Main Logo

Tuesday 28 April 2015

යමපාලනයට තිත තබමු (ඉරිදා දිවයින ලිපියකි)

යමපාලනයට තිත තබමු 

අද රට ඇත්තේ අස්ථාවර තත්ත්වයක ය. මේ ලිපිය ලියන්නෙ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයට පෙර ය. ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රකාශය අනුව අප්‍රේල් 23 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු ය. ඒ නීති විරෝාධී අණ්ඩුවට එදිනට දින සියය පිරෙන නිසා නො වේ. ආණ්ඩුවට දින සියය පිරුණේ අප්‍රේල් 19 වැනි දා ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම 23 වැනි දා වන තුරු කල් දැමුණේ නවක මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප හිමි කර දීමට ය. එහි වරදක් නැත.  එහෙත් ඇතැම් පඬි ජනමාධ්‍ය නිවේදකයන් අපට කියා දෙන්නේ අප්‍රේල් 23 වැනි දාට ආණ්ඩුවට දින සියය පිරෙන බව ය. 


අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා ජනමාධ්‍ය සාකච්ඡාවක දී තර්ජනයක් කර ඇත. ඔහු කියනු ඇත්තේ ඒ තර්ජනයක් නොවන බව ය. ඔහු කියා ඇත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අප්‍රේල් 28වැනි දාට සම්මත කරගැනීමට නොහැකි වුවහොත් එදින ම ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ය. ඔහුගේ තර්ජනය ඇතිව හෝ නැතිව හෝ ශ්‍රී ල නි පක්‍ෂය පාර්ලිමේන්තුවේ දී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කොන්දේසි විරහිත ව පැරද විය යුතු ය. 

වෙනත් වචනවලින් කිවහොත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට තුනෙන් දෙකේ බහුතර ඡන්දයක් නොලැබෙන බවට ශ්‍රී ල නි පක්‍ෂය වග බලාගත යුතු ය. මේ බව මෛත්‍රිපාල සිරිසේන මහතා නොදන්නවා නො වේ. ශ්‍රී ල නි පක්‍ෂය කළ යුත්තේ ඊනියා 20 වැනි සංශෝධනය 19ත් සමග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලකිරීම නොව 19ට පෙර ඉදිරිපත් කිරීමට බලකිරීම ය. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ජනාධිපති විධායක බලතල සමහරක් අගමැතිට පැවරීමට පෙර සිදු කළ යුතු ය. 

නීති විරෝධීව අගමැති ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව පමණක් ජනාධිපති විධායක බලතල කප්පාදු කිරීමට කටයුතු කළ යුතු ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිටුපස වැඩි වශයෙන් ඇත්තේ සිංහල බෞද්ධ විරෝධීන් බව පැහැදිලි ය. රනිල් වික්‍රමසිංහ මහතා නීති විරෝධී අගමැති ලෙස සිටිය දී 19 සම්මත කරගැනීම දෙමළ ජාතිවාදයට උඩගෙඩි දීමකි. ඒ පිටුපස බටහිරයෝ ද ඉන්දීයයෝ ද වෙති. විධායක ජනාධිපති ක්‍රමය ඒකීයභාවය රැකගැනීමට ය. 13 වැනි සංශෝධනය අවසානයේ දී ෆෙඩරල් රාජ්‍යයක් ඇති කිරීමට ය. ජනාධිපති බලතල කප්පාදු කිරීමට පෙර 13 කප්පාදු කර ඉඩම් බලතල හා පොලිස් බලතල පළාත් සභාවලට අහිමි කළ යුතු ය.

දින සියයේ වැඩ පිළිවෙළ අනුව අප්‍රේල් 23 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුව තිබිණි. ඒ අතර අප්‍රේල් 22 වැනි දා  ඇමරිකානු තානාපති, ජර්මන් තානාපති හා එංගලන්තයේ වැඩ බලන මහ කොමසාරිස්වරිය මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී ඇත. මෛත්‍රිපාල සිරිසේන මහතා දින කිහිපයකට පෙර සංධානයේ පක්‍ෂ නායකයන්ට කියා තිබුණේ බටහිරයන් තමන්ට බලපෑම් කරන බවත් බටහිරයන් විශ්වාස කරන්නේ රනිල වික්‍රමසිංහ මහතා බවත් ය. 22 වැනි දා  හමුවීම, ප්‍රධාන බටහිර රටවල් තුනෙන් කියා කීම වරදක් නො වේ. ඔවුන් මෛත්‍රිපාල සිරිසේන මහතා එකම දිනයක, 23 වැනිදාට දිනයකට කලින් හමුවූයේ බලපෑම් නොදැමීමට යැයි අපි කෙසේ කියමු ද? 

