බෑන් කි මූන් පුපුරයි
බෑන් කි මූන් සැප්තැම්බර් පළමුවැනි දා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී බිග් බෑන් එකක් නැත්නම් මහා පිපුරුමක් කරලා. ඔහු 1994 දී රුවන්ඩාවේ හා 1995 දී සර්බියාවේ සිදු වී යැයි කියන සමූලඝාතන සමග ලංකාවේ 2009 හමුදා මෙහෙයුම් සන්සන්දනය කරලා. ඒ පිළිබඳ විස්තරයක් සැප්තැම්බර් හත්වැනි දා දි අයිලන්ඩ් පුවත්පතෙන් කියවිය හැකියි. නැහැ නැහැ මා කියන්නේ අර ඊනියා පශ්චාත්නූතනවාදීන්ගේ පඬි කියැවීමක් ගැන නොවෙයි. ඒ කියැවීමත් මේ කියැවීමත් ඔක්කොම සාපේක්‍ෂයි. කවුරුත් කියවන්නෙ ඒ කියවන වෙලාවෙ තමන්ට සාපේක්‍ෂව. අවුරුදු පනහකට ඉස්සර මා කියවූ පොතක් අද කියවන විට වෙනස් කතාවක් කියවන්න පුළුවන්. ඕකට පඬි කියවීමක් කියලා කියන්න ඕන නැහැ. ඔය ඊනියා පශ්චාත්නූතනවාදීන්ගේ සෑම සංකල්පයක් ම ඔය වගේ පඬි කතා පමණයි.
බෑන් කි මූන් කියා ඇත්තෙ මොකක් ද කියන එක පත්තරෙන් ම බලාගන්න. ඔහු ඉතා පැහැදිලිව කියනවා 1994 දි රුවන්ඩාවෙ සමූලඝාතනයක් සිදුවුනු වෙලාවෙ එක්සත් ජාතීන්ගෙ සංවිධානය මුකුත් කෙළේ නැහැ. එවැනි සමූලඝාතන නැවත සිදුනොවේවා යැයි කීම පමණයි ඔවුන් කෙළේ කියලා. ඊළඟට 1995 දී සර්බියාවෙ එහෙම සමූලඝාතනයක් සිදු වුනාම එතෙනදිත් එක්සත් ජාතීන්ගෙ සංවිධානය අර විධියට ම නැවත සිදු නොවේවා යැයි කී බව පමණක් ඔහු සඳහන් කරනවා. පසුව ලංකාවෙදිත් එක්සත් ජාතීන්ගෙ සංවිධානය එලෙස කී බව ඔහු මතක් කරනවා.
මෙයින් පැහැදිලි වෙන්නෙ බෑන් කි මූන්ට අනුව ලංකාවෙත් සමූලඝාතනයක් සිදු වී ඇති බවයි. ඒත් මහින්ද සමරසිංහ ඇමතිට අනුව බෑන් කි මූන් ලංකාව රුවන්ඩාව හා සර්බියාව සමග සංසන්දනය කරලා නැහැ. ඒත් එක්සත් ජාතීන්ගෙ සංවිධානයෙ නියෝජිතයකු කියා තිබෙන්නෙ බෑන් කි මූන් එසේ කී බව, එනම් ලංකාව අර රටවල් සමග සංසන්දනය කළ බවයි. සමරසිංහ ඇමතිලා අපට කොළේ වහන්න හදනවා. ඒත් ඔවුන්ගෙ කොළේ ඉරිලා. මේ ආණ්ඩුව තරම් දීන බටහිර ගැති ආණ්ඩුවක් ඩී එස් සේනානායකගෙ කාලෙවත් ජේ ආර් ජයවර්ධනගෙ කාලෙවත් තිබිලා නැහැ.
