Main Logo

Tuesday 18 May 2021

නන්දිකඩාල් ජයග්‍රහණයට පෙර

 

නන්දිකඩාල් ජයග්‍රහණයට පෙර

 

අදින් වසර දොළහකට ඉස්සර අපේ රණවිරුවන් කොටි ත්‍රස්තවාදය පරාජය කළා. ඒ ජයග්‍රහණයටත් පියවරු කිහිප දෙනෙක් ඉන්නවා. ඕනෑම ජයග්‍රහණයකට එහෙමයි කියල ඉංගිරිසින් කියල තියෙනවා. මා නම් ජයග්‍රහණයේ බාප්පා කෙනකුවත් නො වෙයි. ඒත් යුදවාදියා කියා වැඩියෙන් ම බැණුම් අහල තියෙන්නෙ මා වෙන්න ඕන. අපේ පරම්පරාව නම් දඹදෙණි කාලෙ මෙහි පැමිණි රාජ්පුත් ඨකුරගෙන් පැවතෙන්නක් තමයි. රාජ්පුත්ල යුද්ධ දක්‍ෂයන්. ඒත් මා නම් පාසලේ කැඩෙට් භටයකුගේ තත්වයෙන් ඉහළට ගිහින් නැහැ.

 

මා යුද්ධ කරන්නෙ වෙනත් තලයක. ඒ තලයෙ මෙරට එතරම් දක්‍ෂයන් නැහැ. පඬි නැට්ටන් හෙවත් මැකෝලි නැට්ටන්ට ඇති දක්‍ෂකමක් නැහැ. කොහොමත් ඔවුන්ට අන්තර්ජාලය නැත්නම් පැවැත්මක් නැහැ. අර නැවෙන් කටට කිවුව වගේ පඬි නැට්ටන්ට පොතෙන් පිඟානට. ඒක කාලෝ අර්ථයෙන් නො වෙයි. කාලෝ වෛද්‍ය විද්‍යාලයෙ ඉගෙන ගන්න කාලෙ පොත අත්හැරියෙ කෑමට (පිඟානට) යන්න විතරලු. කෑම කා ඉවර වුණු ගමන් නැවත පොතට ගියාලු. එයට කිවුවෙ පොතෙන් පිඟානට  පිඟානෙන් පොතට කියල කාලෝ ම තමයි කිවුවෙ.  පඬි නැට්ටන් ඔය පොත්පත්වලින් අහුලගන්න යමක් ලියල කියල තමයි කීයක් හරි හම්බ කරන් කන්නෙ.

 

මතවාදී තලයෙ බටහිරයනුත් හිටිය. ඔවුන් නම් දක්‍ෂයන්. දේශපාලන විශ්ලේෂකයන්, විචාරකයන් ආදී වශයෙන් කියා ගත්තවුනුත් හිටිය. ඔවුන් විවිධ තර්ක ගෙනාවා. දෙමළ ජනයාට මහා අසාධාරණයක් තියෙනව ය, කොටි ත්‍රස්තවාදය පරාජය කළ නොහැකිය, ප්‍රභාකරන් අග්‍රගණ්‍ය යුද විශේෂඥයෙක් ය, බෞද්ධයනට යුද්ධය අකැප ය, යුද්ධයෙන් සාමය ඇති කරන්න බැරිය, යුද්ධය නවත්තල සාම සාකච්ඡාවලට යා යුතු ය ආදී කතා කියවුණා. තම්බයියා බුදුදහම පාවාදීම කියා පොතක් පළ කළා. නම තම්බයියා වුවත් ඔහු බයියකු නොවන බව පැහැදිලි වුණා. තාමත් දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නය මොකක් ද කියල එතෙර මෙතෙර කවුරුන්වත් කියල නැහැ. වරක් පාර්ලිමේන්තුවේ දී කුමාර් පොන්නම්බලම් නම් කිවුවෙ දෙමළ ජනයාට තියෙන්නෙ අභිලාෂ කියල. ඔහුගෙ පියා ජී ජී පොන්නම්බලම් නම් එකල රාජනීතිඥයෙක් පමණක් නොවෙයි කැබිනට් ඇමතිවරයෙක් ද වුණා. පියා නම් අභිලාෂය ඉෂ්ඨ කර ගෙන. කුමාර් පොන්නම්බලම්ගෙ පුතා ගජෙන්ද්‍රත් මොනව මොනව හරි කියවනවා. ඒත් මේ දවස්වල කොවිඩ් විශේෂඥයන්ට ඉඩ දීල අයින් වෙලා.

 

අද කාදිනල්තුමාත් අමතක කළාට ඒ දවස්වල කතෝලික පූජකවරු කොටි ත්‍රස්තවාදීන්ට භාණ්ඩ ප්‍රවාහනයත් කළා. ඒක එතරම් ප්‍රශ්නයක් නො වෙයි. අපි වෙනුවෙන් අපි කියල පාඨයක් නිර්මාණය වෙලා තිබුණත් අපි වෙනුවෙන් අපි ඔක්කොම හිටියෙ නැහැ. අද ජාතික වීරයන් වෙලා ඉන්න සමහරු අනූවෙ දශකයෙ මුළ අප යුදවාදීන් කියල ලක්මිණ පත්තරෙන් අස් කරන්න   එකට සංවිධානය වුණා. අපට පත්තරෙන් යන්න වුණා. ඒත් පත්තරේටත් ඒ සමග යන්න වුණා.