ඒ අතර බැසිල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කෙරී ඇත. මෙය පළමු පියවර පමණක් බව ශ්‍රි ල නි පක්‍ෂයට හා සංධානයට මතක් කර දිය යුතුව ඇත. බැසිල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේ දී සම්ප්‍රදාය අනුගමනය කෙරී ඇත් දැයි දැනගනු කැමැත්තෙමු. එහෙත් ලබ්බට තැබූ අත පුහුලට ද තබන දිනය වැඩි ඇතක විය නො හැකි ය. මේ වැරදිකරුවන්ට දඬුවම් කිරීමක් නොව පළිගැනීමක් බව පැහැදිලි ය. බැසිල් රාජපක්‍ෂ මහතා එකල ඇතැම් ඇමතිවරුන්ට කෙණෙහිළිකම් කළ බවට චෝදනා වෙයි. එසේ වුවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ මේ ආකාරයෙන් නො වේ. අප්‍රේල් 23 වැනි දා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විරුද්ධව කුප්‍රසිද්ධ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිසම ඉදිරියට කැඳවා තිබිණි. එය ප්‍රශ්නයක් නො වේ. එහෙත් එයට විරුද්ධව පවත්වන ලද උද්ඝෝෂණය තහනම් කිරීමට පොලීසිය උසාවියෙන් නියෝගයක් ලබාගත්තේ අහවල් දෙයකට ද? අදාළ ප්‍රදේශය අධිආරක්‍ෂිත කලාපයක් නො වේ. උතුරු හා නැගෙනහිර පළාත්වල අධි ආරක්‍ෂිත කලාප ගලවද්දී කොළඹ අධිආරක්‍ෂිත කලාප කොහොමටත් අවශ්‍ය නැත. ආණ්ඩුවට වැදගත් වන්නේ රටේ ආරක්‍ෂාව නොව රනිල් වික්‍රමසිංහ මහතාගේ මිත්‍රයකුගේ භාර්යාවගේ ආරක්‍ෂාව බව පැහැදිලි ය. පොලීසිය කියන්නේ උද්ඝෝෂණය නිසා සාමය කඩවීමට තිබූ බව ද? ඒ තර්කය අනුව රටේ සියළු උද්ඝෝෂණ නැවැත්වීමට පොලීසිය උසාවි යනු ඇත.

අද යමපාලන ආණ්ඩුවට ඇත්තේ පළිගැනීම හා කෙසේ නමුත් බලයේ රැඳී සිටීම යන අරමුණු පමණ ය. රාජපක්‍ෂලාගෙන් පළිගෙන ඔවුන් අවසානයේ දී ඊනියා යුද්ධාපරාධ චෝදනාවලට වරදකරුවන් කර බටහිරයන්ට භාර දී දෙමළ ජාතිවාදයේ මනදොළ පිනවීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇත. වැඩිකල් නොගොස් සිංහල ජාතිවාදීන්ට මර්දනයේ හස්තය දික්කෙරෙනු ඇත. බටහිරයන්ට අවශ්‍ය මැතිවරණයේ දී ජයග්‍රහණය කිරීම සඳහා මැතිවරණ සමයෙහි දී ඔවුන්ට තර්ජනයක් විය හැකි අය හිර කඳවුරුවල රැඳවීම ය. ඔවුන්ගේ ජයග්‍රහණයකට ජාතිකත්වය එරෙහිව සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එ ජා පක්‍ෂය හා මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ නිවට ශ්‍රී ල නි ප ඇමතිවරු හා ඊනියා විරුද්ධ පක්‍ෂ නායකයා දනිති. එ ජා ප හා විජාතික බලවේග නැවතත් ජාතිකත්වය පසෙකට දමා ව්‍යාජ දුෂණ චෝදනා මත මැතිවරණ ව්‍යාපාරය ගෙන යෑමට අදහස් කරන බව පෙනෙයි. මහින්ද රාජපක්‍ෂ තමා වැරදිකරුවන්ට දඬුවම් නොකළ බව කියා ඇත. එයට අජිත් පෙරේරා මහතා ද විරුද්ධත්වය පා ඇත. ඔහු විරුද්ධ වූයේ බටලන්ද වැරදිකරුවන්ට දඬුවම් නොකිරීම පිලිබඳ ව ද? එසේත් නැත්නම් වෝටර්ස් එජ වැරදිකරුවන්ට දඬුවම් නොකිරීම පිළිබඳ ව ද? අජිත් පෙරේරා මහතා අපට ඒ පිළිබඳ ව කියා දෙන්නේ ද? ඊනියා යහපාලනය යමපාලනයක් වූයේ ජනවාරි 9 වැන දා ම ය.  

