Main Logo

Thursday 23 April 2015

ස්කන්ධය යනු කුමක් ද? (විදුසර ලිපියක සංස්කරණයකි )

ස්කන්ධය යනු කුමක් ද?

ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පසුගිය අප්‍රේල් 15 වැනි දා ලිපියෙන් මා තමා කිසිවක් නොදන්නා පුද්ගලයකු බව ඔප්පු කිරීමට හා තමාට අපහාස කිරීමට විදුසර සඟරාවේ කොටසක් වෙන්කර ගෙන ඇති බව පවසයි. ඒ බව බෝධි ධනපාල මහතා ද පෙන්වා දී ඇතැයි අමරතුංග මහතා කියයි. එමෙන් ම ධනපාල මහතාට අනුව මා E=mc*2 සමීකරයණවත් හරිහැටි වටහාගෙන නොමැත. ඒ බව ආචාර්ය චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතා ද කියන්නේ යැයි අමරතුංග මහතා තවදුරටත් සඳහන් කරයි. අපි ඒ ගැන පසුව කතාකරමු. එහෙත් ඉතා කෙටියෙන් යමක් කිව යුතුව ඇත. 


අප පාසල් යන අවධියෙහි භෞතික විද්‍යාව ඉගැන්වීම ආරම්භ කෙරුණේ සාමාන්‍ය පෙළ පංතියේ දී ය. එහි දී ස්කන්ධය යන්න අර්ථදැක්වුණේ ද්‍රව්‍ය ප්‍රමාණය ලෙස ය (quantity of matter). මෙය එතරම් තේරුමක් ඇති පාඨයක් නො වේ. අමරතුංග මහතා එයින් කුමක් තේරුම් ගත්තේ දැයි මම නො දනිමි. එහෙත් මට නම් එහි කිසිම තේරුමක් නො වීය. පසුව විශ්වවිද්‍යාලයේ දී සම්භාව්‍ය යාන්ත්‍රිකය (classical mechanics) ඉගෙනීමේ දී  අප ගුරුවරයකු වූ වැලන්ටයින් ජෝසෆ් මහතා (විශ්වවිද්‍යාලයේ දී මා යමක් ඉගෙන ගත්තේ නම් ඒ ජෝසෆ් මහතාගෙන් හා ඩග්ලස් අමරසේකර මහතාගෙන් පමණකි. ඒ දෙදෙනාගෙන් එක් අයකුවත් සිංහල බෞද්ධයකු නො වී ය) අවුරුදු පනහකට පෙර මට දෙවැනි අවුරුද්දේ  දී කියා සිටියේ ස්කන්ධය යනු පරාමිතියක් පමණක් බව ය. එනම් එය නිව්ටන්ගේ සමීකරණවල සඳහන්වන පරාමිතියකි! පසුව ඊනියා ගුරුත්වාකර්ෂණ ස්කන්ධය හා අවස්ථිති ස්කන්ධය (inertial mass - අවස්ථිතිය ගැන කිසිම වැටහීමක් නැති අමරතුංග මහතාට අනුව නම් initial mass) අතර ඇතැයි කියන සමානත්වය ගැන පසුකාලීන ඩිකිගේ පර්යේෂණ ගැන ඉගෙන ගත්තෙමි. මේ ෆෝටෝන ස්කන්ධයක් ගැන නොව ඊනියා නිව්ටෝනීය අංශුවල ස්කන්ධය ගැන ය. පසු කලෙක සසෙක්ස් විශ්වවිද්‍යාලයේ දී මා ඉදිරිපත් කළ නිබන්ධනයේ කොටසක් ලෙස වස්තුවක ඊනියා ස්කන්ධය සකස්වීමේ දී ඈතක සිට ද්‍රව්‍ය ගෙන ඒමත් බන්ධන ශක්තිය (binding energy) හා ස්කන්ධය අතර සම්බන්ධයත් ගැන අධ්‍යයනය කළෙමි.

