Main Logo

Tuesday 14 April 2015

සිංහලයන්ට භයානක අවුරුද්දක්

සිංහලයන්ට භයානක අවුරුද්දක්

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අලුත් අවුරුද්දට සුබ පැතුම් නිකුත් කර ඉංගිරිසි පැය විසිහතරක් ගතවීමට පෙර එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමරන් හා විපක්‍ෂ නායක එඩ් මිලිබෑන්ඩ් ද  සුබ පැතුම් එකතු කර ඇත. ඇංග්ලො සැක්සන්වරුන් අපේ අවුරුද්ද ගැන මෙතරම් උන්දුවක් දැක්වීමෙන් පෙන්නුම් කරන්නේ කල්පනාවෙන් වැඩ නොකළහෙත් සිංහලයන්ට  භයානක අවුරුද්දක් උදා වන බව ය. අපේ රටට හා ජාතියට සුද්දාගේ ඒරාෂ්ටකය ලබා ඇත. එය සෙනසුරු ඒරාෂ්ටකයට ද වඩා භයානක වන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වීම නිසා ය. රනිල් අගමැතිකම පික්පොකට් ගසා ඇති නිසා ය.


ජාතික රූපවාහිනිය කෙරී ගේ පණිවුඩය සම්පුර්ණයෙන් නොකියවා මෛත්‍රිපාල සිරිසේනට ගෞරවයක් දෙන්නේ යැයි සිතන කොටසට පමණක් ප්‍රචාරය දුන්නේ ය. එහෙත් පසුව මා දැනගත් පරිදි කෙරී බංග්ලාදේශය මියන්මාරය, තායිලන්තය, කම්පූචියාව ආදී මේ වකවානුවේ සූර්ය සංක්‍රමණය සම්බන්ධ උත්සව පවත්වන රටවලට ද සුබ පැතුම් යවා ඇත. මේ රටවල සූර්ය සංක්‍රාන්ති උත්සවය බොහෝ විට ථෙරවාද බෞද්ධ සංස්කෘතිය සමග බැඳී ඇත. අපට ථෙරවාද බෞද්ධ සභ්‍යත්වයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය වී නැති වුව ද යම් ආකාරයක සංස්කෘතික සමානකම් මේ රටවල ථෙරවාද බෞද්ධයන් අතර වෙයි. කෙරී තැත් කරන්නේ ථෙරවාදය චීනට එරෙහිව සංවිධානය කිරීමට ද? ඒ එසේ නම් අප ඒ ගැන ද සැළකිල්ල යොමු කළ යුතු ය. 

එහෙත් කෙරී එයින් නැවතී නැත. ඔහු ලංකාවේ ඊනියා ඩයස්පෝරාවට ද අවුරුද්ද නිමිත්තෙන් සුබ පතයි. ලංකාවේ ඩයස්පෝරාව යනුවෙන් ඔහු සඳහන් කරන්නේ බටහිර රටවල සිටින විසිරුණු දෙමළ ජනයා බව පැහැදිලි ය. දෙමළ අවුරුද්දක් යනුවෙන් අවුරුද්දක් ථෙරවාදී සංස්කෘතියක් හා සම්බන්ධ රටවල තබා වත්මන් තමිල්නාඩුවේවත් නො පැවැත්වෙයි. ඇතැම් පඬියන් බොරු කතා ඇද බෑව ද මෙරට දෙමළ ජනයා යම් පිරිසක් මේ දිනවල අවුරුදු උත්සවයක් පවත්වන්නේ නම් ඒ සිංහල ථෙරවාද බෞද්ධ සංස්කෘතියේ ආභාසයෙනි. 

කෙසේ වෙතත් අවුරුද්ද වෙනුවෙන් කෙරී විසුරුණු දෙමළ ජනයාට ද සුබ පතන්නේ අහම්බෙන් විය නො හැකි ය. දෙමළ ජනයාගේ ඡන්ද ඇමරිකාවේ මැතිවරණවලට ද බල නොපායි. එසේ නම් කෙරීගේ අවුරුදු පණිවුඩය තනිකරම විදේශ ඇමති ප්‍රකාශනයකි. ඔහුට අවශ්‍ය වන්නේ සිංහලයන්ට හා ලංකාවට විරුද්ධව දෙමළ ජනයා යොදා ගැනීම ය. කෙරී එක ගලෙන් කුරුල්ලන් කිහිප දෙනකු ම මරා ගැනීමට තැත් කරයි. 

