Main Logo

Wednesday 28 September 2016

විග්නේස්වරන්ගේ දේශපාලනය

විග්නේස්වරන්ගේ දේශපාලනය

විග්නේස්වරන් කියන විධියට සිංහල මිනිසුන් උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි ව සිට නැහැ. ඔහුට අනුව අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ එහි පදිංචි ව සිට ඇත්තේ දෙමළ ජනයා යි. ඔහු දෙමළ ජනයාට නැගිටිව් කියා කියනවා. පැහැදිලිව ම ඒ සිංහලයන්ට විරුද්ධවයි. පෘතුගීසීන් මෙරටට පැමිණෙන විටත් යාපනයේ බහුතරය සිංහලයන් ය කියා ලියා ඇත්තේ සිංහලයකු නොව පෘතුගීසි පූජකවරයකු හා ඉතිහාසඥයකු වූ ක්වේරෝස් පියතුමා. වත්මන් නැගෙනහිර පළාතේ එකල සිටි සිංහලයන් 1817-18 නිදහස් සටනේ දී ඉංගිරිසින්ට විරුද්ධව නැගී සිටියා. එකල එහි දෙමළ ජනයා සිටි බවක් කොහේවත් සඳහන් වන්නේ නැහැ. විග්නේස්වරන් කියන්නේ දෙමළ ජනයා එහි සිටි නමුත් ඔවුන් ඉංගිරිසින්ට පක්‍ෂ වූ බව ද? පෘතුගීසීන්ගේ තාඩන පීඩනවලට ලක් වූ මුස්ලිම් ජනයා වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි කරනු ලැබුවේ සෙනරත් රජු විසින්. ඉංගිරිසින් 1817 -– 18 නිදහස් සටනෙන් පසුව සිංහලයන් සමූලඝාතනය කර ඒ පෙදෙස්වල දකුණු ඉන්දියාවෙන් ගෙනා දෙමළ කම්කරුවන් පදිංචි කෙරුවා. උතුරේ වෙල්ලාලයන් අදටත් නැගෙනහිර පළාතේ දෙමළ ජනයාට සලකන්නේ නැහැ. ඒ තබා උතුරු පළාතේ වෙල්ලාල නොවන දෙමළ ජනයාට සලකන්නේත් නැහැ. මේ උතුරු පළාතේ වෙල්ලාල නොවන දෙමළ ජනයා සිංහලයන්ගෙන් පැවත එන්නන්. ඔවුන් දෙමළ සමාජයට අවශෝෂණය කෙරුණේ ඊනියා පහත් කුලවලට අයත් වූවන් ලෙස. 

විග්නේස්වරන් පැහැදිලිව ම දෙමළ ජාතිවාදියෙක්. ඔහු සිංහලයන්ට විරුද්ධව දෙමළ ජනයා කුපිත කරනවා. ඔහු හා සම්බන්ධන් අතර දෙමළ ජනයාගේ නායකත්වයට පත්වීමට තරගයක් පවතිනවා. ඒ් තරගයේ දී විග්නේස්වරන් පිටුපස විසුරුණු දෙමළ ජනයාත් ඔවුන් පිටුපස එංගලන්තයත් සිටිනවා. සම්බන්ධන් පිටුපස ඉන්දියාව සිටිනවා. විග්නේස්වරන්ගේ සිංහල විරෝධී දෙමළ ජාතිවාදී ප්‍රකාශ ගැන ජනාධිපති හා අගමැති නිහඬයි. ඒ ගැන අජිත් පෙරේරා හරි රන්ජන් රාමනායක හරි කියන කතාවලින් වැඩක් නැහැ. විග්නේස්වරන් කරන්නේ ඊනියා සංහිඳියාවට එරෙහිව යන ප්‍රකාශන ද?. අගමැති ඒ ගැන විශේෂ ප්‍රකාශයක් කළ යුතුයි. ජනාධිපති කරන ප්‍රකාශවල ශක්තියක් නැහැ. ආණ්ඩුවේ නායකයා අගමැති රනිල්.

