සිංහලයන් බිය ගැන්වීම
මේ ආණ්ඩුව නීත්‍යානුකූල නැති බව අපි මුල සිට ම කීවෙමු. ජනවාරි 8 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස මහා මැතිවරණයක් නො වේ. ජනාධිපතිවරණයකින් ජනාධිපති වෙනස් වූ විට කැබිනට් මණ්ඩලය වෙනස් විය යුතු නො වේ. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි එසේ වෙනස් විය යුතු බවක් සඳහන් නො වේ. එබැවින් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ දී ව්‍යවස්ථානුකූල ව අගමැති වූයේ දි මු ජයරත්න මහතා ය. ඔහු ඉල්ලා අස්වූයේ වත් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසුව ඔහු අස්කළේවත් නැත. නව ජනාධිපතිවරයකු පත්වීමත් සමග අගමැති ස්වයංක්‍රීය ව තනතුර අත්හරින බවක් ව්‍යවස්ථාවෙහි සඳහන් නො වේ.
එසේ නම් මෛත්‍රිපාල සිරිසේන මහතා දිවුරුම් දී මොහොතකින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දුන්නේ නීති විරෝධී ව ය. මෙරට ව්‍යවස්ථාව අනුව අගමැතිවරුන් දෙදෙනකු සිටිය හැකි නො වේ. මෙරට තවමත් නී්‍යානුකූල අගමැති දි මු ජයරත්න මහතා ය. එහෙත් මේ තර්කය දේශපාලනඥයන්වත, ජනතාවවත්, උසාවියවත් සත පහකට ගණන් නොගන්නා බව මම දනිමි. මා මේ උදාහරණය සඳහන් කරන්නේ අප ජාතියක් ලෙස ප්‍රශ්නයක මුලට යෑමට පුරුදු වී නැති බව පෙන්වීමට ය.
කෙසේ වෙතත් එයට හේතුව කුමක් ද යන ප්‍රශ්නයට මට තවමත් පැහැදිලි පිළිතුරක් නැත. පිරිසිදු බුදුදහම ඇතැයි කියන රටක එසේ විය හැකි ද? බුදුදහම මූල හේතු සෙවීම ප්‍රතික්‍ෂෙප කරන්නේ ද? මූල හේතුවක් නැති වුවත් බුදුදහමෙහි හේතුඵල ගැන කියැවෙයි. මම එයට හේතුඵලවාදය හෝ හේතුඵල නියමය යැයි කීමට මැළිවෙමි. වැඩිම වුවහොත් නියාමය යන්න යොදාගත හැකි යැයි සිතමි. ඒ කුමක් වුවත් මෙරට විවිධ පුද්ගලයෝ බුදුදහම බටහිර විද්‍යාව සමග පෑස්සීමට, විද්‍යාත්මක යැයි කියන මාක්ස්වාදය සමග ගැලැප්පීමට උත්සාහ කරති.
ඇතැමුනට අනුව බුදුදහම ආනුභවික ය. එහෙත් ඔවුහු පංචෙන්ද්‍රිය ගෝචර දැනුම සහ සළායතන දැනුම අතර වෙනස නො දනිති. ඇතැම් පංචෙන්ද්‍රිය ගෝචර දැනුම් පඬියනට අනුව පංචෙන්ද්‍රිය් දැනුම මනසෙන් ස්වායත්ත ය. එහෙත් මනස නොමැතිව දැනුමක් ලැබෙන්නේ කෙසේ දැයි ඔවුහු අපට නො කියති. වාස්තවික යැයි කියාගන්නා දැනුම ද අවසාන විග්‍රහයෙහි මනස විසින් නිර්මාණය කෙරෙන බව ඔවුහු නො පිළිගනිති.
බුදුදහම දැනුම් පද්ධතියක් නො වේ යැයි මා සඳහන් කළහොත් බෞද්ධ උගතුන්ගෙන් අති විශාල බහුතරය මට විරුද්ධ වන බව මම දනිමි. එහෙත් අපට නිවන් අවබෝධ කරගත හැක්කේ සියළු දැනුම් මුසා බව පසක් කර ගැනීමෙනි. එසේ වුවත් ඉන් කියැවෙන්නේ අප දැනුම ප්‍රතික්‍ෂෙප කළ යුතු බව නො වේ. අපට පෞද්ගලික ව ජීවත්වීම සඳහා ජාතියක් ලෙස පැවතීම සඳහා යම් දැනුමක් අවශ්‍ය ය. ඒ දැනුම සාපේක්‍ෂ බව අමතක නොකළ යුතු ය.
සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට තමන්ගේ ම වූ දැනුමක් වර්තමානයෙහි නැත. අපට සංගත වූ අපේම වූ දැනුමක් නැත. අපට ඇත්තේ අච්චාරු දැනුමකි. ථෙරවාදයෙන් ටිකක්, බටහිර විද්‍යාවෙන් ටිකක්, මාක්ස්වාදයෙන් ටිකක්, බටහිර සාහිත්‍යයෙන් ටිකක්, නාඩගමින් ටිකක්, ජනකලාවෙන් ටිකක් ආදී වශයෙන් අපේ සංස්කෘතියෙහි ඇත. ඒ සියල්ල එකතු කර අපේම වූ සංගත දැනුමක් නිර්මාණය කිරීමට අප අපොහොසත් වී ඇත.