කැමරන් තම සුබ පැතුමෙන් එංගලන්තයේ සිටින සිංහල හා දෙමළ ජනයා එරට ප්‍රගතිය වෙනුවෙන් කරන දායකත්වය අගයයි. එය හුදෙක් දේශපාලනඥයකු කරන ඇගයීමක් පමණකි. ඔහු සිංහලයන්ගේ අවුරුද්ද ගැන මෙන් ම දෙමළ පුතන්ඩු උත්සවයක් ගැන කියයි. ලංකාවේ දෙමළ ජනයා මේ වචනය යොදා ගන්නා බවක් නොදැන සිටියෙමි. මෙරට ඉංගිරිසි පුවත්පතකවත් එවැනි පුතන්ඩුවක් ගැන නො කියැවෙයි. 

කැමරන් තම පණිවුඩයෙන් මෛත්‍රිපාල සිරිසේන පසුගිය දින අනූවක පමණ කර ඇති සේවය අගය කරන අතර කියන්නේ තවත් දුර යා යුතු බව ය. සුබ පැතුම් පණිවුඩයට අනුව කැමරන් එංගලන්තයේ දී මෛත්‍රිපාලට කියා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් කෙරෙන විමර්ෂනවලට තව තවත් සහාය දිය යුතු බව ය. පසුගිය දේ සොයා බැලීමට එංගලන්ත ආණ්ඩුවේ සහාය ලබාදෙන බව ද ඔහු කියා ඇත. 

එංගලනතයේ මීළඟ අගමැති වේ යැයි බොහෝ දෙනා සිතන එඩ් මිලිබැන්ඩ් තම සුබ පැතුම් පණිවුඩය නිකුත් කරන්නේ දෙමල ජනයාට පමණ ය. ඔහු තම පණිවුඩයේ සිංහලයන් ගැන වචනයක්වත් සඳහන් නො කරයි. කම්කරු පක්‍ෂය දෙමළ ජනයාගේ මිත්‍රයකු වන්නේ යැයි කියන ඔහු ඊනියා යුද්ධාපරාධ ගැන ස්වාධීන ජාත්‍යන්තර කොමිසමක් පත්කළ යුතු යැයි කියා සිටියි. මිලිබෑන්ඩ් දෙමළ ජනයාට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනය කරයි. කම්කරු පක්‍ෂය බලයට පත්වුවහොත් එය කොන්සර්වෙටිව් පක්‍ෂයට ද එහා ගොස් දෙමළ ජාතිවාදීින් වෙනුවෙන් කටයුතු කරනු ඇත.

මෛත්‍රිපාල ජනාධිපති ව සිටීම හා රනිල් අගමැතිව සිටීම සිංහලයන්ට භයානක තත්ත්වයක් උදා කරයි. මෛත්‍රිපාල කියා තිබුණේ ඔහු පසුගිය දෙමසක කාලයේ  ප්‍රශ්නයේ භාරදුරබව අවබෝධ කරගෙන ඇති බව ය. වෙනත් වචනවලින් කිවහොත් එංගලන්තය ඇමරිකාව (හා ඉන්දියාව) දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් මෛත්‍රිපාල බියගන්වා දොළ පිදේනි ලබාගැනීමට සැරසෙයි. මේ අවුරුද්ද සිංහලයන්ට අතිශය අසුබ අවුරුද්දකි. ඒ මෛත්‍රිපාල රනිල් නීති විරෝධි ලෙස අප පාලනය කරන්නේ නම් ය. එහෙත් මේ ඒරාශ්ටකයෙන් අපට මිදිය හැකි ය. ඒ මහින්ද රාජපක්‍ෂ නැවතත් දොශපාලනයට ගෙන ඒමෙන් හා ඔහුට බලය ලබා දීමෙනි. එහි දී ශ්‍රී ල නි පක්‍ෂය වෙනුවට අවස්ථාවාදීන්ගේ දේශපාලන පක්‍ෂයකට බලය නොදීමට ද අප වග බලාගත යුතු ය. 

නලින් ද සිල්වා 

2015 අප්‍රේල් 14