එහෙත් මේ එකකින්වත් අංශුවක ස්කන්ධය යනු කුමක් ද යන්න දැනගත නො හැකි විය. ෆෝටෝනයක ස්කන්ධය ගැන කියනුම කවරේ ද? මා කර ඇත්තේ ෆෝටෝනයකට ස්කන්ධයක් නියම කිරීම පමණකි. ස්කන්ධයක් නියම කිරීම යනු ස්කන්ධයක් ඇතැයි ගැනීම නොවන බව අමරතුංග මහතාටවත් බෝධි ධනපාල මහතාටවත් වටහාගත නොහැකි බව පැහැදිලි ය. නියම කිරීම යන්නට මා යොදා ගත්තේ ඉංගිරිසියෙන් නම් assign යන වචනය ය. ඔවුන්ට භෞතික විද්‍යාව තබා සාමාන්‍ය සිංහලවත් ඉංගිරිසිවත් තේරුම් ගැනීමට නොහැකි බව මා උදාහරණ සහිත ව පෙන්වා දී ඇත. මා එසේ ස්කන්ධයක් නියම කළේ ද බෘලි අනුගමනය කිරීමෙනි. ෆෝටෝනයක ස්කන්ධයට ද බෘලි සම්බන්ධ වන්නේ එසේ ය. ද බෘලි කළේ ගම්‍යතාව ඇති අංශුවකට තරංග ආයාමයක් නියම කිරීම ය. ඔහු කවදා එය කළත් ඒ අදහස් ෂ්රොඩිංගර් කෙරෙහි බලපෑමක් ඇති කළේ 1927 දී පවත්වන ලද සම්මන්ත්‍රණයක දී යැයි ජිම් බැගට් තම The Meaning of Quantum Theory නම් පොතෙහි සඳහන් කරයි. මට 1927 වැදගත් වන්නේ එබැවිනි. 

බෝධි ධනපාල මහතාට අනුව ස්කන්ධය යන්න සංරචක දහයක් සහිත රාශියකි. එය ආතානකයක් (tensor) යැයි ඒ මහතා සිතා සිටින  බවක් පෙනී යයි. එය ස්කන්ධ ආතානකය ද? එය ධනපාල මහතාග් නිර්මාණයක් විය යුතු ය. කිසිවක් නිරවුල් ව අවබෝධ කරගත් නොහැකි ධනපාල මහතා තම අවුල් අදහස් පාඨකයනට ඉදිරිපත් කරයි. ශක්ති ගම්‍යතා ආතානකයක් (energy momentum tensor) ගැන නම් සාපේක්‍ෂතාවාදයෙහි කියැවෙයි. එහෙත් ස්කන්ධ ආතානකයක් ගැන නො කියැවෙයි. ධනපාල මහතා මෙවැනි කතා කීම පුදුමයට කරුණක් නො වේ. ඔහු අමරතුංග මහතා මෙන් ම අවුල් මනසක් ඇත්තෙකි. මා සිතූ පරිදි ම ධනපාල මහතාට සරල රේඛාවක් සිතෙන් මවාගත හැකි ය. එපමණක් නො වේ. ඔහුට සරල රේඛාවක් සන්නිකර්ෂණ ව ඇඳිය හැකි ය. බොහෝ දෙනා සිතනු ඇත්තේ ධනපාල මහතා නිවැරදි ය කියා ය. ඒ ඔවුන් පාසලේ දී සරල රේඛා ඇඳ ඇතැයි සිතන බැවිනි. එහෙත් කිසිවකු කිසිදා සරල රේඛාවක් ඇඳ නැත. පළලක් හෝ ඝනකමක් හෝ නැති සරල රේඛාවක් ඇඳීමටවත් සිතෙන් මවාගැනීමටවත් හැකි පුද්ගලයකු ලෝකයේ ඇත්නම් ඒ ධනපාල මහතා විය යුතු ය. ධනපාල මහතා හෝ අමරතුංග මහතා හෝ වියුක්ත සංකල්ප නො හඳුනයි. 

