ඊනියා නුතනත්ව දැනුම හමුවේ අපේ දැනුම
මා හිතන විධියට ආයුර්වේද වෙද මහතුන්ට තම වෙදකම තම රෝහල්වල කර ගෙන යන්න සෞඛ්‍ය අමාත්‍යංශය ඉඩ දීලා. සිසිර ජයකොඩි හා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඒ පිළිබඳ එකඟත්වයකට පැමිණිලා. එහෙත් ඒ ගැන ජනමාධ්‍යයෙහි චතුර අල්විස්ගෙන් හැරෙන්න යමක් කියැවුණේ නැහැ. සමහර විට බටහිර වෙද මහතුන් තවත් විරෝධයක් පෑව ද දන්නෙ නැහැ. ඒත් ජනමාධ්‍යකරුවන් පිලපිටිය වාර්තාවෙන් ධම්මික පැනිය නුසුදුසු යැයි තීරණය වී ඇති බව නම් තළු මරමින් කිවුවා. එහෙත් පිලපිටිය කමිටුව තමන්ගේ ක්‍ෂෙත්‍රයේ අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගවත් අනුගමනය කර නැහැ. ජනමාධ්‍යකරුවන්ට ඉන් වැඩක් නැහැ. ඔවුන්ට අනුව ඊනියා විද්‍යාව විසින් මිථ්‍යා මත ප්‍රතික්‍ෂප කෙරිලා.
මෙය ඉතාමත් භයානක තත්වයක්. මේ ජනමාධ්‍යවේදීන්ගෙන් බොහෝ දෙනෙක් සිංහල මාධ්‍යයෙන් උගත් අය. සමහරු අර ඊනියා උගත් ගැමි තරුණයන්. මේ ඊනියා උගත් ගැමි තරුණයන් අපේ දැනුමට පහර ගහන්න හරි කැමතියි. එමගින් ඔවුන් පෙන්වන්නේ එක ම එක දෙයයි. ඒ ඔවුන්ගේ හීන මානය. ඔවුන්ට නූතනත්වයට පානගන්න නූතනත්වයේ පිළිගැනීමක් ලබා ගැනීමට ඇති ප්‍රධාන ම හා පහසු ම ක්‍රමය අපේ දැනුම මිථ්‍යාවක් බව ප්‍රකාශ කර එයට පහර ගැසීම.
පසුගිය දිනවල ආයුර්වේදය සම්බන්ධ මාධ්‍ය සාකච්ඡා කිහිපයක් තිබුණා. එයින් එකකටත් ප්‍රචාරය ලැබුණේ දෙරණ අරුණෙන් පමණයි. ඊයේ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආයුර්වේදය සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවක් තිබුණා. එයට පැමිණ තිබූ මාධ්‍යවල ප්‍රවෘත්ති අදාළ සංස්කාරකවරුන්ගේ කතුරට ඒ සාකච්ඡා හසුවෙලා. එයට නොපැමිණි මෝනින් පත්‍රය හාමුදුරුවන්ගෙන් අහගෙන ඒ ගැන ලියලා.
ජනමාධ්‍ය සාමාන්‍යයෙන් දේශීය දැනුමට තැනක් දෙන්නේ නැහැ. ඔවුන්ට එය මිථ්‍යාවක් නැත්නම් විහිළුවක්. ඉඳහිට ජමාධ්‍යවේදියකු දෙන්නකු තමයි දේශීය දැනුම ගැන උනන්දුවක් දක්වන්නෙත් එයට යම් තැනක් ලබා දෙන්නෙත්. මෙය පොදුවේ ඊනියා ගැමි උගතුන් අතර දකින්න පුළුවන්. එය නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් යැයි කී විට බොහෝ දෙනා උරණ වෙන්න පුළුවන්. එහෙත් නිිදහස් අධ්‍යාපනයට පෙර ඉංගිරිසියෙන් උගත් නාගරික යැයි කිව හැකි පිරිසට තිබුණේ පොදුවේ ගත් කල වෙනත් ආකල්පයක්.
ඒ නාගරිකයන්ට අවශ්‍ය වුණේ දේශීය දැනුම හෙළා දැකීමට වඩා දේශීය දැනුම බටහිර නූතනත්ව දැනුම බව පෙන්වීමට. ඔවුන්ට අවශ්‍ය වුණේ අපටත් බටහිරයන්ගේ දැනුම තිබූ බව පෙන්වීමට. එය බටහිර නූතනත්වයට ඔවුන් මුහුණ දුන් ආකාරය. ඉංගිරිසි පාසල්වල මුදල් ගෙවා ඉගෙන ගත් ඔවුන්ට හොඳ ඉංගිරිසි දැනුමක් තිබූ අතර ඇතැමකුට ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් ලන්ඩන් වැනි විශ්වවිද්‍යාලවල ඉගෙනීමට හැකි වුණා. අද ඉන්න ඊනියා ගැමි උගතුන්ට බටහිර අධ්‍යාපනය නොමිලේ අඩු තරමෙන් උසස් පෙළ දක්වා සිංහලෙන් ලැබුණු අතර ලංකාවේ අනුකාරක විශ්වවිිද්‍යාලවලින් බොහෝ විට තම අධ්‍යාපනය හමාර කළා.
