Main Logo

Monday 19 September 2016

දෙමළ කතාකරන ජනයාගේ අනන්‍යතාව

දෙමළ කතාකරන ජනයාගේ අනන්‍යතාව

දෙමළ කතාකරන ජනයා දෙමළ වර්ගයක් ලෙස ලංකාවේ නොව වත්මන් තමිල්නාඩුවේවත් සංවිධානය වී සිට නැහැ. පඬියන් ජනතාවන් ගැන කතාකිරීෙීම් දී ගෝත්‍රය, ජනවර්ගය, ජාතිය, වගේ වචන යොදා ගන්නවා. මගේ මූලික ප්‍රශ්නය වන්නේ දෙමළ ජනයා ඉතිහාසයේ ජීවත් ව ඇත්තේ, එනම් පැවතී ඇත්තේ පඬියන් දන්නා වර්ගීකරණවලින්, එහෙමත් නැත්නම් ප්‍රවර්ගවලින්,  කිනම්   ප්‍රවර්ගයක් ලෙස ද යන්නයි.

පඬියන් කරන්නේ බටහිර උගතුන් කියා ඇති සංකල්ප නැවත නැවතත් උච්චාරණය කිරීම පමණයි. බටහිර උගතුන්ට අනුව දෙමළ ජනයා ඉතිහාසයේ පැවතී ඇත්තේ කවුරුන් ලෙස ද? මා මෙහි දී දෙමළ ජනයා යන්න යොදාගන්නේ වෙනත් වචනයක් නැති නිසා මිස දෙමළ ජනයා ලෙස සංවිධානය වූ ජනතාවක් සිටි නිසා නො වෙයි. මා නගන මුලික ප්‍රශ්න ගැන බොහෝ අයට, විශේෂයෙන් ම සිංහලයන්ට තේරුමක් නැහැ. ඒ ගැන මට කරන්න දෙයකුත් නැහැ. බොහෝ දෙනා ලිපියකින් බලාපොරෙත්තුවන්නේ තොරතුරු. මගේ ලිපිවල එතරම් තොරතුරු නැහැ. මා තොරතුරු දන්නේත් නැහැ. දැනගත්තත් මතක තියාගන්නේත් බොහොම අඩුවෙන්.

දෙමළ කියා භාෂාවක් තිබෙන බව ඇත්ත. අපට එය වෙනත් භාෂාවලින් වෙන්කර හඳුනාගන්න පුළුවන්. මලයාලම්, තෙළිඟු ආදී වෙනත් ද්‍රවිඩ කියන භාෂාවලිනුත් දෙමළ වෙන්කර හඳුනාගන්න පුළුවන්. අපේ ඇතැම් පඬියන් දෙමළ ජනයාටත් ද්‍රවිඩ කියා  කියනවා. එහි වරදක් නැහැයි කියලා කාට හරි කියන්න පුළුවන්. ලංකාවේ ද්‍රවිඩ ජනයා ජීවත් වෙනවා කිවුවොත් ඒකෙන් කියන්නෙ මෙරට මලයාලම් ජනතාව, එහෙමත් නැත්නම් තෙළිඟු ජනතාව ජීවත්වෙන බව ද? එයට දෙමළ නායකයන් කැමති වේ ද? මේ ද්‍රවිඩ කියන්නේ දකුණේ කියන එකයි. ද්‍රවිඩ කියන එකේ තේරුම දකුණ කියන එකයි. මෙහි දකුණ කියන්නේ ලංකාවේ දකුණට නොවෙයි. එය උපමහාද්වීපයේ නැත්නම් අද ඉන්දියාව කියන ප්‍රදේශයේ දකුණයි. දකුණේ ජීවත්වන ජනයාට ද්‍රවිඩ කියනවා. ඔවුන්ගේ භාෂාවලට ද්‍රවිඩ භාෂා කියනවා. ඒකෙන් ඔවුන් කිසිවකුගේ අනන්‍යතාව හෙළිවන්නේ නැහැ.