මේ ආණ්ඩුව බටහිර ගැතිවීමට අමතරව ඉන්දීය ගැතිත් වෙනවා. ඒකට හේතුව අද වන විට ඉන්දියාව බටහිර ඒජන්තයකු පමණක් බවට පත්ව තිබීම. චීනයට එරෙහිව ඉන්්දියාව බටහිර රටවල් සමග ගිවිසුම් අත්සන් කරගෙන. මේ ළඟදි ඉන්දියාවයි එක්සත් රාජ්‍යයි තම තමන්ගෙ පදනම් කඳවුරු යොදාගැනීමට එකඟ වෙලා. ඩී එස් සේනානායක ත්‍රිකුණාමලය හා කටුනායක කඳවුරු අපට නිදහස ලැබුණට පස්සෙත් ඉංගිරිසින්ට ම භාර දුන්න. ඒ ඉන්දියාවට එරෙහිව. අද තත්වය සම්පුර්ණයෙන් ම වෙනස්. 1987 දි ඉන්දියාව අපට පරිප්පු හෙළුවෙත් ඊනියා සාම සාධක හමුදාවක් එව්වෙත් බටහිරයන්ගෙ අනුග්‍රහයෙන්.
අද මහින්ද රාජපක්‍ෂට වැඩ දෙකක් තියෙනවා. එකක් රට තුළ ප්‍රබල ජාතික සංවිධානයක්, ජාතික බලවේගයක් ගොඩ නැගීම. එය දේශපාලන පක්‍ෂයකට වඩා වෙනස් වෙන්න ඕන. එහි අරමුණ අවසානයේ දී බටහිර ක්‍රමය අනුව පිහිටුවා ඇති දේශපාලන පක්‍ෂ ජාතිකත්වය යටතට ගැනීම. දෙවනුව ඔහුට බටහිරට ගැති නොවන රටවල ප්‍රබල සංවිධානයක් හදන්න මුල් වෙන්න පුළුවන්. අද අර්ථයෙන් නොබැඳි රටවල් කියන්නෙ බටහිරට ගැති නොවන රටවල්. ඉන්දියාව එවැනි සංවිධානයක ඉන්න බැහැ. මෛත්‍රිපාලෙැග නඩය කුරුණෑගලදි නොබැඳි කියන එක තමන්ගෙ යෝජනාවලින් ඉවත් කරගෙන තියෙන්නෙ ඔවුන් අද බටහිරට ගැති හින්ද. මෛත්‍රිපාලට තමන්ගෙ ජනාධිපතිකම රැකගන්න බටහිරට ගැති නොවී බැහැ. පියා බටහිර හමුදා වෙනුවෙන් සේවය කරළා. පුතා ඒ දේ නොකළොත් අර කාගෙ ද පුතා වෙනවලු.
බෑන් කි මූන්ගෙ කතාවෙන් පැහැදිලි වෙන්නෙ බටහිරයන් ලංකාවෙ සමූලඝාතනයක් සිු වූ බව පිළිගන්න බවත් ඔවුන්ට එක්සත් ජාතීන්ගෙ සංවිධානය මගින් අනෙක් රටවල ස්වෛරීභාවය නැතිකරලා ලෝකය පාලනය කරන්න අවශ්‍ය බවත්. මහින්ද සමරසිංහට ඔය ටික කියන්න බැරි ඔහුගෙ ඇමතිකම රැකගන්න ඕන නිසා. ඒ අතර කරුණාරත්න පරණවිතාන කියලා තිබුණා ආණ්ඩුව බෑන් කි මූන්ගෙ ප්‍රකාශය ගැන එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසන්නෙ නැත කියා. පරණවිතාන දැන් අර ඉස්සර කොළඹ විශ්වවිද්‍යලෙ හිටිය කාලෙ වගේ නොවෙයි. බොහෝ ඇසු පිරු තැනැත්තෙක්. ඔහු තානාපති සම්බන්ධකම් පවත්වන ආකාරය ගැනත් අපට කියලා දෙනවා. ඔහුත් දැන් ඊනියා කියැවීම් හරහා හිතනවා ඇති අපත් මෝඩයන් කියා. අප මෝඩයන් වෙන්න පුළුවන්. ඒත් අපේ මෝඩකමට අප දන්න කාරණය තමයි පරණවිතානට තියා මෛත්‍රිපාලටවත් බෑන් කි මූන්ගෙන් ප්‍රශ්න කරන්න බැරි බව. ඒ නිසා මූන්ගෙ කතාව ඔහුගෙ පෞද්ගලික මතය වගේ අනන් මනන් කියන්න පරණවිතානලට සිද්ධ වෙනවා.
