Main Logo

Monday 20 April 2015

සූර්යයා මේෂ රාශියට ඇවිත් (ඉරිදා රිවිර ලිපියකි)

සූර්යයා මේෂ රාශියට ඇවිත්

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ඇවිත් අදට දින පහකි. එහෙත් සිංහල බෞද්ධ පඬියෝ ඒ බව විශ්වාස නො කරති. අනෙක් සිංහලයන් කෙසේවත් ඒ විශ්වාස නොකරන්නේ යැයි සිතමි. සූර්යයාට මොන චලිතයක් දැයි සිංහල බෞද්ධ පඬියෝ අසති. ඔවුහු බටහිර විද්‍යාඥයෝ ය, බුද්ධිමත්තු ය. ඔවුහු කාළාම සූත්‍රයෙහි විද්‍යාත්මක ක්‍රමය ඇතැයි සිතති. ඔවුන්ගේ බුධ, ගුරු නීච දැයි මම නො දනිමි. ඔවුන් කිසිවකුටවත් නොබෙල් තෑග්ග තබා ලන්ඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක් ලැබී නැත.

ඒ සංගමයේ අධිසාමාජිකත්වයක් ලබා ඇති එකම ලාංකිකයා සිංහල ක්‍රිස්්තියානි බැතිමතෙකි. මට මතක ඇති ආකාරයට ඔහුට ද ඒ සාමාජිකත්වය පිරිනැමුණේ කුරුළු උණ පිළිබඳ වෛරසය හඳුනාගැනීම වෙනුවෙනි. ෙසෙද්ධාන්තිකව බටහිර විද්‍යාවට වැදගත් එකතු කිරීමක් කළ එකදු ලාංකිකයකු නැත. මට නොබෙල් තෑග්ග හෝ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය හෝ නො වටියි. එහෙත් මා ඒ සඳහන් කරන්නේ විද්‍යාඥයන් යැයි කියාගන්නා අයට ඒ වැදගත් වන බැවිනි.  


අවුරුදු දවස්වල රූපවාහිනී නාලිකා මගින් විවිධ පඬියෝ විවිධ කතා කීවෝ ය. බොහෝ පඬියන්ට ද පඬි නිවේදකයන්ට ද ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීට ද එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමරන්ට ද  අනුව මේ ගෙවී ගියේ සිංහල දෙමළ අලුත් අවුරුද්දකි. එහෙත් එංගලන්තයේ විපක්‍ෂ නායක එඩ් මිලිබෑන්ඩ්ට අනුව ගෙවී ගියේ දෙමළ අවුරුද්දකි! ඇතැම් පඬියෝ තම පඬි බව තවත් ප්‍රදර්ශනය කරමින් සිංහල දමිළ අවුරුද්දක් හෝ සිංහල ද්‍රවිඩ අවුරුද්දක් හෝ  ගැන කියවූහ. මෙරට උගත් යැයි සම්මත සිංහල බෞද්ධයනට සිංහල බෞද්ධ චින්තනය ගෑවීවත් නැත. ඔවුහු අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පවත්වති. නොනගතයට පන්සල් යති. එහෙත් ඔවුන් බොහෝ දෙනකුට තවමත් නොනගතය යනු නැකැත් නැති වෙලාවකි. තරමක් පඬි වූවෝ සුබ මූර්ති නැති වෙලාවක් යැයි කියති. නොනගතය යන්න හා නැකැත් නැත යන්න අතර යම් සම්බන්ධයක් ගොඩනගා ගත හැකි වුව ද සුබ මූර්තිය යන්නෙන් නොනගත යන්න බිඳ ගන්නේ කෙසේ දැයි ඔවුහු නො කියති. කෙසේ වෙතත් තමිල්නාඩුවේ මේ දිනවල පවත්වන අවුරුද්දක් නැති බව පඬියෝ නො කියති. මෙය සිංහල දෙමළ අවුරුද්දක් වී ඇත්තේ සුද්දන්ගේ නිවාඩු ප්‍රශ්නයක ප්‍රතිඵලයක් ලෙස ය.  එසේ නැතිව දෙමළ ජනයා අවුරුද්දක් පවත්වන නිසා නො වේ. අද මෙරට දෙමළ ජනයා යම් ප්‍රමාණයකට වුවත් අවුරුද්ද පවත්වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියේ ආභාසයෙනි.  

