සංචරණ සීමා හා සන්නිවේදන සීමා
සිංහලයන් ශිල්පයෙහි දක්‍ෂයන්. එහෙත් ශාස්ත්‍රයෙහි එලෙස දක්‍ෂකමක් දක්වා නැහැ. එය ඉතිහාසය පුරා ම කෙසේ වෙතත් හතරවැනි සියවසේ පමණ සිට දකින්න පුළුවන්. භාරතීය බමුණන්ට ග්‍රීකයන්ට යුදෙවුවන්ට තිබූ ශාස්ත්‍රීය හැකියාව ඉන්පසු සිංහලයන්ට තිබී නැහැ. ආන්ද්‍ර ප්‍රදේශයේ බුද්ධඝෝෂ හිමියන් ඇතුළු තවත් බ්‍රාහ්මණ වාංශික භික්‍ෂූන් වහන්සේ ලවා ධර්මය ශාස්ත්‍රීය කර ගැනීමට අපට සිදු වී තිබෙනවා. මහාවංසය ලියූ මහානාම හිමියන්ගේ සම්භවය කුමක් ද? ඒ කුමක් වුවත් අපට හෙළටුවා තිබී තියෙනවා. ඒ ලියන්න ඇත්තේ සිංහල භික්‍ෂූන් වහන්සේ. අපේ ශාස්ත්‍රීය සම්ප්‍රදායට හතරවැනි සියවසෙන් පමණ සිිදු වූයේ කුමක් ද? ඒ එසේ සිදු වුණේ ඇයි?
අදත් අප වඩා සැලකිලිමත් වන්නේ ශිල්පීය පක්‍ෂයට.
උසස් පෙළ සිසුන් ඉතා වැඩි දෙනකු බලාපොරොත්තු වන්නේ ඉංජිනේරුවන් බටහිර වෙද මහතුන්
කළමනාකරුවන් ගණකාධිකාරීන් කලාකරුවන් සාහිත්‍ය
නිර්මාණකරුවන් ආදීන් වීමට. ඉඳ හිට කෙනකු තමයි ප්‍රවාදාත්මක අධ්‍යයනයකට යොමු
වන්නේ. සාහිත්‍ය හා කලා විචාරය ලංකාවේ පුස්සක් (වචන ගොඩක්) පමණයි. ශාස්ත්‍රීය
පැත්තේ අප නිර්මාණ කරන්නේ නැහැ. එහෙම නිර්මාණ තියෙන බවක්වත් බොහෝ දෙනා දන්නේ නැහැ.
අප දන්නේ කලා නිර්මාණ, ඉංජිනේරු නිර්මාණ ආදිය ගැන පමණයි. මා ඒ
නිර්මාණකරණයෙහි දොසක් දකිනවා නො වෙයි. එහෙත් ශාස්ත්‍රීය පැත්තෙත් නිර්මාණ කිරීමට
උනන්දුවක් නොදැක්වීම අද ප්‍රශ්නයක් වෙලා.
අප ශාස්ත්‍ර පැත්තේ දක්‍ෂකම් දක්වා නැති නමුත්
අප ශාස්ත්‍රයට ගරු කරනවා. අප වත්මන් එක්සත් ජනපදිකයන්ට (ඇමරිකානුවනට) වඩා බටහිර විද්‍යාවට
ගරු කරනවා. අවුරුදු විස්සකට පමණ පෙර බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි මා කී
විට බොහෝ දෙනා මා සමග උරණ වුණා. අප සමග
එකට සිටි බොහෝ දෙනෙක් වෙනතක් බලා ගත්තා. අද අප කොවිඩ් එන්නතක් ලබා ගැනීමට පොර
කනවා. ඒ එන්නත ලබා දීම කළමනාකරණය කරගන්න අපට බැහැ. අපේ කළමනාකරුවන් ශිල්පීන්
පමණයි. එන්නත ලබා දීමේ දී දැනට ලැබී ඇති එන්නත් ප්‍රමාණයෙන් හරි අඩක් දෙවැනි මාත්‍රාව
සඳහා ඉතිරි කර ගත යුතු ය කියා අපට මුල දී කල්පනා වුණේ නැහැ. එය ආණ්ඩුවේ වරදක්
නොවෙයි. අප හිතන විධියේ වරදක්. දැන්වත් ඒ වරද නිවැරදි කර ගනීවි කියා හිතනවා. ගඟ
හත්ගවුවක් තියෙද්දි අමුඩ ගහන්න එපා කතාව හැදුවෙ කවුද?
