ඒ කාල් මේ කාල් හා අලුක්කාල්
බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටෙන බවට ලකුණු කල් තියා ම පහළ වී තිබුණා. මේ කඩා වැටීම මාක්ස්වාදයේ (මාස්ක්වාදයේ) කියැවෙන ධනපති ක්‍රමය කඩා වැටීම නො වෙයි. මාක්ස්වාදය මාස්ක්වාදයක් වෙමින් ධනවාදය කඩා වැටෙන බවට ඊනියා පුරෝකථනයක් කෙළේ බටහිර විද්‍යාව හා දැනුම් පද්ධතිය වටා ආවරණ බඳිමින්. මාක්ස්වාදීන් ද කිවුවෙ තමන් ඊනියා විද්‍යාත්මක සමාජවාදීන් කියා. බටහිර විද්‍යාව ආරක්‍ෂා කරමින් වුව ද කාල් පොපර් අනෙක් කාල්ගේ ඊනියා විද්‍යාව විද්‍යාවක් නොවන බව දුටුවා. අවුරුදු හතළිහකට ඉහත 1980 දී මා නව සමසමාජ පක්‍ෂයෙන් අස් වූයේ මාක්ස්වාදය විද්‍යාත්මක ද යනුවෙන් දීර්ඝ ලිපියක් පක්‍ෂ ලේකම් වූ වික්‍රමබාහු සහෝදරයාට ලියමින්. අද ඒ සහෝදරයා මාක්ස් ලෙනින් ගිය පාරේ යෑම නවත්තලා. ඔහු රනිල්දාසට වඩා අවංකයි. රනිල්දාස රනිල් සමග සිටින අතර වාචාල මාක්ස්වාදී පංති කතාත් කියනවා.
කාල් පොපර් මාක්ස්වාදය වගේ ම මනෝ
විශ්ලේෂණයත් බටහිර විද්‍යාත්මක නො වේය කියා කිවුවා. ඔහු ජ්‍යොතිෂයත් බටහිර විද්‍යාත්මක නො වේය කියා කිවුවා. එය එතරම් ප්‍රශ්නයක්
නො වෙයි. පෙරදිග ජ්‍යොතිෂවේදීන් ජ්‍යොතිෂය බටහිර විද්‍යාත්මක ය කියා ඇතැයි මා
හිතන්නේ නැහැ. අනෙක් අතට පෙරදිග ජ්‍යොතිෂය ඇති වුණේ ගැලිලියෝට පමණක් නොව කෙප්ලර්
කොපර්නිකස් ටයිකො බ්‍රාහේ ආදීන් ඉපදෙන්නටත් බොහෝ කලකට පෙර. පෙරදිග ජ්‍යොතිෂවේදීන්
සාපේක්‍ෂ චලිතය ගැන දැන හිටියා. සූර්යයා පොළොව වටා යන බව මෙන් ම පොළොව ද සුර්යයා
වටා යන බව ඔවුන් දැන සිටියා. ඒ සාපේක්‍ෂ ව. කොපර්නිකස් පෝලන්තයේ සිට ඉතාලියට අරන්
ගියේ පෙරදිග තිබූ පොළොව සූර්යයා වටා යන බව කී දැනුම. බටහිරයන් ඒ සාපේක්‍ෂ කතාව
ඔවුන්ගේ සංස්කෘතියට අවශෝෂණය කර ගත්තේ
නිරපේක්‍ෂ දැනුමක් බවට පත් කරමින්.
කාල් පොපර් මාක්ස්වාදය මෙන් ම මනෝ
විශ්ලේෂණයත් බටහිර විද්‍යාත්මක නො වේ යැයි කීම වැදගත්. ඔහු එසේ කීම සඳහා යොදා
ගන්නා නිර්ණායක අප පිළිගත්තත් නැතත් මේ කාරණය වැදගත්. බටහිර දැනුම කඩා වැටෙන්න
පටන් ගත්තේ පොපර්ගෙ ජීවිත කාලයේ දී ම වීම එක්තරා ආකාරයක සරදමක්. ඇතැම් බටහිර විද්‍යාඥයන්
කාල් පොපර් ගැන සඳහන් කෙළේ බටහිර විද්‍යාවේ දර්ශනය පිළිබඳ අවසාන වාක්‍යය ලියූ
පුද්ගලයා ලෙසයි. එහෙත් තිස්ගණන්වලින් පසුව බටහිර භෞතික විද්‍යාවට එකතු වූ අලුත්
දැනුමක් නැහැ.