බොහෝ පඬියන්ට සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යෑම හෝ රේවති නැකතින් අස්විද නැකතට යෑම හෝ දිරවා ගත නො හැකි ය. ඔවුන්ට අනුව සූර්යයා චලනය නො වෙයි. ඔවුන් කියන්නේ චලනය වන්නේ පෘථිවිය බව ය. මේ පඬියෝ සාපේක්‍ෂ චලිතය ගැන නො දනිති. ජ්‍යෙතිෂය මූලික වශයෙන් පදනම් වන්නේ පෘථිවියට සාපේක්‍ෂව ග්‍රහයන්ගේ චලිතය මත ය. නිරපේක්‍ෂ චලිතයක් නොමැති බැවින් ඒ ඒ කාර්යයට අවශ්‍ය අන්දමට සාපේක්‍ෂ චලිතය ගැනීමට සිදුවෙයි. පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයක් ගැන පමණක් විශ්වාස කරන පඬියන්ට සූර්යයාගේ චලිතය හැරෙන්නට පෘථිවියේ චලිතයක් දැකගත හැකි ද? බටහිර විද්‍යාවේ පෘථිවියේ චලිතය යනු වියුක්ත දැනුමකි. එහෙත් පඬියෝ එය ආනුභවික දැනුමක් ලෙස සලකති. 

සිංහල බෞද්ධයෝ බුදුදහම විද්‍යාත්මක යැයි කීමට කැමති වෙති. එහෙත් එකදු සිංහල බෞද්ධයකුට හරිහමන් විද්‍යාඥයකු වීමට නොහැකි වී ඇත්තේ ඇයි දැයි තේරුම් කර නොදෙති. ඔවුහු කාළාම සූත්‍රය ගැන පුරසාරම් දොඩවති. ඒ සූත්‍රයෙන් විද්‍යාත්මක ක්‍රමයක් කියැවෙතැයි ඔවුහු කියති. අබෞද්ධ කාලෝ ෆොන්සේකා මහතා ද එසේ කියයි. ඔහුට කාළාම සූත්‍රයෙහි දෙවැනි කොටස ලෙස මා විසින් හැඳින්වෙන්න තරමක් තේරුම් ගැනීමට අවුරුදු විසිපහක් පමණ ගත වී ඇත. ඇතැම් සිංහල බෞද්ධයන් සිය ජීවිතයෙහි කිසි දිනෙක ඒ තේරුම් නොගනු ඇත. කාළාම සූත්‍රය හා බටහිර විද්‍යාව අතර සම්බන්ධයක් නැත.

බටහිර විද්‍යාවේ කෙරෙන්නේ පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් තේරුම් ගැනීමට පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත කතන්දර ගෙතීම ය. එය බුදුන්වහන්සේගේ ක්‍රමය නො වේ. උන්වහන්සේ සියල්ල පසක් කළහ. ඒ පසක් කිරීම හෙවත් ප්‍රත්‍යක්‍ෂය සාමාන්‍ය ප්‍යථග්ජනයන්ගේ ප්‍රත්‍යක්‍ෂය නො වේ. නිවන ප්‍රත්‍යක්‍ෂ කිරීම යනු පෘථග්ජනයන් නිර්මාණය කරන දැනුම් අසත්‍ය බව ප්‍රත්‍යක්‍ෂ කිරීම යැයි මම සිතමි. පෘථග්ජන දැනුම් නොදැනුම් බවට පත්කිරීම යැයි සිතමි. එහෙත් පෘථග්ජනයන් ලෙස ජීවත්වීමේ දී අපට මේ බොරු දැනුම් අවශ්‍ය වෙයි. අපේ ප්‍රධාන ම බොරුව මා යන්න ය. එහෙත් අපි ඒ බොරුව විශ්වාස කරමු. 

පෘථග්ජනයන්ගේ ප්‍රත්‍යක්‍ෂ දෙයාකාරයකි. එක් ආකාරයක් අප සියළු දෙනාට ම පොදු ය. එහි දී පංචෙන්ද්‍රියන් ද මනස ද යොදා ගැනෙයි. අනෙක් ආකාරයේ මනස පමණක් යොදා ගැනෙයි. ඒ සඳහා මනස දියුණු කළ යුතු ය. එහි දී පංචෙන්ද්‍රිය යොදා නො ගැනෙයි. බුදුන් වහන්සේගේ හා රහතන් වහන්සේගේ මනස දියුණු කිරීම යනු මනස ද බොරුවක් බව පසක් කිරීම ය. එය පෘථග්ජන මනස දියුණු කිරීමෙන් වෙනස් යැයි මම සිතමි. අපි ඒ ගැන නොව පෘථග්ජන මනස දියුණු කිරීම ගැන පමණක් සලකමු. පැරණි ජ්‍යොතිෂවේදීන් හා සෘෂිවරුන් එසේ මනස දියුණු කිරීමෙන් විවිධ දේ පෘථග්ජන ආකාරයෙන් පසක් කර ඇති බව පැහැදිලි ය. කොපර්නිකස්ට පෙර පැරැන්නෝ පෘථිවිය සූර්යයා වටා චලනය වන බව ද පසක් කර ගත්හ. එහෙත් ඔවුහු  එය නිරපේක්‍ෂ චලිතයක් නොවන බව ද පසක් කරගෙන සිටියහ. 

