Main Logo

Friday 23 September 2016

සරල රේඛාවක් කියන්නෙ කුමක් ද

සරල රේඛාවක් කියන්නෙ කුමක් ද

මුහුණු පොතේ ප්‍රතිචාරවලට පිළිතුරු දීමට මට පුළුවන්. ඔවුන්ගේ ප්‍රතිචාරවල ඇති අතාර්කිකබව, නොදැනුවත්කම  බොරු පඬිබව පෙන්වාදීමට හැකියි. ඒත් මේ ප්‍රතිචාරවලට පිළිතුරු දීමට ගියොත් මට වෙන කිසිවක් ලියන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. මේ කතාවලට පිළිතුරු දීම චින්තන පර්ෂදයේ සිටි හා සිටින අයට පැවරෙනවා. ඒත් ඔවුන් එය කරන බවක් පෙනෙන්නේ නැහැ. එය තරමක් කණගාටුවට කරුණක්.
පුවත්පත්වල ඇති වූ වාදවල දී මා පිළිතුරු දී තිබෙනවා. එහි දී කතුවරයාගේ කතුරට ඇතැම් දේ කැපෙනෙවා. කතුවරු තමන්ට අවශ්‍ය තැනක දී විවාදය නවත්වනවා. මැතක දී මේ සම්බන්ධ හොඳම උදාහරණය විදුසර කතුවරයා අශෝක අමරතුංග සමග පැවැත්වූ වාදය නැවැත්වීමට ගත් පියවර. මෙරට තර්ක කිරීමට නොදන්නේ තරුණයන් පමණක් නොවෙයි. ඊනියා මහාචාර්යවරුන්, විදග්ධ ජනමාධ්‍යකරුවන් ලෙස පෙනී සිටින්නන් ද තර්ක කරන්නේ අවුල් මනසකින් හා අසම්පුර්ණ දැනුමක් සහිතව. කිසිවකුට සම්පුර්ණ දැනුමක් ලබාගන්න බැහැ. මෙජි දී මා අසම්පූර්ණ දැනුමක් යන්නෙන් අදහස් කරන්නේ තමන් කියන දේ පිළිබඳවවත් වැටහීමක් නැති බව.

මට මෙහි දී ඉතා ඈත කාලයක වික්ටර් අයිවන් සමග ජාතික රූපවාහිනියේ පැවැත්වූ වාදයක් මතක් වෙනවා. අයිවන් පෙනී සිටින්නේ ප්‍රබුද්ධ විද්වත් මාධ්‍යකරුවකු ලෙස. ඒ විවාදය සංවිධානය කරලා තිබුණෙ චන්ද්‍රිකාගෙ ගෝල බාලයො. චෞර රැජින ගැන පොතක් ලියුවත් වික්ටර් අයිවන් ද ඒ දවස්වල චන්ද්‍රිකාගේ අනුගාමියෙක්. සමහරවිට ඔහු ඇයගේ උපදේශක කියලා හිතන්නත් ඇති. වෙනත් විධියකටත් හිතුව ද කියලා මා දන්නෙ නැහැ. චන්ද්‍රිකා එංගලන්තෙට වෙලා ඉන්න කාලෙ ශ්‍රී ල නි පක්‍ෂෙ ගමන් මග වෙනස්කරල පැකේජ් දෙන්න චන්ද්‍රිකාව ගෙන්න ගත්ත අය අතරෙ අයිවනුත් ඉන්නවා. ඒ වාදය පැවැත්වෙන අතරෙ අද ඒකාබද්ධ විපක්‍ෂෙ ඉන්න එදා රුපවාහිනියෙ සේවය කළ අයත් අයිවන් දිනනවා බලන්න ඇවිල්ල හිටියා.

අයිවන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ගැන පඬි කතා කිය කිය හිටියා. ඔහු ප්‍රමිතිකරණය මහත් බරක් දමමින්, ඔහුගෙ වචනවලින් නම් බරපතළ විධියට, නිතර සඳහන් කළා. මා ඔහුගෙන් ඇහුවා ප්‍රමිතිකරණය කියන්නෙ මොකක් ද කියලා. මේ විද්වතා ඒක දැනගෙන හිටිය නැහැ! මේ කිසිවකු තවමත් අපට කියා නැහැ දෙමළ ජනයාගෙ විසඳන්න තියෙන ප්‍රශ්නෙ මොකක් ද කියලා. ඒත් හැම දෙනාම සංහිඳියාවක් ගැන කතාකරනවා. ජාතිය ගොඩනගන්න හදනවා. ජාතිය කියන්නෙ මොකක් ද ජාතිවාදය කියන්නෙ මොකක් ද කියලා ඇහුවොත් උත්තර නැහැ. ඒත් ජාතිය ගොඩනගනවා.

