Main Logo

Saturday 11 April 2015

19 පැරදවීම අවුරුදු තෑග්ගකි

19 පැරදවීම අවුරුදු තෑග්ගකි

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ඡන්ද විමසීම අවුරුද්දට සතියකට පමණ පසුව කෙරෙනු ඇති බව වාර්තා වෙයි. එහෙත් එය එසේ ම වේදැයි අපි නො දනිමු. රටට දේශපාලන නොනගතයක් හෙවත් සාංක්‍රමණික කාලයක් උදා කර ඇති මේ වකවානුවේ කිසිම දෙයක් නිශ්චිත ව සිදුවේ යැයි කීමට නො හැකි ය. ඉතා පැහැදිලි ව ම මෛත්‍රිපාල සිරිසේනට ශ්‍රී ල නි පක්‍ෂ මෙහෙයවිය නො හැකි ය. පක්‍ෂයේ වැඩ කටයුතු සිදුවන්නේ ඔහුට අවශ්‍ය අන්දමට නො වේ. ඔහුට සැපයිය හැකි නායකත්වයක් නැත. නිමල් සිරිපාල නම් ඊනියා විපක්‍ෂ නායකයා ගැන කියනුම කවරේ ද? 


ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දිගින් දිගට ම ශ්‍රී ල නි පක්‍ෂයේ ස්ථාවරය වූයේ ව්‍යවස්ථාව සමග මැතිවරණ ක්‍රමය ද සංශෝධනය විය යුතු බව ය. ඒ ස්ථාවරයෙහි අරමුණ කුමක් වුවත් ශ්‍රී ල නි පක්‍ෂයට අද ඒ ස්ථාවරයෙන් පිට පැනීමට නො හැකි ය.  පසුගිය සමයෙහි චන්ද්‍රිකාගේ වෛරය දහස් ගුණයකින් වැඩි වුවත් ඇයට ද ඒ ස්ථාවරයෙන් පිට පැනිය නො හැකි ය. ඇය ඉන් පිට පැන්නත් ඇය කියන දෙයක් සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිවහොත් අද ශ්‍රී ල නි පක්‍ෂයේ බල්ලකුවත් තුට්ටුවකටවත් මායිම් නොකරන බව පැහැදිලි ය. ශ්‍රී ල නි පක්‍ෂය යනු ඇයට දෑවැද්දට ලැබුණු බූදලයක් නොවන බව ඇය තේරුම් ගත යුතු ය. කෙසේ වුවත් ඇයත් ඇගේ සැමියාත් ශ්‍රී ල නි පක්‍ෂයට කලක දී ද්‍රෝහි වූහ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාවට ය. මෙහි ඇත්තේ ඊනියා බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් නො වේ. සිංහල ජාතිකත්වය නැසීම ඒ පිටුපස වෙයි. දෙමළ ජාතිවාදීහු එකල විධායක ජනාධිපති ක්‍රමයට පක්‍ෂ වුවත් අද එයට විරුද්ධ වෙති. විධායක ජනාධිපති ක්‍රමය නොතිබෙන්නට කොටි සංවිධානය (දෙමළ ත්‍රස්තවාදය) පරාජය කළ නොහැකි වන බව බටහිරයෝ ද දෙමළ ජාතිවාදීහු ද දනිති. එහෙත් මාදුළුවාවේ සෝභිත හිමියෝ නො දනිති. රතන හිමියන් දනිතත් මහින්ද ආපසු ජනාධිපති වේය යන භීතියෙන් විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අහෝසි කිරීමට එකඟ වෙති. 

විධායක බලතල යම් ප්‍රමාණයක් ජනාධිපතිගෙන් ඉවත්කර අගමැතිට පැවරීම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණ ය. අගමැති යනු රනිල් ය. ඔහු සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ජීවත්වන පුද්ගලයෙකි. ඔහු හැසිරවෙන්නේ බටහිර චින්තනයෙනි. ඔහු දැනටමත් මෛත්‍රිපාල ද සමගින් සාම්පුර් කඳවුර ඉවත්කර ඇත. පලාලේ අධිආරක්‍ෂිත කලාපයේ ඉඩම් බෙදා දී ඇත. ජාතික හෙළ උරුමය ද ඒ ක්‍රියා අනුමත කරයි. අගමැතිට තව තවත් බලය දුන්නොත් කුමක් සිදුවීමට ඉඩ ඇත් ද? රටේ ආරක්‍ෂාව ජාතික හෙළ උරුමය ද ඇතුළු සිංහල විරෝධී යමපාලකයන්ට ප්‍රශ්නයක් නො වේ.  

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අගමැතිට හිමි වීමට නියම ව තිබූ ඇතැම් කරුණු සංශෝධනයෙන් ඉවත් කෙරෙන බව රනිල් කියයි. එසේ කෙරුණත් නැතත්, මැතිවරණ ක්‍රමය වෙනස් කළත් නැතත්, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා නොව දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාවට ගෙනෙන ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි විරහිත ව විරුද්ධවීම සිංහල ජාතිකවාදීන්ගේ යුතුකම වෙයි. සංශෝධනයට තුනෙන් දෙකේ බහුතරය අහිමි කිරීම ජාතියට දෙන අවුරුදු තෑග්ගක් වනු ඇත.

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 11