අප එන්නත ලබා ගැනීමට පොරකද්දී සමහරවිට එන්නත්
පොකුරු හදා ගනිද්දී එක්සත් ජනපදිකයන් එන්නත කරා කැඳවා ගැනීමට බලධාරීන්ට විවිධ උපක්‍රම
අනුගමනය කරන්න සිද්ධ වෙලා. එන්නත් ලබා ගන්නා අය ලොතරැයියකට ඇතුල් කර ගැනීම එක් උපායක්.
එහෙ මිනිසුන්ට එන්නතට වඩා ලොතරැයිය වටිනා බව පේනවා. එක්සත් ජනපදිකයන් සිංහලයන්
තරමට බටහිර විද්‍යාව අගයන්නේ නැති බව පැහැදිලියි. ට්‍රම්ප් නම් නිල වශයෙනුත් බටහිර
විද්‍යාව ඇගයුවේ නැහැ. මෙය තවදුරටත් පසුව කතා කරන්න ඕන කරුණක්. එක්සත් ජනපදිකයන්
සිංහලයන් තරම් බටහිර විද්‍යාව අගයන්නේ නැත්තේ ඇයි? පොඩ්ඩක් හිතන්න.
පූර්විකාව දික් වුණා. මට කියන්න ඕන සංචරණ සීමා
කියන්නෙ මොනව ද කියන එක මිනිසුන්ට නොවැටහෙන බවයි. සඳුදා පාන්දර වෙනකම් අඛණ්ඩ ව
සංචරණ සීමා ක්‍රියාත්මක වෙනවා. ඉන්පසු මැයි අග වන තෙක් දිනපතා රාත්‍රි කාලයෙහි
සංචරණ සීමා පැනවෙනවා. සංචරණ සීමා කියන කතාව ලැබුණේ කොහෙන් ද කාට ද කියා මා දන්නේ
නැහැ. කාගෙන් කාට ලැබුණත් එය සන්නිවේදනය කර ගන්න බැහැ. වෙන එකක් තබා අඩු තරමෙන්
සඳුදා පාන්දර වන තෙක් සංචරණ සීමා නොකඩවා දිවා රාත්‍රී ක්‍රියාත්මක වන බවත් ඉන්පසු
මැයි අග වන තෙක් රාත්‍රියෙහි යම් කාල සීමාවක් තුළ පමණක් සංචරණ සීමා පැනවෙන බවවත්
කියා ගන්න බැහැ. අප වියුක්ත ව හිතන්නෙ
නැති බව මෙයිනුත් පැහැදිලි වෙනවා.
සංචරණ සීමා යනු මොනවා දැයි ඉතා කෙටියෙන් කියා
නැහැ. අතනට යන්න බැහැ මෙතනට යන්න පුළුවන් කියා කීමේ ඉවරයක් නැහැ. සංචරණ සීමා යනු
ගමන් බිමන් යෑමට පනවා ඇති සීමාවන්. යන ගමනක් තනි ව යන්න ඕන. ඒකත් අත්‍යවශ්‍ය ම
(අවශ්‍ය නොවෙයි) නම් පමණයි. ඖෂධ මිළ දී
ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. ඒත් චිකන් මිළ දී ගැනීම අත්‍යවශ්‍ය තියා අවශ්‍ය වන්නේවත්
නැහැ ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර මිළ දී ගෙන ඇති අය යන්න ම ඕන. ඒත් දුම්රිය වාර ප්‍රවේශ
පත්‍ර මිළ දී ගෙන ඇති අය යන්න ඕන නැහැ. රෝහළකට යන එක අත්‍යවශ්‍ය වුණොත් යන්න
පුළුවන්. ඒත් වැල්ලෙ යන එකවත් පන්සල් යන එකවත් අවශ්‍ය නැහැ. අද පන්සල් නොගියට ලබන
සුමානෙ යන්න පුළුවන්. අද නොගියා කියා දිව්‍ය ලෝකෙ යන්න බැරි වෙන්නෙ නැහැ.