ෆෝටෝනයක තබා අංශුවකවත් ස්කන්ධය පිළිබඳ ව බටහිර භෞතික විද්‍යාවෙන් පැහැදිලි යමක් ඉගෙන ගත නො හැකි ය. වෙනත් වචනවලින් කිවහොත් ස්කන්ධය යන්නට හොඳ කතන්දරයක් බටහිර භෞතික විද්‍යාවේ නැත. ධරමවර්ධන මහතා, ධනපාල මහතා නිතර සඳහන් කරන ජනප්‍රිය පොතෙහි ශුද්ධ ෆෝටෝන ගැන සඳහන් කරයි. එය ඒ මහතාගේ අදහසක් නො වේ.  කෙසේ වෙතත් අශුද්ධ ෆෝටෝන යැයි කිවහැකි ෆෝටෝන ස්කන්ධයක් ඇති සේ ක්‍රියාකරයි. යම් අවස්ථිති රාමුවක මේ ස්කන්ධය hν/c* 2 ලෙස නියම කළ හැකි බව පැහැදිලි ය. මේ ගැන තවදුරටත් සාකච්ඡා කළ යුතු ය.   
  
අමරතුංග මහතාගේ නොදැනුම ගැන සඳහන් කිරීම ඒ මහතාට කරන අපහාසයක් වන්නේ කෙසේ ද? හැරත් මා කිසි දිනෙක ඔහු කිසිවක් නොදන්නා අයකු යැයි කියා නැත. අමරතුංග හා ධනපාල මහතුන්ට ඇති ප්‍රශ්නයක් නම් කිසිවකුගේ ලිපියක් හරිහැටි නො කියවා බොහෝ විට තේරුම් නොගෙන ඒ සඳහා තමන්ගේ අර්ථකථන දී ඉන්පසු ඒ තම අර්ථකථන අදාළ ලේඛකයා මත පටවා ලේඛකයා විවේචනය කිරීම ය. 

අපි ඒ සියල්ල සාකච්ඡා කිරීමට පෙර අමරතුංග මහතාගේ 2015 අප්‍රේල් 08 වැනි දා ලිපියෙන් දීර්ඝ ව උපුටා දක්වමු. මා එසේ කරන්නේ මට ලිවීමට දෙයක් නැති නිසා නොව අමරතුංග මහතා මෙන් නොව මා මගේ අර්ථකථන ඔහුගේ ලිපිවලට ආරෝපණය නොකරන බැවිනි. “මහා පිපිරීම (Big Bang Theory) හෝ ජීව පරිණාමය හෝ ස්වාභාවික වරණය හෝ බුදුන් ගේ අග්ගඤ්ඤ සූත්රයට පටහැනි වන්නේ නැත. එම ක්රියාදාමයන් රේ‚ය වෙනුවට චක්රීය ලෙස සිදු වනවා යෑයි සිතා ගැනීම ඉතා ම පහසු ය. අග්ගඤ්ඤ සූත්රයට අනුව ද ජීවීන් හට ගැනෙන්නේ ආද්ය සූපය (primordial soup) වැනි ජලය තුළ ය. එම ජලය තුළ පවා සුවඳ, රස, ගිතෙල්වල පාට, රසය, බටර්වල පාට රසය, පැණිවල රසය තිබුණු බව විස්තර කොට ඇත. මෙලෙස එම ජලය විස්තර කොට ඇත්තේ එහි ජීවීන් බිහි වීමට අවශ්ය දේ තිබෙන බව පහදා දීම සඳහා ය. ලෝකය විනාශ වන විට ආභස්සර ලෝකයට සංක්රමණය වූ ජීවීන් එහි දී පැවතුණේ මනස මුල් කරගත් අවස්ථාවක් හැටියට ය. ආහාරය වෙනුවට ඔවුහු සතුට භුක්ති වින්දො ය. දිළිසෙන ක්රියාදාමයන් ලෙස ඔවුහු හැසුරුණෝ ය. ලෝකය නැවතත් පරිණාමය වී ජීවීන් ගේ ආපසු පැමිණීමට සුදුසු තත්ත්වයකට පත් වන විට පෙර සඳහන් කළ ජලය එහි තුළ වූ ගුණාංග සහිතව නිර්මාණය විය. ආභස්සර ලෝකයේ සිටි ජීවීන් ආපසු ලෝකයට පැමිණි විට ඔවුන් ජීවත් වූයේ එම ජලයේ ය. එම ජලයේ රසය වින්ද ජීවීන් තුළ තෘෂ්ණාව ඇති වූ බව බුදුන් දේශනා කර ඇත.”