ප්‍රශ්නයක මුලට යෑමට නොහැකි අපි ප්‍රශ්න මැදින් හෝ අපට සංයුක්තව තේරෙන තැනකින් හෝ අල්ලා ගනිමු. ඉන්පසු අපේ ම වූ දැනුමක් නොමැති බැවින් ලිබරල්වාදයෙන්, මාක්ස්වාදයෙන්, අප දන්නා බුදුදහමින්, වෙනත් අප දන්නා දෙයකින් ඒ ඒ අවශ්‍යතා අනුව ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ කරමු. මෙහි දී මට මතක් වනුයේ දුන්න දුනු ගමුවේ නම් කවියයි. වත්මන් සිංහල සංස්කෘතිය ඒ කවියෙන් නිරුපණය වන්නේ යැයි සිතමි.
අද සිංහලයෝ අනෙක් සියළු දෙනාට ම බියෙන් ජීවත්වෙති. ඇතැම්හු තමන් සිංහල බෞද්ධ යැයි කීමට බිය වෙති. එසේ කීමෙන් තමන් ජාතිවාදී වෙතැයි, ආගම්වාදී වෙතැයි, අන්තවාදී වෙතැයි සිතීමට ඔවුන්ට උගන්වා ඇත. එහෙත් මෙරට ජීවත්වන දෙමළ මුස්ලිම් ජනවර්ග කිසිම බියකින් තොරව තම අනන්‍යතාව ප්‍රකාශ කරති. අද සිංහල බෞද්ධයකු හඳුනාගත හැක්කේ අපහරණ ක්‍රියාවලියකිනි. ඒ පුද්ගලයා දෙමළ නොවේ, මුස්ලිම් නෙවේ, කතෝලික නොවේ, හින්දු නොවේ ආදී වශයෙන් ඉවත්කර, ඒ සියල්ල නොවේ නම් සිංහල බෞද්ධයකු ය යන නිගමනයට එළඹීමට අපට සිදු වී ඇත.
ප්‍රශ්නයක මුලට යෑමට අපට නොහැකි බැවින් වත්මන් දෙමළ ජාතිවාදයට මුල මෙරට සිංහලත්වයට හිමි තැන අහිමි කිරීම බව අපි නො දනිමු. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම, සිංහලෙන් පමණක් ජාතික ගීය ගැයීම ආදියට විරුද්ධ වීම පිටුපස ඇත්තේ මෙරට සිංහලත්වයට හිමි තැන නොදීම බවත් එය සිංහල විරෝධී ජාතිවාදයක් බවත් කීමට අපි බියවෙමු. ලිබරල්වාදයෙන්, මාක්ස්වාදයෙන්, අර වාදයෙන් මේ වාදයෙන් ඔලු අවුල් කරගත් අපි බටහිර විද්‍යාවේ ව්‍යාජ විධික්‍රමයකින් මුළා වී ඊනියා වාස්තවික විසඳුම් සොයමු.
එක භාෂාවකට වඩා කතාකරන ජනතාව සිටින රටක ජාතික ගීය ගැයිය යුත්තේව කිනම් භාෂාවකින් ද, රාජ්‍ය භාෂාව විය යුත්තේ කිනම් භාෂාවක් ද ආදී ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට පළමුව නිර්ණායක තිබිය යුතු ය. ඒ නිර්ණායක ඊනියා වාස්තවික නිර්ණායක නොව අපේ නිර්ණායක ය. එලෙස නිර්ණායක නිර්මාණය කර දීමෙන් පසුවත් කිසිවකු ඒ ගැන අබමල් රේණුවක උනන්දුවක් නො දක්වන්නේ සිංහලයන්ට අබසරණ හැරෙන්නට වෙනත් සරණක් නොමැති නිසා ද?
ජාතිය යනු කුමක් ද යන ප්‍රශ්නයට අප පිළිතුරු දීමට යන්නේ එක්කෝ ධනවාදී රාමුව තුළ ය. එසේත් නැතහොත් ලෙනින් ස්ටැලින් වාදය තුළ ය. ඒ එක් වාදයකින්වත් සිංහල ජාතිය අවුරුදු දෙදහසකට වැඩි ඉතිහාසයක් හිමි ජාතියක් යැයි නො කියැවෙයි. බටහිර දැනුමට අනුව ජාතීන් බිිහි වී ඇත්තේ ධනවාදී විප්ලවයට පසුව ය. බටහිර දැනුම වාස්තවික බැව් අපට කියා දී ඇත. ඒ දැනුමට අභියෝග කිරීමට අපි බිය වෙමු. බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියන විට එයට වඩාත් ම විරුද්ධ වන්නෝ සිංහල ජාතිකවාදීහුය!
මේ බිය නැතිකර ගැනීමට අප කටයුතු නොකළහොත් අපට ජාතියක් ලෙස අනාගතයක් නැත. ඒ බිය අප මත පාසල්, විශ්වවිද්‍යාල හා ජනමාධ්‍යය මගින් පටවනු ලැබුවකි. ජාතිකත්වය ඇත්තේ ගැමි හෝ නාගරික හෝ ඊනියා උගතුන් ළඟ නොව නූගතුන් අතර ය. බටහිර උගත්කම අපට වින කරන බව අප අවබෝධ කරගත යුතු ය. අප බිය ගන්වා ඇත්තේ බටහිර අධාපනය මගිනි.
නලින් ද සිල්වා
2015 අප්‍රේල් 05