ඒ අතර පැරුන්නෝ අහස ද නැකැත්වලට (සිංහල ක්‍රමය) හෝ රාශිවලට (බටහිර ආසියාවෙන් භාරතයට ලැබුණු ක්‍රමය) හෝ බෙදුහ. අහසෙහි සූර්යයා චලනය වන අන්දමත් එක් නැකතකින් තවත් නැකතකට හෝ එක් රාශියකින් තවත් රාශියකට  හෝ සංක්‍රමණයවීමත් ඔවුහු දුටුවෝ ය. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යෑම ද එවැන්නකි. සූර්යයා යනු ලක්‍ෂ්‍යයක් නො වේ. එය ද්විමානයෙහි ප්‍රක්‍ෂෙපණය වන්නේ විෂ්කම්භයක් සහිත තැටියක් ලෙස ය. මේ තැටියට රාශි දෙකක් හෝ නැකැත් දෙකක් හෝ වෙන් කරන රේඛාව පසුකිරීමට පැය තිස්දෙකක් ගත වෙයි. බටහිර ක්‍රමයට නම් හෝරා දොළොසක් සහ මිනිත්තු හතළිස්අටක් ගත වෙයි. නොනගතය ලෙස සැලකෙන්නේ මේ කාල පරිච්ඡෙදයයි. 

එය නොනගතය වන්නේ නැකැත් නැතිවීමක් නිසා නොව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මුළුමණින් පැමිණ නැති නිසා ය. පැරණි සෙල්ලිපිවල අගත අනගත නමින් ව්‍යවහාරයක් වෙයි. අගත යනු පැමිණීම ය. අනගත යනු නො පැමිණීම ය. ලෙන් විහාර පූජා කෙරුණේ සතර දිශාවෙන් පැමිණි නොපැමිණි භික්‍ෂූන් වහන්සේට ය. අගත අනගත චතුදිශ සගස්ස යනු පැරණි ව්‍යවහාරය විය. අනගත නොවීම හෙවත් න අනගත යන්න නොනගත වී ඇතැයි සිතමි. අනගත නොවීම යනු නොපැමිණ ඇත්තේ නැත යන්න ය. වෙනත් වචනවලින් කිවහොත් සූර්යයා මේෂ රාශියට පැමිණියේ ද නොපැමිණියේ ද නො වේ යන්න ය.  

දැනට අවුරුදු විසිහයකට පෙර විදුසර විද්‍යා සංග්‍රහය සමග පැවති සාකච්්ඡාවක දී මා ප්‍රකාශ කළ අදහස් සමග පළ වූ චිත්‍රයක් මේ සමග වෙයි. එය නිවැරදි යැයි මම නො කියමි. එය මගේ නිර්මාණයකි. එහෙත් නොනගතය යනු නැකැත් නැති බවට කෙරී ඇති නිර්මාණය විශ්වාස කරන පඬියන් අවුරුදු විසිපහකට පසුවත් විවිධ ජනමාධ්‍ය මගින් මා එය ප්‍රචාරය කර තිබියදීත් ඒ අදහස් සත පහකටවත් මායිම් නොකරන්නේ ජාතිය ද අවුරුදු ගණනාවක් තිස්සේ නොනගත කාලයක පසුවෙන බැවින් ද? නැතහොත් ජාතිය මා වැරදි මත ප්‍රකාශ කරන්නකු ලෙස හඳුනාගෙන ඇති බැවින් ද? ආසනික්, ග්ලයිෆොසේට් හා දැළිස ගැන අප දැනගත්තේ ඊනියා විද්‍යාත්මක ක්‍රමයකට නොව නාථ දෙවියන් ලෙස හැඳින්වෙන මනුෂ්‍ය නොවන ප්‍රාණියකුගේ උපකාරයෙනි. අපි ඒ ගැන තම මාස කිහිපයකින් නැවතත් සාකච්ඡාව අරඹමු. එවිට සූර්යයා මේෂයෙන් ද ගොස් සිටිනු ඇත. සූර්යයා වෘෂභයෙන් පිටත්වීමෙන්් පසු සාකච්ඡාව නැවත ඇරඹීම වෘෂභයන්ට ප්‍රශ්නයක් විය හැකි ය. 

කෙසේ වෙතත් දැන් සූර්යයා මේෂ රාශියට පැමිණ ඇත. මේ ලැබූ අවුරුද්ද ගැන කෙරි ද කැමරන් ද මිලිබෑන්ඩ් ද උනන්දුවක් දක්වති. එය සිංහලයන්ට එතරම් සුබදායක නොවන්නේ ඔවුන්ට නොබියව මුහුණ දිය හැකි ජනාධිපති කෙනකු හෝ නීත්‍යානුකූල අගමැති කෙනකු හෝ අපට නොමැති බැවිනි. සූූර්යයා නැවත මේෂයට එන විට අප ශක්තිමත් නායකයකු පත්කර ගත යුතු ය. 









නලින් ද සිල්වා


2015 අප්‍රේල් 19