Main Logo

Tuesday 21 April 2015

සිංහලයන්ට සුද්දන්ගේ ඒරාෂ්ටකය ලබයි (ඉරිදා දිවයින ලිපියකි)

සිංහලයන්ට සුද්දන්ගේ ඒරාෂ්ටකය ලබයි

මේ  ලැබූ අවුරුද්ද බතින් බුලතින් කෙසේ වෙතත් බුලටින් (වෙඩි උණ්ඩ මෙන් ම නිවේදන ද යන ද්විත්ව අරුතින්) සපිරි අවුරුද්දක් වීමට ඉඩ ඇත. මෙය ජ්‍යොතිෂය අනුව කරන අනාවැකියක් නොව දේශපාලන ලෝකයෙහි සිදුවීමට ද එහෙත් වළක්වා ගැනීමට ද හැකියාව (සම්භාවිතාවක්) ඇති කරුණකි. සුද්දන්ගේ ඒරාෂ්ටකයක් සිංහලයන්ට ලබා ඇත. සිංහලයන්ගේ ලග්නාධිපති නීච ය. අඟහරු ද නීච ය. රාජ්‍ය ආරක්‍ෂාවක් නැත. පික්පොකට් රාහු ස්වක්‍ෂෙත්‍ර වී ඇත. සුද්දන්ගේ දැනුමෙන් පීඩා විඳින අපට (ගුරු මෙන් ම බුධ ද වසර දෙසියයක් පමණ නීච වී ඇත) මේ ඒරාෂ්ටකය තරමක ප්‍රශ්නයක් වනු ඇත. 


ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අලුත් අවුරුද්දට සුබ පැතුම් නිකුත් කර ඉංගිරිසි පැය විසිහතරක් ගතවීමට පෙර එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමරන් හා විපක්‍ෂ නායක එඩ් මිලිබෑන්ඩ් ද  සුබ පැතුම් එකතු කර ඇත. ඇංග්ලො සැක්සන්වරුන් අපේ අවුරුද්ද ගැන මෙතරම් උන්දුවක් දැක්වීමෙන් පෙන්නුම් කරන්නේ කල්පනාවෙන් වැඩ නොකළහෙත් සිංහලයන්ට  භයානක අවුරුද්දක් උදා වන බව ය. අපේ රටට හා ජාතියට ලබා ඇති සුද්දන්ගේ ඒරාෂ්ටකය සෙනසුරු ඒරාෂ්ටකයට ද වඩා භයානක වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වීම නිසා ය, රනිල් අගමැතිකම පික්පොකට් ගසා ඇති නිසා ය. ලග්නාධිපති නීච ය. රාහු බලවත් ය. 

ජාතික රූපවාහිනිය කෙරී ගේ පණිවුඩය සම්පුර්ණයෙන් නොකියවා මෛත්‍රිපාල සිරිසේන මහතාට ගෞරවයක් දෙන්නේ යැයි සිතන කොටසට පමණක් ප්‍රචාරය දුන්නේ ය. එහෙත් කෙරී බංග්ලාදේශය මියන්මාරය, තායිලන්තය, කම්පූචියාව ආදී මේ වකවානුවේ සූර්ය සංක්‍රමණය සම්බන්ධ උත්සව පවත්වන රටවලට ද සුබ පැතුම් යවා ඇත. මේ රටවල සූර්ය සංක්‍රාන්ති උත්සවය බොහෝ විට ථෙරවාද බෞද්ධ සංස්කෘතිය සමග බැඳී ඇත. අපට ථෙරවාද බෞද්ධ සභ්‍යත්වයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය වී නැති වුව ද යම් ආකාරයක සංස්කෘතික සමානකම් මේ රටවල ථෙරවාද බෞද්ධයන් අතර වෙයි. කෙරී තැත් කරන්නේ ථෙරවාදී රටවල් යම් ආකාරයකින් මහායාන වූ චීනයට එරෙහිව සංවිධානය කිරීමට ද? ඒ එසේ නම් අප ඒ ගැන ද සැළකිල්ල යොමු කළ යුතු ය. 

එහෙත් කෙරී එයින් නැවතී නැත. ඔහු ලංකාවේ ඊනියා ඩයස්පෝරාවට ද අවුරුද්ද නිමිත්තෙන් සුබ පතා ඇත. ලංකාවේ ඩයස්පෝරාව යනුවෙන් ඔහු සඳහන් කරන්නේ බටහිර රටවල සිටින විසිරුණු දෙමළ ජනයා බව පැහැදිලි ය. දෙමළ අවුරුද්දක් යනුවෙන් අවුරුද්දක් ථෙරවාදී සංස්කෘතියක් හා සම්බන්ධ රටවල තබා වත්මන් තමිල්නාඩුවේවත් නො පැවැත්වෙයි. ඇතැම් පඬියන් බොරු කතා ඇද බෑව ද මෙරට දෙමළ ජනයා යම් පිරිසක් මේ දිනවල අවුරුදු උත්සවයක් පවත්වන්නේ නම් ඒ සිංහල ථෙරවාද බෞද්ධ සංස්කෘතියේ ආභාසයෙනි. 

