ජිවිත ගැන බය වුණා. අපට මෙහි දී තියෙන්නෙ වෙන බයක්.  රට ගැන බය නැති අයට, කුල ප්‍රශ්න හා වෙනත්  විවිධ හේතු නිසා ඊනියා ධනපති පංතිය වෙනුවට සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ වෙන අයට ජාතිය ගැන බයක් ඇති වෙන්න විධියක් නැහැ.

 

අපට ජීවිත බය තිබුණට අප සසරට බය නැහැ. අපට සසර බිය නැහැ. අඩු තරමෙන් වයසට යන විටවත් සසර බය දැනෙන්නෙ නැහැ. ජීවිතය අපට පේන්න තියෙනවා. අපි ජීවත් වෙනවා. අපට ඉපදීම පේනවා. මරණය පේනවා. ඒ අතර ජීවිතය පේනවා. අද පාවිච්චි කරන කසිකබල් වචනයක් යොදා ගත්තොත් අපි ලස්සනට ජීවත් වෙන්න කැමතියි.  ලස්සනට ජීවත් වෙනවා කියන්නෙ මොකක් ද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ.

 

අපට සසර පේන්නෙ නැහැ. පේන්නෙ නැති පුනබ්භවයක් විශ්වාස කරන්නෙ අහවල් දේකට ද? ජාතික කඳවුරේ දැවැන්තයන් ඉන්නවා පුනබ්භවය විශ්වාස නොකරන. පේන්නෙ නැති ඉඹලා බලන්න බැරි සසරක් විශ්වාස කරන්නෙ මිථ්‍යා මතධාරීන් වෙන්න ඕන. අපි පංචෙන්ද්‍රිය ගෝචර දේ පමණයි විශ්වාස කරන්නෙ. එතකොට ගුරුත්වාකර්ෂණය, කළු කුහර, බහුවිශ්ව  ආදිය. ඒවා විද්‍යාත්මක ව ඔප්පු කර තියෙනවා. කොහේ ද? අපි දන්නෙ නැහැ. එහෙම නැත්තන් ඔය විද්‍යාඥයො ඒවා ගැන කියාවි ද? අපි විද්‍යාඥයන් විශ්වාස කරනවා. බුදු හාමුදුරුවන් විශ්වාස කරන්නෙ නැහැ. සසර කියන එක බුදු හාමුදුරුවන්ගෙ භ්‍රාන්තියක් වෙන්න පුළුවන්.

 

නැති සසරකට බය වෙන්න ඕන නැහැ. සසරට බිය නැති වුණා ම පවු කරන්නත් බය නැහැ. අර කලින් කිවුවෙ ලජ්ජා බයක් ගැන. ඒ බය අපට නැහැ. අපි විද්‍යාවට නම් බයයි. පුළුවන් නම් බුදුදහමත් විද්‍යාව ඇතුළට ගනිමු. බැරි නම් වෙසක් දාට දන්සැල් වන්දනා කරමු. දික් වෙන්න සසරක් නැහැ. මරණයෙන් සියල්ල ඉවරයි.  මේවා බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ ප්‍රතිඵල. එහි පෞද්ගලිකත්වය සීමාවක් නැතිව වර්ධනය කරලා. අසීමිත පෞද්ගලිකත්වය නිසා ජීවිතය ගොඩ ගන්න අපි ඉගෙන ගන්නවා. ඉගෙන ගත්ත ම සසර බය නැති වෙනවා. සසරක් නැති බව නිශ්චිතව ම බටහිර විද්‍යාවෙන් පෙන්නල තියෙනවා ද?  අපි එන්නත ගෙදර ගෙනියනවා. අනෙකාට හෙණ ගැහුවත් මාත් මගේ පවුලත් ජීවත් වෙන්න ඕන.

 

අල්පේච්ඡතාව එක්ක අර ලස්සනට ජීවත් වෙන්න බැහැ. අල්පේච්ඡතාවත් ඒ ඒ සමාජයට සාපේක්‍ෂයි. බටහිරින් තමයි සමාජයේ ජීවන පැවැත්ම තීරණය කෙරෙන්නෙ. අප යන්නේ කොයි පාරේ. ඒ පාර අනුව තමයි බොහෝ දේ තීරණය වෙන්නෙ. අපි නිවන් මග ගැන කතා කරනවා. ඒත් නිවන් මගේ නැත්නම් නිවන් පාරේ යන්නෙ නැහැ. මාක්ස් ලෙනින් ගිය පාරෙ ගිහින් හති වැටිල ඉන්න අපි බයිඩන්ගෙ පාරෙ යමු. බයිඩන් කියන්නෙ බයියෙක් නො වෙයි. මේ මිනිසුන්ට කොහොම මේ වගේ නම් ලැබුණ ද දන්නෙ නැහැ. මොන පාරෙ ගියත් නිවන් පාරෙ නම් යන්නෙ නැහැ. ආර්යෂ්ඨාංගික මාර්ගය කාපට් කරල ද අධි වේගී ද නැත්නම් වෙන පාරක යමු.

 

අද ඔය එක එක පාරවල එක එකා පස්සෙ බය නැතිව ගිහින් අපි ලෙඩ වෙලා. අපි එන්නත් හොයනවා. මුළු ලෝකයට ම දෙන්න තරම් එන්නත් නිපදවන්නෙ නැහැ. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ඒ වගේ මෝඩ වැඩ කරන්නෙ නැහැ. අපට ලබන අවුරුද්දෙත් එන්නත් හොයන්න වේවි. අපට විතරක් නොවෙයි ආසියා අප්‍රිකා රටවල් සියල්ලට ම එන්නත් හොයන්න වෙලා. ද්වේෂය ඇති වෙන්න ඉස්සෙල්ල ලිපිය නවත්තන්න ඕන. ඒත් අවසාන වශයෙන් එකක් කියන්න ඕන. අවුරුදු පන්සීයක පමණ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ගත්තම  අර පඬියන් කියන ශේෂ පත්‍රයේ ඇත්තේ  කොවිඩ් 2019. දැන් 2021.

 

සියල්ලන් කෙසේ වෙතත් ටික දෙනකුවත් නිවන් මග ගනිත්වා!