මේ හැම ජෙනීවා කතාවක් ම එක්සත් ජාතීන්ගේ සංවිධාන කතාවක් ම පිටිපස්සෙ තියෙන්න එක කතාවක් පමණයි. එනම් කොටි බටහිරයන්ගෙ හා ඉන්දියාවෙ අනුග්‍රහයෙන් පිහිටුවපු සංවිධානයක් බවත් එය දෙමළ ජාතිවාදයෙ ත්‍රස්තවාදී හස්තය බවත් දෙමළ ජාතිවාදය සිංහල බෞද්ධයන්ට විරුද්ධව ලන්දේසීන් හා ඉංගිරිසින් ඇති කළ එකක් බවත් බටහිරයන්ගෙ කීමට කන් නොදී කොටි පැරදවීම ගැන මහින්දට ගෝඨාභයට හා රණවිරුවන්ට දඬුවම් කිරීමට බටහිරයන්ට අවශ්‍ය බවත්. මේ පළිගැනීම කොතරම් දුර දිග ගිහිල්ල ද කියනව නම් කෙතරම් පහත් මට්ටමකට ගිහින් තිබෙනවද කියනවා නම් නන්දිකඩාල්හි දීි ප්‍රභාකරන් ඝතනය කල පනස්තුන්වැනි බලකායේ අණදෙන නිලධාරි මේජර් ජෙනරල් කමල් ගුණරත්නට සේවා දිගුවක් දීමට පවා ආණ්ඩුව ප්‍රතික්‍ෂෙප කරලා. ඒ මහතා නන්දිකඩාල් ජයග්‍රහණය ගැන ලියු පොතක් පසුගිය දා එළි දැක්වුවා. එතැන පොඩි අඩුවක් වූ බවත් කියන්න ඕන. අපට ප්‍රභාකරන් පරාජය කරන්න බැහැ කියපු රොහාන් ගුණරත්නත් දයාන් ජයතිලකත් එතැන ආරාධිතයන්. මට නම් ආරාධනයක් තිබුණෙ නැහැ. මට දැන් ජාතික ව්‍යාපාරයෙන් ආරාධනා ලැබෙන්නෙත් නැහැ.
බටහිරයන් පැහැදිලිවම තීරණයකට එළඹිලා තියෙන්නෙ මෙරට මානුෂික මෙහෙයුම්වල දී සමූලඝාතනයක් වෙලා තියෙනවා කියලා. බෑන් කි මූන් කියන්නෙ ඒකයි. එහෙම නම් ජෙනීවා යෝජනා අනුව ඔවුන් පිහිටුවන්න යන ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණවලින් ලැබෙන නිගමනය මොකක් ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ. නිගමනවලට තීූනවලට පැමිණිලා පරීක්‍ෂණ පවත්වන්නෙ අහවල් දේකට ද? මෛත්‍රිපාලට මේ පරීක්‍ෂණ නවත්වන්න බැහැ. අද ලංකාවෙ බටහිරයන්ගෙ ප්‍රධාන දෙමළ නියෝජිතයා විග්නේස්වරන්. ඔහුත් සමූලඝාතන ගැන කියවනවා. අප ජෙනීවා යෝජනා අනුව කටයුතු කරන්න ඕන නැහැ. අපට අපේ ස්වෛරිභාවය තබාගත හැකියි. ඒත් මේ දින ආණ්ඩුව, ඕනැම ගොනකුට යුද්ධ කරන්න පුළුවන්, තොප්පිගල කැලැවක් පමණයි, අලිමංකඩ යනවා වෙනුවට පාමංකඩ යනවයි කී පුද්ගලයන්ගෙන් සමන්විත ආණ්ඩුව, ජෙනීචාහි දී ගෙන ආ යෝජනාවට අනුග්‍රහය දීලා පාර්ශ්ව කරවෛක් වෙලා. ඕනැම ගොනකුට ඇමතිකමක් කරන්න පුළුවන් වුනත් රටේ ස්වෛරිභාවය පාවා දෙන ආණ්ඩුවක් තව දුරටත් පවත්වාගෙන යෑමට අයිතියක් තියෙනවද කියලා පරණවිතාන හරි මෛත්‍රිපාල හරි අප වැනි මෝඩයන්ට කියලා දෙනවා ද?
මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/
නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 08