ඒ අතර ආණ්ඩුවේ විවිධ ප්‍රකාශකයන් විග්නේස්වරන් ගැන විවිධ ප්‍රකාශ කරනවා. ඇතැමුන් කියන්නේ මේ විග්නේස්වරන් වාසුදේව මස්සිනා සමග කෝපි බොමින් කරන ප්‍රකාශ කියායි. තවත් අය කියන්නේ ඒකාබද්ධ විපක්‍ෂය සමග විග්නේස්වරන් ගණුදෙනු දේශපාලනයක් කරන බවත් විග්නේස්වරන්ගේ ප්‍රකාශ ඒකාබද්ධ විපක්‍ෂයට ආධාර ලෙස කරන ඒවා බවත්. ආණ්ඩුව එසේ නම් විග්නේස්වරන්ගේ ජාතිවාදී ප්‍රකාශ නතර කිරීමට කටයුතු කළ යුතුයි. ආණ්ඩුව එසේ කරන්නේ නැත්තේ ආණ්ඩුවත් ඒකාබද්ධ විපක්‍ෂයට ආධාර කරන බැවින් ද?

මේ අතර විග්නේස්වරන්ට අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය ගැනත් දොඩවන අය සිටිනවා.  ඕනෑම අයකුට ඕනැම අදහසක් ප්‍රකාශ කිරීමේ අයිතියක් ඇත්තේ කොහේ ද?  ඕනෑම අයකුට ප්‍රසිද්ධියේ, පාර්ලිමේන්තුවේ හැර, කුණුහරුප කිව හැකි ද? අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට උඩින් රට ආරක්‍ෂා කිරීම, ඒකීය රාජ්‍යය රැකගැනීම ආදිය පවතිනවා. විග්නේස්වරන් මහා ඇමතිවරයෙක්. ඔහු රටේ ව්‍යවස්ථාව රැකීමට බැඳී සිටිනවා. ඒ මදිවාට ඔහු හිටපු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකාරයෙක්. ඔහු නීතිය ගැන දැන සිටිය යුතුයි. ඔහුට රටේ ඒකීයභාවයට විරුද්ධ හෝ ජනයා කුපිත කරන හෝ ප්‍රකාශ කළ නොහැකියි. ඊනියා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සීමාකම් තිබෙන බව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් දන්නේ නැද්ද?

තවත් ඇමතිවරයකු කියා තිබුණා විග්නේස්වරන් හිස් කෝප්පයක් වැනිය කියා. හිස් බෙලෙක්ක ගැන අප මැතිවරණ කොමිසම පැත්තෙන් නම් අසා තිබෙනවා. විග්නේස්වරන් හිස් මිනිසකු නොවෙයි. ඔහු හිස් කියා ආණ්ඩුව ගැලවෙන්න හදනවා. සිංහලයකු සිංහලයන් නැගිටිව් කියා කීවා නම් ඇමතිවරුන්ගේ හිස් කතා අහන්න ලැබෙන්නේ නැහැ. පැහැදිලිව ම මේ රටේ නීතිය සියල්ලන්ට එක විධියට ක්‍රියාත්මක වන්නේ නැහැ. දෙමළ ජනයාට නීතියක් ක්‍රියාත්මක වන්නේ නැති තරම්. චන්ද්‍රිකා විග්නේස්වරන් ගැන මෙතෙක් කිසිවක් කියා නැහැ. ඒ වෙනුවට ඇය සිංහලයන්ට බැන වදිනවා ඔවුන් දෙමළ මුස්ලිම් නායකයන්ට උපහාර දක්වන්නේ නැත කියමින්. සිංහලයන් දෙමළ ජාතිවාදී රාමනාදන්ලා අරුණාශලම්ලා සමරණ බව ඇය නො දන්නේ ද? ඇයට සිංහල බෞද්ධයන් කෙරෙහි නොමියෙන වෛරයක් තිබෙනවා. ඇය තමා සිංහලයකු වීම ගැන ලජ්ජා වන්නේ යැයි කී අයකුගේ මෑණියන්.

විග්නේස්වරන් කරන ප්‍රකාශ දෙමළ ජාතික සංධානයේ ප්‍රතිපත්තිවලට එකඟ ද? නැත්නම් ඔහුට විරුද්ධව සම්බන්ධන්ලා පියවර ගන්නේ ද? ඒ පක්‍ෂයට විනයක් නැද්ද? ප්‍රභාකරන්ට සහාය දුන් සම්බන්ධන්ලාගෙන් විනයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

විග්නේස්වරන් ගැන මෙරට පඬියන් ඊනියා, මානව හිතවාදීන්, ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල ඇම්බැට්ටයන් කිසිවක් කියන්නේ නැහැ. ඔවුන්ගේ ඊනියා සංහිඳියාවට විග්නේස්වරන් තර්ජනයක් ද නැද්ද කියලවත් කියන්නේ නැහැ. විග්නේස්වරන් ගැන කියනවාට ඔවුන්ට ගතමනාවක් නොලැබෙන පාටයි.




මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 28