Main Logo

Sunday 12 April 2015

මහින්ද මෛත්‍රීපාල සමගියක් අවශ්‍ය නැහැ

මහින්ද මෛත්‍රීපාල සමගියක් අවශ්‍ය නැහැ

අද ඇතැමුන් ශ්‍රී ල නි පක්‍ෂයේ ඊනියා සමගියක් සඳහා මහින්ද රාජපක්‍ෂ හා මෛත්‍රීපාල සිරිසේන එකතු කිරීමක් ගැන කතාකරනු දැකිය හැකි ය. සමහර දෙනකු කියන්නේ එකතුවට බාධාවක් වී ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංග බව ය. චන්ද්‍රිකාට අද දේශපාලනයේ කළ හැකි දෙයක් නැත. ඇය බණ්ඩාරනායක පවුලේ දියණීයක වුව ද විජය කුමාරතුංගගේ භාර්යාව වෙයි. විජය යනු ඊනියා මානව හිතවාදියකු ආදී වශයෙන් මතයක් තහවුරු කිරීමේ වැයමක් මෙරට දෙමළ ජාතිවාදීන්, ඊනියා රාජ්‍ය නොවන පඬියන්, ආදීන් අතර දැකිය හැකි වුව ද ඔහු මෙරට බිහි වූ අංක එකේ සිංහල බෞද්ධ විරෝධියෙකි. 


ඔහුගේ මහජන පක්‍ෂය පිහිටුවා ගනු ලැබුයේ ශී්‍ර ල නි පක්‍ෂයට විරුද්ධව ය. එයින් පැවසෙන්නේ එදා මහජන පක්‍ෂයේ සාමාජිකයන් අනුගාමිකයන් වූ සියලු දෙනා සිංහල බෞද්ධ විරෝධීන් වූ බව නො වේ. ඔවුන් බොහෝ දෙනකුට වූයේ අසාධාරණත්වයට එරෙහිව කටයුතු කිරීමේ අවශ්‍යතාව ය. විජය කුමාරතුංග පෙන්නුම් කළේ තමා මානව හිතවාදී සාධාරණ මිනිසකු බව ය. නළුවකු වූ ඔහුට ඒ රඟපෑම පහසුවෙන් කළ හැකි විය. බොහෝ දෙනා ඔහු කරන්නේ රඟපෑමක් බව වටහා නොගත්හ.ඔහු මූලික වශයෙන් පෙනී සිරටියේ දෙමළ ජනයාට වූ ඊනියා අසාධාරණයක් වෙනුවෙනි. ඔහු තම ඇඹෙීණිය සමග චෙන්නායි ගුබ්බෑයම්වලට ගොස් දෙමළ ත්‍රස්තවාදීත් හමුවිය. දෙමළ ජනයාට අසාධාරණයක් සිදු වී ඇත්තේ නම් ඒ කුමක් ද? අසාධාරණය සිදු වී  ඇත්තේ කාගෙන් ද? විජය කුමාරතුංගට අනුව ඒ ඊනියා සිංහල ආණ්ඩුවලිනි. ඔහු සමහර විට ඒ ආණ්ඩු ධනපති ආණඩු යනුවෙන් හඳුන්වන්නට ඇත. එහෙත් ඔහු චෝදනා කළේ සිංහලයන්ට ය. විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට ය. 