සාමාන්‍යයෙන් රූපවාහිනි විවාදවලදි පැහැදිලි ව තර්ක කරන්නෙ නැහැ. අහන ප්‍රශ්නයකට පිළිතුරක් ලැබෙන්නෙ නැහැ. මෙහෙයවන තැනැත්තාට බොහෝ විට අදාළ මාතෘකාව ගැන දැනුමක් නැහැ. ඒ අය සූදානම් ව මෙහෙයවන බවක් පෙනෙන්නට නැහැ. මේ විවාදවලට සවන් දීමෙන්, නැරඹීමෙන් කී දෙනකු තම අදහස් වෙනස් කරගෙන තිබෙනවා ද? මා මේ ආණ්ඩුවට පක්‍ෂ නැහැ. ඒත් සයිටම් හෙවත් මාලබේ වෛද්‍ය විද්‍යාලය හා මාරුවීම් ලබන වෛද්‍යවරුන්ගෙ දරුවන් පාසල්වලට ඇතුල්කිරීම ගැන ආණ්ඩුව ගෙනෙන තර්කවලට ඒකාබද්ධ විපක්‍ෂෙටවත් වෛද්‍යවරුන්ගෙ සංගමයටවත් උත්තර නැහැ. සයිටම් ආරම්භ කළෙ පහුගිය ආණ්ඩුව කාලෙ. ඒක මාලබේට පක්‍ෂ වෙන්න හරි විරුද්ධ වෙන්න හරි යොදාගන්න පුළුවන් තර්කයක් නොවෙයි. ඒ වුනත් මාලබේ ආරම්භ කෙළේ මොකද කියලා ඇහුවෙත් ඒකාබද්ධ විපක්‍ෂෙ දෙන පිළිතුර මොකක් ද? විවාදවලදි ප්‍රශ්න වෙනත් අතකට යොමුවෙනවා. අකිල කාරියවසම් පාර්ලිමේන්තුවෙ ඇතැම් සිසුන්ගෙ නම් කිවුව නම් ඒක වැරදියි. ඒත් මූලික ප්‍රශ්නය ඒක නොවෙයි.

අප මූලික ප්‍රශ්නයට සංකල්පවලට යොමු වෙන්නෙ නැහැ. හැම ප්‍රශ්නයක් ම මැද්දෙන් අල්ලගෙන කෑ ගහනවා. අපට සංකල්ප ගැන යම් තරමක වුවත් නිරවුල් හැඟීමක්, වැටහීමක් තියෙනවා ද? මා පොඩි උදාහරණයක් දෙන්නම්. උදාහරණ දෙන්න වෙන්නෙත් අපට වියුක්ත ව හිතන්න බැරි හින්ද.  සරල රේඛාවක් කියන්නෙ මොකක් ද? සාමාන්‍ය පෙළට ගණිතය හදාරා ඇති (කසිකබල් නිවේදකයන් කියන විධියට අධ්‍යාපනය හදාරා නොවෙයි.) අයගේ සිට ගණිතය පිළිබඳ පශ්චාත් උපාධි ලබාගත් අයගෙන් මේ ප්‍රශ්නය අසන්න.

එක එක අය එක එක උත්තර දේවි. ඒත් බොහෝ දෙනා සරල රේඛා කියලා හිතන් ඉන්නෙ ඝනකමක් ඇති රේඛා ඛණ්ඩවලට. ගුරුවරු බොහෝ වෙලාවට AB සරල රේඛාව කියලා කියනවා. මේ සරල රේඛාව කියන එකේ දෙපැත්තෙ අර අකුරු දෙකත් ලියනවා. ළමයි හිතන්නෙ ඒක සරල රේඛාවක් කියලා. ඒ වුනත් ඒක රේඛා ඛණ්ඩයක් පමණයි.  සරල රේඛාවකට ඝනකමක් හරි පළලක් හරි නැහැ. දිගක් පමණයි තියෙන්නෙ. ඒත් ඒ දිග අනන්තයි. සීමිත පරිමිත දිගක් නැහැ. සරල රේඛාවක් කිසි දිනෙක හිතෙන් මවාගන්න බැහැ. එය වියුක්ත සංකල්පයක්. අනන්තය ගැන යම් විධියකට හරි සිතෙන් දැනගෙන හිටියෙ රාමනුජන් විතරයි කියලා කියන්න පුළුවන්. ඔහු ගණිතඥයෙක් නොවෙයි. ඔහු අනන්තය ගැන කතා කෙළේ දේවතාවියකගෙ ආධාරයෙන්!  රාමනුජන් ගණිදඥයකු නොවෙයි කිවුවම ඇතැමුනට කේන්ති යන්න පුළුවන් බව මා දන්නවා.

ත්‍රිකෝණයක් හරි වෙනත් සංවෘත (වැසුණු) ජ්‍යාමිතික වස්තුවක් නිර්මාණය වන්නෙ සරල රේඛාවලින් නොවෙයි. සරල රේඛා ඛණ්ඩවලින්. සෙන්ටි මීටර දහයක් දිග සරල රේඛාවක් වගේ ව්‍යවහාර වැරදියි. සෙන්ටි මීටර් දහයක් දිග රේඛා ඛණ්ඩයක් කියලා කියන්න ඕන. අනෙක් රටවල සියළු දෙනාට සංකල්ප ගැන නිරවුල් අවබෝධයක් තියෙනවයි කියලා මා කියන්නෙ නැහැ. ඒත් ඒ රටවල කිහිප දෙනකු හරි ඉන්නවා සංකල්ප අවුල් කරගන්නෙ නැති. මේ රටේ ඉන්න ගණිතඥයන් විද්‍යාඥයන් කියන අයට එහෙම නිරවුල් වැටහීමක් නැහැ. ඒ අපේ සංස්කෘතිය.  

 

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 23