සංචරණ සීමා කියන්නෙ ඇඳිරි නීති පැනවීමක් නො
වෙයි. ඇඳිරි නීති පැනෙව්ව ම සංචරණ සීමා තවත් දැඩි වෙනවා. පොලීසියට හා හමුදාවට තවත්
බලතල ලැබෙනවා. ඕන නම් යුද්ධ නීති පනවන්නත් පුළුවන්. මියන්මාහි නම් මාස තුනක්
තිස්සේ හැමදාමත් හැම තැන ම ඇඳිරි නීතිය පනවලා. සමහර ප්‍රදේශවල යුද්ධ නීතියත්
පනවලා. අප ලංකාවේ සිට මියන්මා දේශයට ආපසු පැමිණියේ රාත්‍රි කාලයේ. ගුවන් තොටුපළේ
සිට තානාපති නිවස දක්වා ඒම සඳහා කලින් අවසර ගැනීමට පමණක් නොව ගමන් මාර්ගය ද
දක්වන්න සිදු වුණා. එහි වරදක් නැහැ. සිදු විය යුත්තේ එයයි.
ලංකාවේ සංචරණ නැත්නම් ගමන් බිමන් සීමා යටතේ අත්‍යවශ්‍ය
නම් බෙහෙත් ගන්න යන්න පුළුවන්. ගමන් මාර්ගය දක්වන්න ඕන නැහැ. ඒත් ඒකෙන් කියන්නෙ
නැහැ බෙහෙත් සීට්ටුව සාක්කුවේ දාගෙන පෙම්වතිය බලන්න යන්න පුළුවන් කියා. පොලීසියට
ඔය හැම එකක් ම පරීක්‍ෂා කරන්න බැහැ. තමන් අවංක වෙන්න ඕන. බොරු ලිපින දෙන එක වීර ක්‍රියාවක්
නො වෙයි. නීතියේ කණෙන් රිංගන්න හදන එක අත්‍යවශ්‍ය තියා අවශ්‍ය කටයුත්තක්වත් නො
වෙයි.
ඒ මොකක් වුණත් පොලීසියේ දක්‍ෂ සන්නිවේදකයන්
ඇති. ඒ ඒ පොලීස් කාර්යාලවලට පුළුවන් ගමට ඇහෙන්න සංචරණ සීමා ගැන කියන්න. අජිත් රෝහණ
මහතා දක්‍ෂ සන්නිවේදකයකු නො වේ කියා හිතන්න එපා. මා කියන දේ නම් සන්නිවේදනය වෙන්න
බොහෝ කල් යන බව මා දන්නවා. ඔය සංචරණ වගේ
වචන යොදා ගන්නෙ නැත්නම් හොඳයි. ගමන් බිමන් යෑමේ සීමා ගැන හරි ගමන් බිමන් යෑමේ දී
බලපාන නීති රීති ගැන හරි කියා දෙන්න. මේ ඇඳිරි නීතිය නොවන බවත් දැනෙන ආකාරයකට
කියන්න පුළුවන් නම් හොඳයි. ඒත් අපේ අය ආ දැන් ඇඳිරි නීති නැහැ කියල නීතිය අතට ගන්න
පුළුවන්. මතක තියා ගන්න තවමත් නිරෝධායනය කියන වචනෙ බොහෝ දෙනාට තේරෙන්නෙ නැති බව.
අපට අවශ්‍ය ඉංගිරිසි වචනවලට පාරිභාෂික ශබ්ද දෙන එක නො වෙයි. මිනිසුන්ට තේරෙන
විධියට යමක් කියන එක. පාරිභාෂික ශබ්ද විශ්වවිද්‍යාලවලට හා පඬියන්ට නම් හොඳයි. ඒ
කිසිවකු කිසිවක් තේරුම් ගන්නෙ නැති නිසා.