Main Logo

Saturday, 22 May 2021

ඉංගිරිසින්ගෙන් නිදහස් වීම හා ඉංගිරිසින්ට හිනාවුණු සරා ගොයියා

 

ඉංගිරිසින්ගෙන් නිදහස් වීම හා ඉංගිරිසින්ට හිනාවුණු සරා ගොයියා

 

අද ජනරජ දිනය. අපේ නිදහස් ගමන් මගේ වැදගත් දිනයක්. 1817 පටන් ගත් අපේ නිදහස් සටනේ වැදගත් දිනයක්. අවුරුදු හතළිස්නවයකට පෙර අද වැනි දවසක තමයි අපි ඩොමීනියන් තත්වයෙන් නිදහස් වුණෙ. 1948 දි අපට ලැබුණෙ ඩොමීනියන් තත්වයේ නිදහසක්. අපේ රජු හැටියට එංගලන්තයේ හයවැනි ජෝර්ජ් පිළිගැණුනා. ඔහුගේ අග්‍රාණ්ඩුකාරයා කොළඹ හිටියා. පස්සෙ දෙවැනි එලිසබෙත් අපේත් රැජන හැටියට පිළිගැණුනා. 1948 දිත් අපේ විදේශ ප්‍රතිපත්තිය හා ආරක්‍ෂක ප්‍රතිපත්තිය තීරණය කෙරුණෙ එංගලන්තයෙන්. කටුනායක හා ත්‍රිකුණාමලයෙ කඳවුරු තිබුණෙ එංගලන්තය යටතේ.

 

1956 දි අපි කටුනායක හා ත්‍රිකුණාමලය කඳවුරු පවරා ගත්තා. ඒත් අපේ රැජන වුණෙ එලිසබෙත් වින්ඩ්සර්. ඉන් අවුරුදු දහසයකට පස්සෙ 1972 දි තමයි අපට ජනාධිපති කෙනෙකු ලැබී අප ජනරජයක් වුණෙ. මේ අපේ නිදහස් සටනෙ පියවර. 1972 දි අප ජනරජයක් වීම ඉතා වැදගත්. අප ඉන්පසු එංගලන්තයෙ සාමි මන්ත්‍රී මණ්ඩලයෙ ප්‍රිවි කවුන්සිලය නමින් හැඳින්වුණු  උසාවියට යටත් වුණෙ නැහැ. ඊට පෙර මෙරට ඉහළ ම උසාවියේ තීන්දුවකට විරුද්ධ ව සාමිමන්ත්‍රී මණ්ඩලයෙ උසාවියට අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. රාජ්‍ය භාෂා පනත සම්මත වීමෙන් පසුව එක් දෙමළ රටවැසියකු එයට විරුද්ධ ව එසේ අභියාචනයක් ඉදිරිපත් කරල  ජයගත්තා.

 

1962 හමුදා කුමන්ත්‍රණයට මෙරට අධිකරණයෙන් වැරදි කරුවන් වී සිර දඬුවම් නියම කෙරුණු හමුදා හා පොලිස් නිලධාරීන් එංගලන්තයට අභියාචනා කරල යම් ශිල්පීය කරුණක් උඩ නිදහස ලබා ගත්තා. බණ්ඩාරනායක මහත්මියගෙ ආණ්ඩුව පෙරලන්න හදපු නිලධාරීන්ටත් එංගලන්තය එසේ පිහිට වුණා. රවි කරුණානායකගෙ සීයා කෙනකුත් ඒ නිලධාරීන් අතර හිටියා. ඔවුන් අබෞද්ධයන් වූ බවත් මතක් කරන්න ඕන.

 

1972 දි අප මේ කරුණුවලින් නිදහස් වුණා. ඒත් අද ශ්‍රී ල නි පක්‍ෂයට හැර වෙන  කිසිවකුටවත් ඒ ගැන ගාණක් නැහැ. මේ දිනවල කොවිඩ් ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා නොවෙයි අපට ජනරජ දිනය අමතක වෙලා තියෙන්නෙ. කාලෙක ඉඳලා 1977 ජේ ආර් බලයට පත්වුණාට පස්සෙ තත්වය එහෙමයි. බණ්ඩාරනායක මැතිණියගෙ කාලෙ ජනරජ දිනය නිවාඩු දිනයක් වුණා. ජේ ආර් ඊනියා ජාතික දිනයක් කියල නම් කරල පෙබරවාරි හතර නිවාඩු දිනයක් බවට පත් කළා. ජනරජ නිවාඩු දිනය අවලංගු කරලා. 1994 චන්ද්‍රිකා බලයට පත්වුණා කියල තත්වයෙ වෙනසක් වුණෙ නැහැ. 2005 මහින්ද බලයට පත්වෙලත් වෙනස් කෙළේ නැහැ.

 

චන්ද්‍රිකා රටට මොන ද්‍රෝහිකම් කළත් අපට බණ්ඩාරනායකලා අමතක කරන්න බැහැ. ජනරජ දිනය කොහොමටත් අමතක කරන්න බැහැ. අද උදේ මියන්මාහි ලංකා තානාපති පරිශ්‍රයෙහි  මා ජාතික කොඩිය ඔසවා ජනරජ දිනය සැමරුවා. එලිසබෙත් වින්ඩ්සර් අපේ රැජන ලෙස පිළිගන්න තීරණය කළ දවසට වඩා ඇය අපේ රැජන ලෙස නොපිළිගැනීමට තීරණය කළ දවස අපට වැදගත් වෙන්න ඕන.