එ කුමක් වුවත් මෛත්‍රිපාල සිරිසේන මහතාට  රනිල් වික්‍රමසිංහ මහතා සමග තවදුරත් ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට නොහැකි බව පැහැදිලි ය. අජිත් පෙරේරා මහතා 28 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට තර්ජනය කරන්නේ මේ සුළුතර ආණ්ඩුව ශ්‍රී ල නි පක්‍ෂයේ සහය නොමැතිව කරගෙන යා නොහැකි බැවිනි. ඔහුගේ හා එ ජා පක්‍ෂයේ වෙනත් අයගේ ද උත්සාහය තර්ජනයෙන් ශ්‍රී ල නි පක්‍ෂයේ සහය ලබාගැනීම ය. එහෙත් ඔවුන්ගේ පොරොන්දුව අනුව අප්‍රේල් 23 වැනි දාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු ය. එබැවින් තර්ජනයක් ලෙස19ක් ගැන අමුතුවෙන් කොන්දේසි නොදමා දැනටමත් විසරුවා හැර නැත්නම් අද හෙට ම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු ය. 

ඇතැම් විට මේ ලිපිය පළවන විට මෛත්‍රිපාලසිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන්නට හැකි ය. එසේත් නැත්නම් ජනතාව අමතා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැක්කේ ඇයි දැයි කියා තිබෙනු ඇත. ඒ කුමක් වුවත් ඔහු කියන්නට ඇත්තේ බටහිර තානාපතිවරුන් ඔහුට කිරීමට කී දෙය ය. දැනටමත් විසුරුවා හැර නැත්නම් 28 වැනි දා හෝ 29 වැනි දා හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ ඇත. අජිත් පෙරේරා මහතා ජනාධිපති නොවූවත් 28 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කියන්නේ  බටහිරයන් ඒ බලපෑම මෛත්‍රිපාල සිරිසේන මහතාට  කරන බව එ ජා ප දෙවැනි පෙළේ නායකයන් ද දන්නා බැවිනි. 19 සම්මත වීමට ඉඩක් නැති බව බටහිරයන්ට වැටහි ඇත්නම් මේ වන විටත් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබීමට වැඩි සම්භාවිතාවක් ඇත. 

එහෙත් ඒ කුමකටවත් ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානය බිය විය යුතු නො වේ. රනිල් වික්‍රමසිංහ මහතා ් සහ මෛත්‍රිපාල සිරිසේන මහතා තව තවත් සංධාන නායකයන් හා සිංහල ජාතිකවාදීන් අත් අඩංගුවට ගෙන මැර බලය යොදා මැතිවරණයක් පැවැත්වීමට ඉඩ ඇත. එහෙත් සංධානයට සිංහලයන්ගේ ඡන්දයෙන් 65%ක් ලැබෙනු ඇත. ජනාධිපතිවරණයේ දීත් එය 58%ක් විය. ජනාධපතිවරණයේ දීත් ආසන සංඛ්‍යාව ලෙස ගතහොත් සංධානයට වැඩි ආසන සංඛ්‍යාවක් ලැබිණි. 

අජිත් පෙරේරාගේ මහතාගේ තර්ජනය පුස්සකි. ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානය කළ යුත්තේ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ විරුද්ධත්වය පළකිරීමත් මැතිවරණයකට සූදානම් වීමත් ය. එහි දී මෛත්‍රිපාල සිරිසේන මහතා හා ඇතැම් ශ්‍රී ල නි ප ජ්‍යෙෂ්ඨයන් එ ජා ප සමග එකතුවන්නේ නම් එය වඩාත් හොඳ ය. කෙසේ වෙතත් එකී ජ්‍යෙෂ්ඨයන්ට සංධානයෙන් නාම යෝජනා දිය යුතු නො වේ. අද රට ජාතිකත්වය හා විජාතිකත්වය අතර බෙදී ඇත. සිංහලයන්ට තීරණය කිරීමට ඇත්තේ නිවටයන් ලෙස බටහිරට හා ඉන්දියාවට යටත් වී දෙමළ ජාතිවාදයට කප්පන් දෙමින් ජීවත්වන්නේ ද නැත්නම් නිදහස් ප්‍රෞඪ ජාතියක් ලෙස ජීවත්වන්නේ ද යන්න ය.  

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 26