Main Logo

Saturday 17 September 2016

ගැමුණු රජු ධර්මපාලතුමා හා මහාවංසය සමග ඉදිරියට


ගැමුණු රජු ධර්මපාලතුමා හා මහාවංසය සමග ඉදිරියට 

අද  ධර්මපාලතුමාගේ ජන්ම දිනය. එතුමා 1864 දි උපදින විට ඉංගිරිසින් මෙරට බලය ගිවිසුමකින් වංචාකාරී ව අල්ලා ගෙන අවුරුදු පනහකට ආසන්නයි. ඒ අවුරුදු පනහෙදිත් ඉංගිරිසින් අපේ ජාතියේ කොඳු ඇටය කඩන්න බොහෝ පියවර අරන්. ඒ වන විටත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය මෙරට තහවුරු වෙලා. 1817, 1848 නිදහස් සටන් ඉංගිරිසින් අති ම්ලේච්ඡ ආකාරයෙන් මර්දනය කරලා. ඌව වෙල්ලස්ස ජන සංහාරයක් ඇති කරලා. මේවා ගැන අදවත් හොයලා බලන්න ඕන. ඒත් මේ සුද්දන්ගෙ අධ්‍යාපනයෙන් බිහිවෙච්ච අයට ඒක කරන්න පුළුවන්ද කියන එක සැකයක්. අප ඒ ජන සංහාර වස්තු විනාශ ආදිය ගැන සුද්දන්ගෙන් වන්දි ඉල්ලන්නෙ කවද ද? අපෙන් ගෙනගිය පොත්පත්, පුරාවස්තු ආදිය අප ආපසු ලබාගන්නෙ කවදා ද?

දහනවවැනි සියවස අග මෙරට බෞද්ධ පුනර්ජීවනයක් ඇති වුනා. ඇංග්ලිකන් ක්‍රිස්තියානින් මෙතෝදිස්ත වැනි වෙනත් ක්‍රිස්තියානි සභා සමග එකතු වී බුදු සසුනට හා බුදුදහමට එරෙහිව කරන ලද අසාධාරණකම්වලට පහරදීම්වලට විරුද්ධව බෞද්ධයන්, සරදමකට මෙන් ඉංගිරිසින්ගේ ආර්ථිකයෙන් ම පෝෂණය වූ බෞද්ධයන්, ඉංගිරිසි  ක්‍රිස්තියානි සංස්කෘතියට අභියෝග කළා. ඒ අභියෝග ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය තුළ ම සිදුවූවක්. මේ සියළු අභියෝගවල සංකේතය ලෙස මා දකින්නේ පාණදුරේ රංකොත් විහාරය. එහි තවමත් ක්‍රිස්තියානි සංස්කෘතික ලක්‍ෂණ දකින්න පුළුවන්.

ඕල්කට්තුමා මෙරටට පැමිණීමෙන් පසු මේ බෞද්ධ අභියෝගය තවදුරටත් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ම ක්‍රියාත්මක වුනා. ධර්මපාලතුමා තරුණයකු ලෙස ඕල්කට්තුමා සමග රට වටේ ගියා. ධර්මපාලතුමා ද ශාන්ත තෝමස් රාජකීය ආදී විදුහල්වල ඉගෙන ගත්තත් ක්‍රිස්තියානි සංස්කෘතිය දෙබෑ කරමින් එතුමාගේ සිංහල බෞද්ධ සංස්කෘතිය මතුවුනා. අද ධර්මපාලතුමාගේ ඡායාරූපයක් රාජකීය විදුහලේ ශාලාවේ ප්‍රදර්ශනය වෙනවා. එය මගේ මිතුරකු වූ රංජිත් සන්දනායකගේ මූලිකත්වයෙන් 1964න් පසුව සිදුවූවක්. ඒ පින්තුරය එසේ ප්‍රදර්ශනය කිරීම පිළිබඳ ව රාජකීය විදුහලේ එවකට විදුහල්පති වූ ඩඩ්ලි සිල්වා මහතාටත් නියෝජ්‍ය විදුහල්පති වූ බෝගොඩ ප්‍රේමරත්න මහතාටත් ස්තුතිවන්ත වෙන්න ඕන.

ධර්මපාලතුමා මෙරට සිංහල බෞද්ධ ගැමියන්ගේ හදවත්වල ජීවත්වුවත් එතුමා සිංහල බෞද්ධ උගතුන් අතර සම්භාවනාවට පාත්‍ර වූයේ ගුණදාස අමරසේකර මහතාගේ අබුද්දස්ස යුගයක්, අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද ආදී කෘතිවලින් පස්සෙ. මා ගුණදාස අමරසේකර මහතා දකින්නේ මහාවංසයේ ධර්මපාල පරිච්ඡෙදය ලියූ ප්‍රාඥයා ලෙසයි. ඕල්කට්තුමා බුදුදහම හා බුදුසසුන දෙස බැලුවේ රෙපරමාදු ක්‍රිස්තියානි සම්භවයක් ඇති පරම විඥානාර්ථවාදිියකු ලෙස. එතුමාට සිංහල පැත්තක් තිබුණේ නැහැ. එතුමා සිංහල බෞද්ධකමේ සිංහල කොටස හළලා බෞද්ධ කොටස පමණක් ගත්තා. එයත් ගත්තෙ පරම විඥානාර්ථවාදියකු ලෙස. අවාසනාවකට එතුමා අනුගමනය කරන සිංහලකම නැති බෞද්ධයන් මෙරට සිටිනවා. මා ඔවුන්ට කියන්නේ ඕල්කට් බෞද්ධයන් කියා. එය ඕල්කට්තුමාගේ මූලිකත්වයෙන් බිහි කරන ලද පාසල්වල ආදි ශිෂ්‍යයන් වෙනුවෙන් යොදන සංකල්පයක් නම් නොවෙයි.