අයින්ස්ටයින් තම ජීවිතයේ අවසන් කාලය ගත
කෙළේ මැක්ස්වෙල් ගිය මග ගනිමින් ඊනියා විශ්වීය ප්‍රවාදයක් ගොඩ නැගීමට. මැක්ස්වෙල්
විද්‍යුතය හා චුම්බකත්වය එක් කර තිබුණා. අයින්ස්ටයින් ද කාලය හා අවකාශය එක් කර
තිබුණා. ඔහු ඊනියා අවස්ථිති සමුද්දේශ රාමු පළවා හැර තිබුණා. ඔහුට අවශ්‍ය වූයේ
ඔහුගේ සාධාරණ සාපේක්‍ෂතාවාදයට මැක්ස්වෙල්ගේ ප්‍රවාදයත් එකතු කර ගැනීමට. එහෙත් ඔහු
අසාර්ථක වුණා.
ඒ අතර ක්වොන්ටම් භෞතික ප්‍රවාදය
ඉදිරිපත් කෙරුණා. එය එක් අතකින් නිවුටන්ගෙ ප්‍රවාද මෙන් රේඛීය ප්‍රවාදයක්
(linear theory) කිසි හැලහොල්මනක් නැතිව තිබුණොත් ක්වොන්ටම් පද්ධතියක් රේඛීය ව
විකාශය වෙනවා. එහෙත් පද්ධතියේ ඇතැම් ගුණයක් මනින්න ගියා ම පද්ධතිය අර රේඛීය බව
නැති කර ගන්නවා. නිවුටන්ගේ මැක්ස්වෙල්ගෙ අයින්ස්ටයින්ගෙ ප්‍රවාදවල එහෙම වෙන්නෙ
නැහැ. ක්වොන්ටම් භෞතිකයට ඇත්තේ වෙනත් ම සත්භාවයක්
(ontology).
ඇතැමුන් ක්වොන්ටම් භෞතිකයත් අයින්ස්ටයින්ගෙ
සාධාරණ සාපේක්‍ෂතා ප්‍රවාදයත් එකතු කරන්න අවුරුදු සියයක් පමණ තිස්සෙ උත්සාහ
කරනවා. එය මී හරකයි එළ හරකයි එකට බඳිනවා වගේ වැඩක්.
ඔය අතර සමාජයීය විද්‍යාවන්හි ප්‍රශ්න
මතු වුණා. මාක්ස්වාදයෙහි කියන විධියට සමාජය විකාශය වුණෙ නැහැ. අද කියන ජනප්‍රිය
වචනයක් යොදා ගත්තොත් මාක්ස් අසමත්. ට්‍රොට්ස්කි
ද්විත්ව අසමත්. අර ඒ දවස්වල සිසුන් පංතියෙන් ඉහළ පංතියට සමත් වෙන අතර සමහර සිසුන්ට
පංතියක් පන්නල සමත් වීමක් ලැබෙනවා. ද්විත්ව සමත්වීමක් ලැබෙනවා. අසමත් වීමටත්
ද්විත්ව කතාව එකතු කර ගන්න පුළුවන්. ලෙනින් සමාජවාදය නමින් වෙනත් මොකක් ද එකක්
පිහිටෙවුවා. පංතිය කියන එක මාක්ස්වාදී අර්ථයෙන් පුස්සක් බවට පත් වුණා. කම්කරු
පංතිය බෙහෙතකටවත් හොයා ගන්න බැරි වුණා. නැති පංතියක් කොහෙන් හොයන්න ද? පංතිය කියන්නෙ රනිල්දාසලටයි කෙකරගාමීන්ටයි
අලුක්කාල් මාක්ස්වාදීන්ටයි හාන්සිපුටුවල තෙපරබාන්නන්ටයි කියව කියව ඉන්න හොඳ
සංකල්පයක් මිස වැඩක් ඇති දෙයක් නො වෙයි. අර රනිල්දාසලගෙ නිර්ධන පංතිය නම් ධනදාසලා
ළඟ තියෙන්න පුළුවන්. ස්ටැලින් තනි රටේ සමාජවාදය ගොඩ නැගීම සඳහා මිනිසුන් ලක්‍ෂ
ගණනින් මැරුවා. ට්‍රොට්ස්කිවත් මැරෙව්වා.