මහා පිපිරුම් ප්‍රවාදයේ ක්‍රියාදාමයන්  චක්‍රිය ලෙස සිදුවන බව සිතාගැනීම ඉතා පහසු යැයි අමරතුංග මහතා කියයි. සිතාගැනීම පහසු විය හැකි ය. එහෙත් එය එසේ යැයි පෙන්වන්නේ කෙසේ ද? අමරතුංග මහතාට ඒ පිළිබඳ ප්‍රවාදයක් වේ ද? අග්ගඤඤ සූත්‍රයට අනුව ද ජීවීන් හට ගැනෙන්නේ ආදී සූපයෙහි යැයි කීම මුසාවාදා වේරමණී ශික්‍ෂා පදයට හසුවන මුසාවකි. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ජීවීන් අමුතුවෙන් හට ගැනීමක් නැත. ඉහත කී ඡෙදය මුළුමනින් ම බොරුවකි. ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පෘථිවියට එන්නේ කොහොමටත් හටගෙන ඇති සතුන් ය. බටහිර විද්‍යාවෙහි ආදි සූපය විකාශය වී සත්ත්වයන් හටගන්නා නමුත් අග්ගඤ්ඤ ස්‍රත්‍රයෙහි බ්‍රහ්මයෝ පෘථිවියට එති. අග්ගඤ්ඤ සූත්‍රයෙහි ජලයෙහි ඇති රසයක් ගැන නො කියැවෙයි. එහි ජීවීහු හට නො ගනිති. අග්ගඤ්ඤ සූත්‍රයෙහි ජලය මත යොදය වැනි ද්‍රව්‍යයක් ඇති වෙයි. ආභස්සර ලෝකයෙන් එන බ්‍රහ්මයෝ ඒ ආහාර කර ගනිති. අමරතුංග මහතා ඉතා පැහැදිලි ව බටහිර විද්‍යාවේ සේවකයකු ලෙස අග්ගඤ්ඤ සූත්‍රය විකෘති කරයි.   

අමරතුංග මහතා වෑයම් කරන්නේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් සහ මහා පිපිරුම ප්‍රවාදයෙන් කියැවෙන්න අතර පරස්පරයක් නැතැයි කීමට ය. මෙරට හෝ පිටරට හෝ ජීවත්වන බොහෝ සිංහල බෞද්ධ උගතුන්ට ඇති හීනමානය කෙතෙක් දැයි කිවහොත් ඔවුහු බුදුන්වහන්සේ කසිකබල් බටහිර විද්‍යාඥයකුගේ තත්ත්වයට පහත හෙළීමට උත්සාහ කරති. බුදුදහම විද්‍යාත්මක යැයි කියති. සූත්‍ර දේශනා බටහිර විද්‍යාවේ ප්‍රවාද, නිගමන ආදිය සමග සංසන්දනය කර එහි ඊනියා සාම්‍යයක් නිර්මාණය කරති. කාළාම සූත්‍රයෙහි විද්‍යාත්මක ක්‍රමය ඇතැයි කියති. අබෞද්ධ කාලෝ ෆොන්සේකා මහතා ද එසේ කියයි. එහෙත් කාළාම සූත්‍රයෙහි ඇති ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් නැත. 