ථෙරවාදී සංස්කෘතියකට සූර්ය සංක්‍රාන්තිය එකතු වූයේ කෙසේ ද? හිරු දෙවියන් පිදීම අවුරුද්දේ ප්‍රධාන කාර්ය ය. අද එය ඒ ආකාරයෙන් ම සිදු නොවූවත්, එය බෞද්ධ වත් පිළෙවත්වලින් පෝෂණය වී තිබුණත් යක්‍ෂ ගෝත්‍රික (පඬියෙන්ගේ ට්‍රයිබ් යන අරුතෙන් නොවන බව නැවත නැවතත් අවධාරණය කළ යුතු ය), එහි යක්‍ෂ සංස්කෘතික ලක්‍ෂණ දැකිය හැකි ය. මේ උත්සවය හෙළයන්ගේ තවත් නැකැත් උත්සවයකි. හෙළයන්ට නැකැත් උත්සව ගණනාවක් ම තිබී ඇති බව දේවානම්පිය තිස්ස කතාවෙන් ද පැහැදිලි වෙයි. අවුරුද්ද හිරු දෙවියන් රේවති නැකතින් අස්විද නැකතට යෑම හෝ කලකට පෙර වෙනත් නැකතකින් තවත් නැකතකට යෑම  හෝ සම්බන්ධ කර ඇති  වූ උත්සවයක් යැයි සිතමි. 

පසුව භාරතයෙන් රාශි ක්‍රමය (භාරතයට රාශි ක්‍රමය ලැබී ඇත්තේ බටහිර ආසියාවෙනි) ලැබීමෙන් පසු හිරු දෙවියන් රේවති නැකතින් අස්විද නැකතට යන්න වෙනුවට  මීන රාශියෙන් මේෂ රාශියට යෑම ආදේශ වී යැයි සිතිය හැකි ය. ඒ කෙසේ වෙතත් රාශි දොළහ පදනම් කරගත් ජ්‍යෙතිෂයක් වෙනුවට නැකැත් පදනම් කරගත් ජ්‍යොතිෂයක් නිර්මාණය කරගත හැකි දැයි සොයා බැලිය යුතු ය. ඒ පිළිබඳ දන්නා අයකු වේ නම් අදාළ තොරතුරු බෙදාහදා ගැනීමට කැමැත්තෙමි. 

කෙසේ වෙතත් අවුරුද්ද වෙනුවෙන් කෙරී විසුරුණු දෙමළ ජනයාට ද සුබ පතන්නේ අහම්බෙන් විය නො හැකි ය. දෙමළ ජනයාගේ ඡන්ද ඇමරිකාවේ මැතිවරණවලට බල නොපායි. එසේ නම් කෙරීගේ අවුරුදු පණිවුඩය තනිකරම විදේශ ඇමති ප්‍රකාශනයකි. ඔහුට අවශ්‍ය වන්නේ සිංහලයන්ට හා ලංකාවට විරුද්ධව දෙමළ ජනයා යොදා ගැනීම ය. කෙරී එක ගලෙන් කුරුල්ලන් කිහිප දෙනකු ම මරා ගැනීමට තැත් කරයි. 

කැමරන් තම සුබ පැතුමෙන් එංගලන්තයේ සිටින සිංහල හා දෙමළ ජනයා එරට ප්‍රගතිය වෙනුවෙන් කරන දායකත්වය අගයයි. එය හුදෙක් දේශපාලනඥයකු කරන ඇගයීමක් පමණකි. ඔහු සිංහලයන්ගේ අවුරුද්ද ගැන මෙන් ම දෙමළ පුතන්ඩු උත්සවයක් ගැන කියයි. මම ලංකාවේ දෙමළ ජනයා මේ වචනය යොදා ගන්නා බවක් නොදැන සිටියෙමි. මෙරට ඉංගිරිසි පුවත්පතකවත් එවැනි පුතන්ඩුවක් ගැන නො කියැවෙයි. එහෙත් ස්කොට් සමභවයක් ඇති කැමරන් පුතන්ඩුවක් ගැන කියයි. සුද්දන් කෙතරම් කාර්යක්‍ෂම ව දෙමළ සංස්කෘතිය ගැන සොයා බලන්නේ ද? 

එහෙත් ඔවුන්ට තමිල්නාඩුවේ පුතන්ඩුවක් ගැන සුබ පැතීමට අමතක වී ඇත. ඉතා පැහැදිලිව තමිල්නාඩුවේ හෝ ඉන්දියාවේ වෙනත් ප්‍රාන්තයක (ලංකාව තවමත් ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවන බැවින්) හෝ පුතන්ඩුවක් නැත. අවුරුද්ද ඇත්තේ සංක්‍රාන්තියක් ලෙස ථෙරවාදී සංස්කෘතියට සම්බන්ධ රටවල ය. කෙරීට සුබ පැතුම් යැවීමට සිදු වී ඇත්තේ ථෙරවාදයට සම්බන්ධකම් ඇති රටවලට මිස ඉන්දියාවට නො වේ. මෙරට නිවට පඬියන් සිංහල දෙමළ අවුරුද්දක් ගැන කතාකරන්නේ කිසිම ඓතිහාසික පදනමකින් තොරව ය.