පැරැන්නන් නූතනත්වයට ගොඩ වුණේ දේශීය දැනුම ද නූතනත්වයට සමාන කරමින්. ඊනියා නුතනයන් නූතනත්වයට යන්න හදන්නේ දේශීය දැනුමට ගරහමින්. මෙයින් කියැවෙන්නේ නැහැ මෙය සර්ව සම්පූර්ණ වර්ගීකරණයක් කියා. එහෙත් එහි යම් දළ වර්ගීකරණයක් තියෙනවා. ඒ කුමක් වුවත් පහළොස්වැනි සියවසේ ඇති වූ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය බොහෝ දෙනාට ඒ දෙයාකාරයෙන් එක් ආකාරයකට බල පා තියෙනවා.
එදා ශාන්ති කර්ම බලි තොවිල් ආදියෙහි වැදගත්කම නූතනත්වය අනුව අගය කිරීමට ඇතැමුන් පෙළඹුණා. අද ඒ සියල්ල නූතනත්වයට අනුව මිථ්‍යාවන් ලෙස සැලකීමට පුරුදු වෙලා. එහෙත් මේ දෙකොටස ම කරන පොදු දෙයක් තියෙනවා. ඒ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මිනුම් දණ්ඩ ලෙස සැලකීම. ඒ මිනුම් දණ්ඩ අනුව තමයි අනෙක් සියල්ල මැනෙන්නෙ. මේ තමයි බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය.
පළමු කොටස නියෝජනය කළ තැනැත්තකු වූයේ මහාචාර්ය කේ එන් ජයතිලක. ඔහුට අවශ්‍ය වුණේ නූතනත්වය අනුව බුදුදහම විග්‍රහ කිරීමට. චතුස්කෝටිකය බෞද්ධ න්‍යායක් නො වෙයි. බෞද්ධයන් යමක් න්‍යායානුකූල වූ පමණින් වත් පිළිගන්නේ නැහැ. තර්කානුකූල වූ පමණින්වත් පිළිගන්නේ නැහැ. ඒ සියල්ල අවිජ්ජා නිසා සංස්කරණය කෙරෙන දේ. එසේ වුවත් මහාචාර්ය ජයතිලකට අවශ්‍ය වුණේ චතුස්කෝටිකයේ ඇතැයි කියන පරස්පර නැති බව පෙන්වීමට. අර එයත් සත්‍ය වේ එය නොවන්නත් සත්‍ය වේ යන්න යොදා ගැනීමේ දී එය ගුණාත්මක වෙනසකට භාජනය කර එහි පරස්පරයක් නැති බව පෙන්වීමට ඔහු උත්සාහ කළා. අද ක්වොන්ටම් භෞතිකය වෙනත් සත්භාවයක් නිරූපණය කරන බවත් අංශුවේ ගම්‍යතාව දත් විට අංශුවක් එක විට තැන් කිහිපයක තිබිය හැකි බවත් කියනවා. ඒ කියන්නේ අංශුව මෙතැන තියෙන එකත් සත්‍යයි, එතැන තියෙන එකත් සත්‍යයි යන්නයි.
අද ඉන්නා උගතුන්ට චතුස්කෝටිකය මිථ්‍යාවක් පරස්පරයක්. ඔවුන් ක්වොන්ටම් භෞතිකය ඉගෙන නොගන්නා එක හොඳයි. බොහෝ ජනමාධ්‍යවේදීන් නම් ඔය සියල්ල දන්නවා. ඔවුන් නොදන්නේ තම නොදැනුම විතරයි. චතුස්කෝටිකය හරි බවක් මා කියන්නේ නැහැ. ග්‍රීකයන්ගේ ද්විකෝටිකයත් චතුස්කෝටිකයේ ම අවස්ථා දෙකක්. ඒ සියල්ල අප යම් යම් දේ තේරුම් ගැනීමට යොදා ගන්නා පට්ටපල් බොරු. තේරුම් ගන්නව කියන්නෙ අපට දැනෙන දෙයකින් තවත් දැනෙන දෙයක් විස්තර කිරීම පමණයි. අප තේරුම් ගන්නා දෙයක් නැහැ. කරන්නේ කතන්දර හැදීමක් පමණයි. අප ඒ ඒ දැනුම් පද්ධතියේ ඒ ඒ කතන්දර ගොතනවා. එසේ තිබිය දී එක් කතන්දර වැළක් බටහිර කතන්දර වැළ සමග සසඳන්නේ බටහිරයන් කෙරෙහි වූ අපේ දීන හැඟීම හැරෙන්න වෙනත් එකක් නිසා නො වෙයි. එත් දැන් බටහිර දැනුම කඩා වැටිල තියෙන විට එහෙම කරන්න මොන තරම් දීන කමක් තියෙන්න ඕන ද?