 

එහෙත් මෙයින් කියන්නේ නැහැ 1972න් පසු අපේ නිදහස සම්පූර්ණ කියල. අපට තව බොහෝ දුර යන්න තියෙනව. ඉංගිරිසින්ගෙන් නිදහස් වෙන්න ඉංගිරිසි දැනුමේ ආධිපත්‍යයෙන් නිදහස් වෙන්න ඕන. ඒ කියන්නෙ අප ඉංගිරිිසි දැනුම සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂෙප කරනවා කියන එක නොවන බව  අවවර්ධිත මනස් ඇති පඬි නැට්ටන්ගේ දැන ගැනීම සඳහා කියන්න ඕන. ඉංගිරිසින් ඔවුන්ගේ දැනුම රාජ්‍ය පරිපාලනය ආදිය විසින් අප තළා පෙළනු ලැබෙනවා. මේ පරිපාලනයට බලපත්‍රවලට අපේ ගැමියන් හිනාවුණා.

 

ඒ සඳහා කදිම උදාහරණයක් තමයි සරා ගොයියා ගීතය. මා 1956 තීරගත වුණු දෛව විපාකය චිත්‍රපටය නරඹා නැහැ. සරා ගොයියා ගීතයේ පසුබිම දන්නෙත් නැහැ. එහි ගීත රචකයා කවුද කියා දන්නෙත් නැහැ. ඒත් මා හිතන විධියට ඒ ගීතයෙන් අපේ ගැමියන් අර රෙගුලාසි මේ රෙගුලාසිවලට හිර වුණු රාජ්‍ය පරිපාලනයට හිනහ වෙන ආකාරය මැනවින් කියනවා. ඒ මගේ ඊනියා කියවීමක් නොවෙයි මට දැනෙන හිටි. ගීත රචකයා එසේ සිතුවා කියා මා කියන්නේ නැහැ.

 

ඒත් ඉංගිරිසින් ශූරයන්. අදත් ඔවුන් ලෝකය ම පාලනය කරන්නේ ඔවුන්ගේ දැනුම් පද්ධතියේ ආධිපත්‍යයෙන්. ඔවුන් තම රටේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක කරමින් අපට සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිපදින්න කියනවා. ඔවුන් දන්නවා දැනුම අනෙක් අයට අවැඩක් වන ලෙසත් යොදා ගන්න. ඔවුන් මාක්ස්ට හා වෙනත් එවැනි අයට එංගලන්තයේ වාසය කිරීමට ඉඩ දුන්නා. ඒ ඊනියා භාෂණයේ නිදහසක් වෙනුවෙන් නො වෙයි. තම රටේ මාක්ස්වාදය පරිපාලනය කරන්න ඔවුන් දැන සිටියා. ඔවුන් තම රටේ පදිංචි වීමට ඉඩ දුන් මාක්ස් වෙනත් රටවල දී යොදා ගත්තා. අපට මාක්ස්වාදය ලැබුණෙත් මූලික වශයෙන් එංගලන්තයෙන්. පිලිප් ගුණවර්ධන එක්සත් ජනපදයට ගිය බව ඇත්ත. ඒත් ඔහුත් ඉගෙන ගත්තෙ එංගලන්තෙන් ලැබුණු මාක්ස්වාදය.

 

මාක්ස්වාදය අපට අයිතිවාසිකම් කියා දුන්නා. ඊනියා විප්ලවයක් ගැන කිවුවා. අපට යුතුකම් කියා දුන්නේ නැහැ. අද මෙරට බටහිර ක්‍රමයේ දියුණුවක් අත්පත් කර ගැනීමට ඇති එක් බාධාවක් වනුයේ මාක්ස්වාදයයි. ඊනියා සමාජවාදය බටහිර සංවර්ධනය තවත් ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මා බටහිර ක්‍රමයේ සංවර්ධනයක් වෙනුවෙන් පෙනී සිටින බව ඉන් කියැවෙන්නේ යැයි නිගමනය කළ හැක්කේ පඬි නැට්ටන්ටයි.

 

ඉංගිරිසි දැනුමේ ආධිපත්‍යය නිසා මෙරට කොවිඩ් රෝගීන් මිය යනවා. බටහිර වෙද මහත්තුරුන් වෙද හාමිනේලා දන්නේ රට වහන්න කීමට පමණයි. ඔවුන් දන්නා ප්‍රතිකාරයක් නැහැ. ඒත් ඔවුන් ප්‍රතිකාරයක් දන්නා අයට ප්‍රතිකාර කරන්න දෙන්නෙත් නැහැ. රෝගීන්ට තමන් කැමති වෙදකමක් කරගන්න දෙන්නෙත් නැහැ. ඔවුන්ට ඇත්තේ එක ම එක දෙයක් පමණයි. ඒ ඉංගිරිසි දැනුමේ ආධිපත්‍යය. සරා ගොයියා ඇසූ ආකාරයට අපට අහන්න වෙලා තියෙන්න බෙහෙතක් ගන්නත් බෙහෙතක් දෙන්නත් ලයිසන් ගන්නට ඕන ද රළහමි කියලයි.