මහින්දගේ පරාජය
මහින්ද රාජපක්‍ෂ පරාජය වූයේ පසුගිය ජනවාරි 8 වැනි දා නො වේ. රටේ ජනාධිපතිකම නැතිවීම පරාජයක් නො වේ. ගැමුණු රජුට කාවන්තිස්ස රජුගේ මරණයෙන් පසු රජකම හිමි නො විය. එහෙත් ගැමුණු කුමරුට නිවැරදි තීරණ ගැනීමෙන් සද්ධාතිස්ස යැයි නම් කෙරුණු තිස්ස පමණක් නොව ධර්මිෂ්ට එළාර යැයි හැඳින්වුණු එළාර ද පරාජය කිරීමට හැකි විය. වළගම්බා, ධාතුසේන, විජයබාහු ආදී රජවරුන්ට විවිධ අවස්ථාවල රජකම අහිමි වූ නමුත් ජනතාවගේ ද භික්‍ෂූන් වහන්සේගේ ද සහායෙන් නැවත රජකමට පත්වීමට හැකි විය. එයින් කියැවෙන්නේ ජනතාව හා භික්‍ෂූන් වහන්සේ සියලු දෙන ම ඒ ඒ රජවරුන්ට ආධාර කළ බව නො වේ. ගැමුණු රජු ඇතුලු ඒ ඒ රජවරුන්ට විරුද්ධ වූවෝ එකල ද සිටියහ.
අටවැනි දා පරාජය ජයග්‍රහණයකින් කෙළවර කර ගැනීමට මහින්ද රාජපක්‍ෂට හැකියාවක් තිබිණි. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම අත්හැරීමෙන් ඔහු පරාජයේ මාවත තෝරා ගත්තේ ය. අපි එය වැරදි බව කීවෙමු. මහින්ද රාජපක්‍ෂ කිසි දිනෙක අපට සවන් දුන්නේ නැත. එහෙත් ඔහු ජනතාවට සවන් දුන්නේ ය. අප කෙළේ ජනතාවගේ මතය ප්‍රකාශ කිරීම පමණකි. මහින්ද ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම අත්හැරියේ ජනතාව ඒ ගැන කියන්නේ කුමක් ද යන්නවත් නො දැන ය. එය හුදෙක් තමාගේ හා තම පවුලේ ආරක්‍ෂාව වෙනුවෙන් ගන්නා ලද පියවරක් පමණකි.
එය එසේ වුවත් ජනතාව මහින්ද වටා රොක්වූහ. ඔවුහු රනිල්ට විරුද්ධ වූ අතර මෛත්‍රිපාලට අකමැති වූහ. මහින්ද කිසියම් මොහොතක පක්‍ෂ (විකල්ප ශ්‍රී ල නි පක්‍ෂයක) නායකත්වය ගනීවිය යන විශ්වාසය ජනතාවට විය. මහින්ද වටා පළාත් සභා හා ප්‍රදේශීය සභා මන්ත්‍රිවරු රොක්වූහ. ඒ සියල්ලන්ගේ ම අපේක්‍ෂාව වූයේ මහින්ද අඩුම තරමෙන් අගමැති ලෙස පත්වේ ය යන්න ය. එහෙත් මහින්ද තීරණයක් ගැනීම දිනෙන් දින පස්සට දැමී ය. ඔහු සෘජු දේශපාලනයට එළඹෙන බවට පැහැදිලි සංඥාවක් නො කෙළේ ය.
එයින් රනිල් ශක්තිමත් විය. බටහිරයෝ ඔහුට උපදෙස් හා අනුග්‍රහය දුන්නෝ ය. (බටහිරයන් තමා නොව රනිල් විශ්වාස කරන බව මෛත්‍රිපාලට දැන් අමතක වුව ද දින කිහිපයකට පෙර සංධාන නායකයන්ට කීවේ ය). ශක්තිමත් වූ රනිල් ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල ද ජයම්පති වික්‍රමරත්න වැනි සමසමාජ නීතිඥයන්ගේ ද ආධාරයෙන් දහනවවැනි සංශෝධනය ඉදිරිපත් කෙළේ ය. එය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා වූ සංශෝධනයක් නොව මූලික වශයෙන් ජනාධිපතිගේ විධායක බලතල යම් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට නොව අගමැතිට ලබාදීමටත්, දහහත්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථාදායක සභාව නැවත ඇතිකර ඊනියා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමටත්, මහින්ද රාජපක්‍ෂ නැවත ජනාධිපති ධුරයට තරග කිරීම වැළැක්වීමටත්, සිංහලයාට මෙරට හිමි සුවිශේෂත්වය නැතිකිරීමටත්, එමගින් රට ආපසු 1833ට ගෙන යෑමටත්, සන්ධීය හෙවත් ෆෙඩරල් රාජ්‍යයක් බිහිකර ඊළමකට පාර කැපීම සඳහාත්, රනිල් බටහිරයන්ගේ හා ඉන්දියයන්ගේ අවශ්‍යතාවට මෛත්‍රිපාල මගින් පික්පොකට් ගැසූ අගමැතිකම නීත්‍යානුකූල කරගැනීමටත් ගෙනෙන ලද සංශෝධනයකි.