 

ජාතිය මළකඳක් කියල කියපු අය, ඒත් බලයට ඒම සඳහා මළකඳ කර ගහගත්ත අය යුද්දෙට විරුද්ධව පොස්ටර් ඇළවු අය අපට එරෙහි වුණා. සිංහල ජාතිකවාදීන් අතරත් අප සුළුතරයක් වුණා. බටහිරයන් හොඳ උපායක් කල්පනා කළා. එ ජා පක්‍ෂය ප්‍රධාන ආණ්ඩුවකින් රට බෙදන්න ගියොත් ශ්‍රී ල නි ප අනිවාර්යයෙන් විරුද්ධ වන බව දත් ඔවුන් තමන්ට අවශ්‍ය දේ ශ්‍රී ල නි ප ලවා කරවා ගැනීමට උත්සාහ කළා. එකල එංගලන්තයේ සැමියා නැති සොවින් තැවුණු චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ල නි ප නායකත්වය ගැනීමට ආපසු එවීමට තීරණයක් ගැණුනා. සුපුරුදු පරිදි එය ලංකාවෙන් කෙරෙන ඉල්ලීමක් බවට පත් කරන්න කිහිප දෙනකු මෙරට හිටියා.

 

චන්ද්‍රිකා ආවා. ඇගේ ආගමනය කුමක් සඳහා දැයි තේරුම් ගත් අප ඇයට මුල සිට ම විරුද්ධ වුණා. ඒත් ජනතාවට අවශ්‍ය වුණෙ එ ජා ප ශාපයෙන් ගැලවෙන්න. චන්ද්‍රිකා දකුණ දිනුවා. 1994 මැතිවරණය අර දාහත් අවුරුදු ශාපයෙන් මිදෙන්න යොදා ගන්න ජනතාවට ඕන වුණා. ඒත් අප දැන සිටියා චන්ද්‍රිකා ගැන. මට මතක හැටියට ඇගේ වෛරය කියල චිත්‍රපටයකුත් තිබුණා. අපට අවශ්‍ය වුණෙ චන්ද්‍රිකාට තීරණාත්මක බලයක් නො දෙන්න. ම එ පෙරමුණත් සමග අප එකතු වී වෙන ම තරග කළා. අප තරග කෙළේ ම එ පෙරමුණෙන්. ජේ ආර්ගෙ ක්‍රමය අනුව පක්‍ෂයක නොවන අයකුට වුණත් පක්‍ෂයකින් තරග කරන්න පුළුවන් වුණා.

 

ජාතිය මළකඳක් කී අය අවමංගල සමග එකතු වී මාතරින් ජාතියේ අවමංගල කටයුතු කරන්න සූදානම් වුණා. පාංශුකූලෙට සූදානම් වුණු අතන මෙතන පනින හාමුදුරුවන් නලියා සමග වැඩ කරනව නම් වෙනත් හාමුදුරු නමකගේ සිවුරු ගලවන බව කිවුවා. ඒත් තාමත් ජාතිය ජීවමානයි. අර හාමුදුූරුවන්ගෙ සිවුරත් ගැලවිල නැහැ.

 

ඒ මැතිවරණය මෙරට තීරණාත්මක මැතිවරණයක්. එහි ප්‍රතිඵල ලෙස බොහෝ දේ සිදු වුණා. දිනේෂ් ගුණවර්ධන කොළඹින් හා රටෙන් පරාජය කෙරුණා. මට නම් කළුතරින් මනාප පන්දාහක් පමණ ලැබුණා. ධර්මසේකරල බන්දුල ල ඔක්කො ම පරාද වුණා.  අප පැරදුණාට චන්ද්‍රිකා දිනුවෙ නැහැ.  දිනුවෙ නැත්තෙ චන්ද්‍රකාට පැකේජය දී ගන්න බැරි වුණු නිසා. පැකේජ් පප්පා නමින් පෙනී හිටි අය අවමංගල ආදීන් සුදු නෙළුම් ගෙන අවලම් තවලම් ගියා. දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණ රුහුණු රට භික්‍ෂු පෙරමුණ හා චින්තන පර්ෂදය එක් වී කළුතර සිට කතරගමට පා ගමන් කැලණියේ සිට කතරගමට රිය ගමන් පමණක් නොව මුහුදු යාත්‍රා ද ක්‍රියාත්මක කළා. පැකේජය අකුළ ගන්න සිද්ධ වුණා. චන්ද්‍රිකාගේ දේශපාලනයත් අවසන් වුණා. ඒ රනිල් සමග තාවකාලික ආණ්ඩුවක් පිහිටුවා ඊනියා සටන් විරාමයක් ඇති කළාට පස්සෙ.

 

මහින්ද පෙරට ආවෙ ඊට පස්සෙ. ඒත් ප්‍රභාකරන් පරාජය කරන්න මහින්දට ඉදිරිපත් වෙන්න කල් ගියා. කොහොම නමුත් මහින්ද හමුදාවට දේශපාලන නායකත්වය දුන්න. එකල හමුදාවට දේශපාලන නායකත්වය දිය යුතු බව අප කියන විට පඬි නැට්ටන් හිනහවුණා. අද ඔවුන් විරිත්තනවා.

 

බොහෝ දෙනා දන්නෙ භූමියෙ කළ සටන් පමණයි. මතවාදී තලය බොහෝ දෙනකුට පේන්නෙ නැහැ. පෙනුනත් දැක්කෙ නැහැ වගේ ඉන්නවා.