දෙමළ භාෂාව ඉපැරණි භාෂාවක් කියලා කියනවා. ඇතැමුන්ට අනුව එය සංස්කෘත තරම් ම පැරණි භාෂාවක්. දෙමළ කතාකරන ජනතාවන් ලෝකයේ ජීවත්ව තිබෙනවා. ඒත් ප්‍රශ්නය ඔවුන් කිසිදාක දෙමළ ගෝත්‍රයක් හරි වෙනත් එවැනි ප්‍රවර්ගයක් ලෙස හරි සංවිධානය වෙලා හිටිය ද කියන එකයි. බටහිර උගතුන් ගෝත්‍ර ගැන කියනවා. අප්‍රිකාවේ ගෝත්‍ර, ඇමරිකානු ගෝත්‍ර, ඕස්ටේ‍ර්ලියානු ගෝත්‍ර, නවසීලන්ත ගෝත්‍ර ආදී වශයෙන් ඔවුන් සඳහන් කරනවා. ගෝත්‍රයකට තමන්ගේ භාෂාවක්, චින්තනයක්, සංස්කෘතියක් වගේම නායකයකු නායකයන් සිටිනවා. ඒ වගේම ඔවුන්ගේ ම වූ යම් භූමියක් තිබෙනවා. ඇමරිකානු ගෝත්‍රික චින්තන ගැන පසුව කතාකරන්න ඕන. ඔවුන්ගේ ඇතැම් සංස්කෘතීන්වල, කොඩිවින ආදියත් පැවතිලා තියෙනවා. ඒත්  අකාරාදියක් නොතිබූ ගෝත්‍රත් වාසය කර තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ පොත්පත්, සෙල්ලිපි හෝ වෙනත් එවැනි දේ තිබී නැහැ.  

දෙමළ යනුවෙන් භාෂාවක් තිබෙනවා. එයින් ලියැවුණු පොතපතත් තිබෙනවා. ඇතැම් පොත්වල බෞද්ධ කරුණුත තිබෙනවා. දෙමළ භාෂාවෙන් තිබෙන සංගම් සාහිත්‍යයක් ගැන කතාකරනවා. ඒ සියල්ල වැදගත් බවට ප්‍රශ්නයක් නැහැ. මේ දෙමළ කතාකළ ජනතාවට තමන්ගේ කියා පිළිගත් නායකයන් සිටියා ද? අප ඉතිහාසයේ සොළින් ගැන කියනවා. සොළී කියන්නේ දෙමළ නොවෙයි. එය වංශයක් පමණයි. සොළින් දෙමළ කතාකරන ජනයා පාලනය කර තිබෙනවා. ඒත් ඒකෙන් කියැවෙන්නේ නැහැ සොළින් යනු දෙමළ කියා. සොළින්ගේ රාජ්‍යයක් තිබුණා. ඒ රාජ්‍යයේ සිටියේ දෙමළ කතාකරන ජනයා පමණ ද? අනෙක් අතට දෙමළ කතාකරන සියළු ජනයා සොළී රාජ්‍යයේ වාසය කළා ද? උදාහරණයක් ලෙස මෙරට දෙමළ ජනයා උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිටත් ජීවත් වෙනවා. උතුරු හා නැගෙනහිර පළාත්වල ජීවත්වන්නේ දෙමළ ජනයා පමණක් නොවෙයි.

සොළී රාජ්‍යයට අමතර ව පාණ්ඩ්‍ය රාජ්‍යයක් ගැන කියැවෙනවා. ඒ රාජ්‍යයේ දෙමළ කතාකරන අය සිටියා ද? මේ රාජ්‍ය පැහැදිලි දේශසීමා සහිත ව තිබුණා ද?  පල්ලව වාංශිකයන් දකුණට ඇවිත් තිබෙනවා. ඒත් ඔවුන් මුලදි උතුරෙත් පාලනය කරලා තියෙනවා. මා මෙයින් කියන්නේ දෙමළ අනන්‍යතාව කියා දෙයක් ඉතිහාසයේ  තිබී නැත කියායි. ඇමරිකානු ගෝත්‍රිකයන්ට නායකයන් හිටියා. ඔවුන්ගේ ම භාෂා තිබුණා. ඔවුන්ගේම භූමි තිබුණා. මේ භූමි සමහර විට දෙකක් වෙන්න පුළුවන්. ඔවුන් ඇතැමුන් ඇතැම් සත්වයන් මෙන් ශීත සෘතුවේ දී වෙනත් භූමියකට සංක්‍රමණය වුනා. ඒත් ඒ භුමි නිශ්චිත භූමි. ජනකොටසක අනන්‍යතාවට ඔවුන්ට ඒ පිළිබඳ හැඟීමක් තියෙන්න ඕන. ඔවුන් තමන් ඒ ජනකොටසට අයිති බවට හැඟීමක් තියෙන්න ඕන.

දෙමළ ජනයාට, භාෂාවක් තිබුණත්, සාහිත්‍යයක් තිබුණත්, නිශ්චිත භූමියක්, නිශ්චිත නායකයන්, විටින් විට වෙනස් වන වාංශිකයන් නොවේ, තමන්ට තමන් පිළිබඳ හැඟීමක් විඥානයක් තිබුණ ද? මූලික ප්‍රශ්නය ජනකොටසක්, ජනවර්ගයක්, ගෝත්‍රයක්, ජාතියක් බවට පත්වන්නේ කෙසේ ද යන්නයි.     



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 19