මා දැන් අවුරුදු ගණනක් තිසසේ අසන ප්‍රශ්නයක් වෙයි. බුදුදහමෙහි මුල් ස්වරූපය ථෙරවාදයෙහි ඇත්නම් හා සිංහල බෞද්ධයන් අවුරුදු දෙදහස් තුන්සියයකට අධික කාලයක් තිස්සේ ථෙරවාදී බෞද්ධයන් ව සිටියේ නම් බුදුන්වහනසේ ද විද්‍යාඥයකු නම් සිංහල බෞද්ධයනට අඩුම තරමෙන් පසුගිය අවුරුදු දෙසියයක පමණ කාලයක හරිහමන් විද්‍යාඥයකු බිහිකර ගැනීමට නොහැකි වූයේ ඇයි? සිංහල බෞද්ධයකුට නොබෙල් තෑග්ග හිමි නොවූයේ ඇයි? අඩුම තරමෙන් ලංඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක් ලබා ගැනීමට සිංහල බෞද්ධයකුට නො හැකි වූයේ ඇයි? බුදුදහමෙහි ඇතැයි කියන විද්‍යාත්මක චින්තනය සිංහල බෞද්ධ සංස්කෘතියෙහි නැත් ද? 

මෙයට හේතුව ලංකාවේ අඩු පහසුකම් යැයි කියා අපට හිත හදාගැනීමට නො හැකි ය. ඇමරිකාව, කැනඩාව, එංගලන්තය ආදී රටවල වාසය කරන සිංහල බෞද්ධයන් අතරෙන් හරිහමන් විද්‍යාඥයකු බිහි වී නැත. එවිට ඇතැමුන් කියන්නේ අහවලා අහවල් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ය, අහවලා අහවල් පර්යේෂණ ආයතනයේ සේවය කරන කීර්තිමත් විද්‍යාඥයකු ය ආදී කතන්දර ය. එවැන්නන් දක්‍ෂයන් බව පැහැදිලි ය. එහෙත් ඔවුන් බටහිර විද්‍යාවට කර ඇති නිර්මාණශීලී දායකත්වය කුමක් ද? ඔවුන්ට රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක් හිමි නොවන්නේ දේශපාලනය නිසා ද? 

මා මෙසේ ප්‍රශ්න කරන විට ඇතැම්හු මගේ යටත්විජිතවාදී මනස ගැන කියවති. ඔවුන්ට අනුව මට නොබෙල් තෑග්ග හා රාජකීය සංගමය වැදගත් ය. මට ඒ කිසිවක් තුට්ටු දෙකක් නො වටියි. මා ඒ ගැන සඳහන් කරන්නේ සිංහල බෞද්ධ උගතුන් ඒ ඉතා වැදගත් යැයි සිතන බැවිනි. සිංහල බෞද්ධ විද්‍යාඥයකු යැයි කියාගන්නා අයකුට ස්කන්ධය යනු කුමක් දැයි තේරුම් ගැනීම සඳහා ප්‍රවාදයක් ගොඩ නැගිය හැකි ද? එනම් ඒ සඳහා හොඳ කතන්දරයක් ගෙතිය හැකි ද? 

බටහිර රටවල ජීවත්වන පළමුවැනි පරම්පරාවේ සිංහල බෞද්ධයට එවැනි කතන්දරයක් ගෙතිය නොහැකි බව මම දනිමි. එහෙත් ඔවුන්ගේ දරුවන් ඒ සංස්කෘතියට හුරුවීමෙන් පසු අනුගත වීමෙන් පසු සමහරවිට එවැනි කතන්දරයක් ගෙතීමේ හැකියාව ලබාගනු ඇත. එහෙත් ඒ දරුවෝ සිංහල බෞද්ධ සංස්කෘතියක නො වෙති. ඔවුහු සිංහල බෞද්ධ සම්භවයක් ඇත්තෝ පමණක් වෙති. 

මා මේ ප්‍රශ්න අසන්නේ සිංහල බෞද්ධත්වයට එරෙහිව නොවන බව ද පැහැදිලි ව කිව යුතු ය. මා කියා සිටින්නේ අප කුහකයන් නොවිය යුතු බව ය.

නලින් ද සිල්වා 

2015 අප්‍රේල් 22