මාක්ස්වාදය හා ඊනියා සමජයීය විද්‍යා
කඩා වැටෙන විට ඇතැමුන් මනෝ විශ්ලේෂණයට හැරුණා. ඒ සමග නූතනවාදී අදහස් වැඩ නොකරන විට
ඊනියා පශ්චාත්නූතනවාදී අදහස් ඉදිරිපත් කෙරුණා. අද ඒ අදහස් ඇතැම් විශ්වවිද්‍යාලවලට
පමණක් සීමා වෙලා. විශ්වවිද්‍යාලවල බොහෝ විට ඉන්නෙ නිර්මාණාත්මක යමක් කියන්න කරන්න
බැරි ඊනියා කතිකාවත් කරන පිරිසක් පමණයි. ලංකාව ගැන නම් කියල වැඩක් නැහැ. පශ්චාත්
නූතනත්වය කියන්නෙ ම බංකොළොත් සංකල්පයක්. පශ්චාත් නූතනත්වයෙන් පස්සෙ පශ්චාත්
පශ්චාත් නූතනත්වය ද නැත්නම් පශ්චාත්තාපය ද? මනෝ විශ්ලේෂණයෙන් තේරුම් ගන්න පුළුවන්
සමාජයීය සංසිද්ධියක් (ඉටිගෙඩියක්) තියෙනවා ද?
බටහිර දැනුම හැම අංශයක ම කඩන් වැටිලා.
බටහිර දැනුමේ ලක්‍ෂණ ගැන අප කොතෙකුත් ලියා තියෙනවා. අවුරුදු හාරසීයක් පමණ බටහිර
දැනුමේ කතා වැඩ කළා. අවුරුදු සීයකට ආසන්න කාලයක් තිස්සෙ ඒවා වැඩ කරන්නෙ නැහැ. අද බටහිර
ක්‍රිස්තියානි සංස්කෘතිය ධනපති ක්‍රමයත් සමග ම කඩා වැටෙනවා. අලුක්කාල්
මාක්ස්වාදීන් (මාස්ක්වාදීන්) හිතන් ඉන්නෙ අපි ඊනියා ලිබරල්වාදයෙ දෙවැනි ඉනිමෙ
කියල. අප දෙරණෙ දෙවැනි ඉනිමෙවත් නැහැ.
බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සභ්‍යත්වයෙ
පහර දීම්වලට අනෙක් සියලු සංස්කෘතීන් හසුවුණා. වැඩියෙන් ම හසුවුණෙ මුස්ලිම් සභ්‍යත්වය.
එය එක් රටක සංස්කෘතියක් ඉක්මවා යෑමක්. මුස්ලිම් සභ්‍යත්වය බටහිර ක්‍රිස්තියානි
නූතනත්ව සභ්‍යත්වයට විවිධාකාරයෙන් පහර දෙනවා. මෙහි ආධ්‍යාත්මික පැත්තක් ද තියෙනවා.
අද ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව, මුස්ලිම් හා චීන සභ්‍යත්ව ගැටුමක්. මට නම් කොවිඩ් 19 පෙනෙන්නෙත් එහි කොටසක් ලෙස. ගාසා
තීරයේ ඇති වන සටන් ද මේ සභ්‍යත්ව ගැටුමේ අංග.
මුස්ලිම් සභ්‍යත්වයට අවුරුදු සිය ගණනකට පෙර යමක් කිරීමේ ගොඩ නැගීමේ හැකියාවක් තිබුණත් අද ඒ ශක්තිය නැහැ. ඔවුන්ට අද කරන්න පුළුවන් විනාශයක් පමණයි. මේ ගැටුම මැද චීන සභ්‍යත්වය පෙරට ඇදී එනවා. ඔවුන්ගේ කොන්ෆියුෂියස්වාදී ධුරාවලිය හා ස්වභාව ධර්මය සමග බැඳුණු තාම්වාදී දර්ශනය කෙතරම් දුරක් යයි ද කියන එක ප්‍රශ්නයක්. ඒත් වර්තමානයෙහි චීන සභ්‍යත්වය සභ්‍යත්ව ගැටුමෙහි ඉදිරියෙන් සිටින බව කීමට පේන බලන්න ඕන නැහැ.