ධර්මපාලතුමාට සිංහලකම තිබුණා. ඒක එතුමාගේ සංස්කෘතියෙ ලක්‍ෂණයක්. සිංහලකම හා බෞද්ධකම ගහට පොත්ත වගේ බැඳිලා. ඒක කෙළේ ගැමුණු කුමාරයා. අපේ අසහාය වීරයා. ලෝකයේ ඉපැරණිම රාජ්‍ය දෙක වගේම ජාති දෙකත් චීන හා සිංහල ජාතීන්. ඒත් චීනයට නැති දෙයක් අපට තියෙනවා. ඒ රට දැය සමය, රට ජාතිය ආගම. මේ කාරණය මා දන්නා තරමින් මුලින් ම ප්‍රකාශ කළේ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ. මා ඉපැරණි ජාති දෙකේ කතාව කියද්දි උන්වහන්සේ මතක් කෙළේ චීනයට ඇත්තේ රට ජාතිය පමණයි, අපට රට ජාතිය ආගම තියෙන බව. රට ජාතිය ආගම අපට ගැමුණු රජ්ජුරුවන්ගෙ දවසෙ ඉඳලා එනවා. ඒක යුරෝපීයයන් ඊනියා ජාතික රාජ්‍ය බිහිකිරීමට අවුරුදු දහස් ගණනකට පෙර සිට එන දෙයක්.

ගැමුණු රජ්ජුරුවන්ගෙ දවසෙ ඉඳලා 1815 තෙක් මෙරට තිබුණෙ සිංහල බෞද්ධ රාජ්‍යයක්. ධර්මපාලතුමාට ඕන වුනේ ඒ සිංහල බෞද්ධ රාජ්‍යය නැවත ඇතිකිරීම. එතුමා හා ඕල්කට්තුමා අතර මතභේද තිබුණා. ඕල්කට්තුමා වැරදි සංකල්පයක් වූ බෞද්ධ පරම විඥානාර්ථවාදයක් පදනම් කරගෙන පාසල් පිහිටුවද්දි සරසවි සඳරැස පුවත්පත ප්‍රකාශ කරද්දි ධර්මපාලතුමා සිංහල බෞද්ධයා පුවත්පත පටන්ගත්තා. ඒ පුවත්පත් දෙක අතර වූ මතගැටුම කාගෙ හරි අධ්‍යයනයකට යොමු වෙනවා නම් හොඳයි. ධර්මපාලතුමාට සිංහල බෞද්ධ රාජ්‍යය ඇතිකිරීමට මෙරට ඕල්කට් බෞද්ධයන් උපකාර කෙළේ නැහැ. ඔවුන් බොහෝ දෙනකු ඇංග්ලිකන් ක්‍රිස්තියානි සම්ප්‍රදායෙ සිලෝන් නැෂනල් කොංග්‍රස් සංවිධානයෙ හිරවෙලා ඊනියා නිදහසක් වෙනුවෙන් එංගලන්තෙට පෙත්සම් යැවුවා.

අදත් මේ රටේ ප්‍රශ්නය සිංහල බෞද්ධ රාජ්‍යයක් වෙනුවට ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යයක් තිබීම. මේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යයට දැන් අවුරුදු දෙසීයක්. ධර්පාලතුමා ඉපදෙන විට එයට අවුරුදු පනහක් පමණයි. අද මේක ඇට්ටකුණා වෙලා. අපේ අධ්‍යාපනය, සංහිඳියාව, මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණ සමාජය, බටහිර විද්‍යාවෙ ඊනියා ඇත්ත වගේ කසිකබල් සංකල්ප ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යයක ප්‍රතිඵල. සිංහල බෞද්ධ රාජ්‍යයක මේ සියල්ලෙහි පුහුබව, එය කුදුබවක්වත් නොව පුහුබවකි, වැටහෙනවා. අද සමහරුන් ධර්මපාලතුමා ද්‍රෝහියකු ලෙස හඳුන්වන්නත් උත්සාහ ගන්නවා. ඒ සිංහල ජාතිකවාදීන් සමග ම සිටින පිරිසක්. අප ඔවුන්ගෙන් පරෙස්සම් වෙන්න ඕන. ඔවුන් මහාවංසයත් විවේචනය කරනවා. ඒත් ඒකට බයයි. ඒ නිසා ගයිගර්ගෙ පරිවර්තනය වැරදි කියලා කියනවා. මහාවංසයෙ අඩුපාඩු තියෙනවා. එහි යක්‍ෂ ජනතාව නොසළකා හැර තිබෙනවා. අප මේ අඩුපාඩු හදාගත යුතුයි. අපට ඒ කරන්න හැකියි. ගැමුණු රජු හා මහාවංසය නැතිව අපට ඉදිරිගමනක් නැහැ. අද දවසෙ ධර්මපාලතුමා නැතිවත් ඉදිරිගමනක් නැහැ. ඒ සියල්ල සමග සිංහල බෞද්ධ රාජ්‍යය නැවත පිහිටුවීමට ඉදිරියට යමු. අපට ඒ කළ හැකියි.         



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 17