චන්ද්‍රිකා පසු කලෙක අනූවේ දශකයේ මෙරටට අනායනය කරනු ලැබුවේ ද බටහිරයන්ගේ (හා ඉන්දියාවේ) අවශ්‍යතාව පරිදි දෙමළ ජාතිවාදයට වරප්‍රසාද ලබාදීමට ය. එහෙත් මංගල සමරවීර හා වික්ටර් අයිවන්, රාජිත සේනාරත්න ආදීන් සමග එකතු වී කොපමණ වෑයම් කළත් ඇයට බටහිරයන්ගේ අවශ්‍යතාව ඉටුකිරීමට නොහැකි විය. ඒ ශ්‍රී ල නි පක්‍ෂයට, එනම් එහි සාමාජිකත්වයට හා අනුගාමිකයන්ට සිරසක් තිබූ බැවිනි. එවැනි චන්ද්‍රිකා කෙනකු මහින්ද ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වය දරනු දැකීමට කිසිසේත් කැමති නො වෙයි. එය පෞද්ගලික ප්‍රශ්නයක් පමණක් නො වේ. චන්ද්‍රිකා අගේ මියගිය සැමියා මෙන් ම සිංහල ජාතිකත්වයට විරුද්ධ ය. මහින්ද සිංහල ජාතිකත්වය මගින් යම් ප්‍රමාණයකට වුවත් මෙහෙයවනු ලැබෙයි. 

අද මෛත්‍රිපාල  සිරිසේන ද සිංහල ජාතිකත්වයට විරුද්ධ ය. ඔහුට පසුගිය දා ඉන්දියාවේ දී හා එංගලන්තයේ දීත් ඊට පෙර අමෙරිකාවේ දීත්  උගන්වා ඇත්තේ සිංහල විරෝධී වීමට ය. ඔහු ඉඳහිට කියන්නේ කල්පනාකාරීව වැඩ නොකළහොත් අපට භයානක අනතුරකට ඉදිරියේ දී මුහුණ පෑමට සිදුවන බව ය. ඔහු මේ නොකියා කියන්නේ අප දෙමළ ජාතිවාදීන්ගේ ඉල්ලීම් ඉටු නොකළහොත් රට භයානක අනතුරකට මුහුණ දෙනු ඇති බව ය. ඔහු අද සිංහල ජාතිකත්වයට කන්දීමට සූදානම් නැත. ඔහු අද  මතවාදී වශයෙන් ද  යැපෙන්නේ බටහිරයන්ගෙන් හා ඉන්දියානුවන්ගෙනි. ඔහු අද චන්ද්‍රිකා මෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයේ මූලික ජාතිකවාදී ප්‍රතිපත්තිවලට  විරුද්ධ ය.

එවැනි මෛත්‍රිපාල කෙනකු විසින් ශ්‍රී ල නි පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ශ්‍රී ල නි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවෙන් නෙරපනු ලැබ ඇත. ශ්‍රී ල නි පක්‍ෂය කළ යුතුව ඇත්තේ පක්‍ෂයට ද්‍රෝහි වූ ද පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වූ ද මෛත්‍රිපාල පක්‍ෂයෙන් ම නෙරපීම ය. ඒ ගැන අපි පසුව තවදුරටත් කතා කරමු. පක්‍ෂයෙන් එළවිය යුතු මෛත්‍රිපාල පක්‍ෂයට හානියකි. ඔහු හා මහින්ද රාජපක්‍ෂ අතර කිසිම සාම්‍යයක් නැත. එබැවින් ඒ දෙදෙනා එකතු කිරීමේ අවභ්‍යතාවක් නො වේ. මෛත්‍රිපාල පක්‍ෂ ප්‍රතිපත්තිවලට විරුද්ධ ය. මහින්ද පක්‍ෂ ප්‍රතිපත්ති ආරක්‍ෂා කරයි. ඔවුන් එකතු කිරීමේ අවශ්‍යතාව ඇත්තේ ශ්‍රී ල නි පක්‍ෂය සිංහල ජාතිකත්වයට විරුද්ධව ක්‍රියාකරනු දැකීමට කැමති අයට ය. ඔවුන්ට ඒ සඳහා කිසිම ඉඩක් දිය යුතු නැත. පක්‍ෂය ශක්තිමත් වනු ඇත්තේ මහින්ද මෛත්‍රිපාල එකතු කිරීමෙන්  නොව පක්‍ෂයෙන් මෛත්‍රිපාල එළවා දැමීමෙනි.

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 12