මෛත්‍රිපාලට එයට විරුද්ධ විය නොහැකි ය. බලලෝභී ඔහු තමාට අගමැතිකම නොලැබුණු බැවින් ඊනියා පොදු අපේක්‍ෂකයා බවට පත්වීමේ දී ම යම් ගනුදෙනුවක් (අද භාෂාවෙන් ඩීලයක්) කර ඇති බව පැහැදිලි ය. එය හෙළිවනු ඇත්තේ ඔහුගේ ක්‍රියා මාර්ග හරහා ය. එහෙත් මහින්දට එයට විරුද්ධ විය හැකිව තිබිණි. ඔහු කළ යුතුව තිබුණේ සෘජු දේශපාලනයට පිවිස දහනවයට විරුද්ධ අරගලයට නායකත්වය සැපයීම ය. ඔහු එය නො කෙළේ ය. එමගින් ඔහු තම පරාජය ශක්තිමත් කර ගත්තේ ය.
අවසානයේ දී සංධානයේ නායකයෝ ද ශ්‍රී ල නි පක්‍ෂයේ නදවට නායකයන් අනුගමනය කරමින් ඊනියා සංශෝධන කිහිපයකට මුවා වී දහනවයට පක්‍ෂ වූහ. සුපුරුදු පරිදි විමල් වීරවංශ තම ව්‍යාජ වීරත්වය ප්‍රදර්ශනය කරමින් සංශෝධනවලට පක්‍ෂ නිසා දහනවයට පක්‍ෂ යැයි කීවේ ය. එය සුපුරුදු ගැලරි කතාවක් විය. සංධානයේ විශාල පිරිසක් දහනවයට පක්‍ෂ වූයේ විමල් මෙන් ම සංශෝධනවලට මුවා වී ය. එහෙත් ඔවුහු එය පුහු වීරත්වයකට හරවා ගැනීමට උත්සාහ නො කළහ.
සරත් වීරසේකර මහතා පමණක් සංශෝධනයට විරුද්ධ විය. ඔහුට අපේ ප්‍රණාමය හිමි වෙයි. ලබන මැතිවරණෙයේ දී ඔහුට නාම යෝජනා හිමි නොවනු ඇත. එහෙත් ඔහු වෙනුවෙන් මැතිවරණ සටනට සහභාගි වීම ජාතිකවාදීන්ගේ යුතුකම වෙයි. එමෙන් ම සංශෝධනයට විරුද්ධ වී යම් බලපෑම් හේතුවෙන් කරන්නට වෙන කිසිවක් නොමැතිව සංශෝධනයට ඡන්දය විමසන අවස්ථාවේ දී සභාගැබේ නොසිටි ජානක බණ්ඩාරට ද අපේ ගෞරවය හිමිවෙයි
මහින්දට දැන් පරාජයේ මාවත හැරෙන්නට වෙනත් මාවතක් වේ නම් ඒ රනිල්ගේ අදුරදර්ශී ක්‍රිිියා නිසා ඇතිවන්නක් විය යුතු ය. එසේ රනිල් අදූදර්ශී ක්‍රියා මාර්ග නොගන්නට ඔහු (රනිල්) තව තවත් බලය තහවුරු කරගනු ඇත. අද නැවත වරක් සිංහල ජනමතයට සවන් දෙන ජාතික නායකයකු සොයා ගැනීමට (නිර්මාණය කිරීමට) සිදු වී ඇත. එහෙත් එය එක් රැයකින් සිිදු කළ හැක්කක් නො වේ. අපට එසේ කිරීමට සිදු වී ඇත්තේ ව්‍යජත්වය ඔඩු දුව ගොස් ඇති සමාජයක ය. මැයි දෙවැනි දා ලංකාවට පැමිණෙන ඇමරිකන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරී තොරණක් විවෘත කරන බවට ද කතාවක් පැතිර යයි. එහෙත් අපි අනේ කාලේ වනේ වාසේ යැයි නො කියමු.
නලින් ද සිල්වා
2015 අප්‍රේල් 29