කැමරන් තම පණිවුඩයෙන් මෛත්‍රිපාල සිරිසේන පසුගිය දින අනූවක පමණ කර ඇති සේවය අගය කරන අතර කියන්නේ තවත් දුර යා යුතු බව ය. සුබ පැතුම් පණිවුඩයට අනුව කැමරන් එංගලන්තයේ දී මෛත්‍රිපාලට කියා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් කෙරෙන විමර්ෂනවලට තව තවත් සහාය දිය යුතු බව ය. පසුගිය දේ සොයා බැලීමට එංගලන්ත ආණ්ඩුවේ සහාය ලබාදෙන බව ද ඔහු කියා ඇත. 

එංගලන්තයේ මීළඟ අගමැති වේ යැයි බොහෝ දෙනා සිතන එඩ් මිලිබැන්ඩ් තම සුබ පැතුම් පණිවුඩය නිකුත් කරන්නේ දෙමළ ජනයාට පමණ ය. ඔහු තම පණිවුඩයේ සිංහලයන් ගැන වචනයක්වත් සඳහන් නො කරයි. කම්කරු පක්‍ෂය දෙමළ ජනයාගේ මිත්‍රයකු වන්නේ යැයි කියන ඔහු ඊනියා යුද්ධාපරාධ ගැන ස්වාධීන ජාත්‍යන්තර කොමිසමක් පත්කළ යුතු යැයි කියා සිටියි. මිලිබෑන්ඩ් දෙමළ ජනයාට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනය කරයි. කම්කරු පක්‍ෂය බලයට පත්වුවහොත් එය කොන්සර්වෙටිව් පක්‍ෂයට ද එහා ගොස් දෙමළ ජාතිවාදීින් වෙනුවෙන් කටයුතු කරනු ඇත.

මිලිබෑන්ඩ් දෙමළ ජනයාට සුබ පතන්නේ ඔවුන්ගේ ඡන්දය අපේක්‍ෂාවෙන් යැයි කියා තමන් රවටා ගැනීමට ඇතැම් සිංහලයෝ කමති වෙති. එහෙත් මෙහි ඇත්තේ ඡන්ද කතාවක් නො වේ. කෙරීට ඇමරිකාවේ කොහොමටවත් ඡන්ද කතාවක් නැත. හිලරි ක්ලින්ටන් දෙමළ ඡන්දවලින් ඇමරිකාවේ ජනාධිපති වීමට අපේක්‍ෂා කරනවා නො වේ. එහෙත් සාමාන්‍යයෙන් ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්‍ෂයත් එංගලන්තයේ කම්කරු පක්‍ෂයත් ඊනියා සමාජවාදීන් ලෙස දෙමළ ජනයාට වඩා හිතවත් ය. පොදුවේ ගතහොත් ඇංග්ලො සැක්සන් සංස්කෘතිය සිංහල සංස්කෘතියට එරෙහිව දෙමළ ජාතිවාදී දේශපාලනය බිහිකර යොදා ගෙන ඇත. අද එය උච්චස්ථානයකට පැමිණ ඇත.   සිංහලයන්ට සුද්දන්ගේ ඒරාෂ්ටකයක් ලබා ඇත.  

සුදු ඒරාෂ්ටකය ලබද්දී මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ව සිටීම හා රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන නොවූවත් අගමැතිව සිටීම සිංහලයන්ට භයානක තත්ත්වයක් උදා කරයි. මෛත්‍රිපාල සිරිසේන මහතා කියා තිබුණේ තමා පසුගිය දෙමසක පමණ කාලයේ  ප්‍රශ්නයේ භාරදුරබව අවබෝධ කරගෙන ඇති බව ය. වෙනත් වචනවලින් කිවහොත් එංගලන්තය ඇමරිකාව (හා ඉන්දියාව) දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා බියගන්වා දොළ පිදේනි ලබාගැනීමට සැරසෙයි. මේ අවුරුද්ද සිංහලයන්ට අතිශය අසුබ අවුරුද්දකි. ඒ මෛත්‍රිපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ නහතා නීති විරෝධි ලෙස අප පාලනය කරන්නේ නම් ය. එහෙත් මේ ඒරාශ්ටකයෙන් අපට මිදිය හැකි ය. ඒ මහින්ද රාජපක්‍ෂ මහතා නැවතත් දේශපාලනයට ගෙන ඒමෙන් හා ඔහුට බලය ලබා දීමෙනි. එහි දී ශ්‍රී ල නි පක්‍ෂය වෙනුවට අවස්ථාවාදීන්ගේ දේශපාලන පක්‍ෂයකට බලය නොදීමට ද අප වග බලාගත යුතු ය. 

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 19