සිංහල බෞද්ධ හැඟීම
සභ්‍යත්ව ගැටුම හෙවත් ක්ලෑෂ් ඔෆ් සිවිලිසේෂන්ස් යන පොත ලියූ සැමුවෙල් හන්ටින්ග්ටන් හොඳ කතාවක් කියා තිබෙනවා. ඔහු මේ පොත ලියුවේ ෆූකුයාමා ලා ඉතිහාසයේ අවසානය නැත්නම් එන්ඩ් ඔෆ් හිස්ටරි වැනි පොත් ලියූ කාලයක. බර්ලින් තාප්පය වැටී මාක්ස්වාදී රාජ්‍යය ලොවේ නැතිවන විට ඇතැම් බටහිර උගතුන් සිතුවේ බටහිර ක්‍රමය තර්ජනයක් නැතිව ලෝකයේ දිගින් දිගට ම පවතීය කියා ය. ඉතිහාසය අවසන් වී ඇත වැනි හැඟීමක් ඔවුන් අතර වූවා. හන්ටින්ග්ටන් පෙන්වා සිටියේ ඒ එසේ නොවන බවත් සභ්‍යත්ව අතර ගැටුම් හටගැනෙන බවත්.
ඔහුට අමතක වූ කරුණ නම් ලෝකයේ හැමදාමත් පැවතියේ සංස්කෘතික ගැටුම් බවත් සංස්කෘතීන් දෙකක් හමුවීමෙහි දී ඇතැම් විට එක් සංස්කෘතියක් අනෙක් සංස්කෘතියට අවශෝෂණය වීම, යම් සම්මිශ්‍රණයක් ඇති වීම, යටත්වීම, වෙන් ව පැවතීම වැනි දේ සිදුවන බවත්. අවශෝෂණය, සම්මිශ්‍රණය යටත්වීම ආදිය සිදු නොවන අවස්ථාවල දී ගැටුම් ඇතිවීම අනිවාර්යයි. විවාහයක් වුනත් එක් අතකින් ගත්කල සංස්කෘතික ගැටුමක් ද වෙනවා. එකම සංස්කෘතියේ වුවත් පවුල් පවුල් අතර සුළු සුළු වෙනස්කම් තියෙන්න පුළුවන්. පුද්ගගලයන්ගේ හැදියාවන් වෙනස්. විවාහයක දී ද සංස්කෘතික අවශෝෂණ, යටත්වීම් සිදුවෙනවා. ආගම් දෙකක් අදහන දෙදෙනකු විවාහ වූ පසු බොහෝ විට එක් අයකු අනෙකාගේ ආගම වැළඳ ගන්නවා.
හන්ටින්ග්ටන් අමතක කළ කරුණ නම් සෝවියට් දේශය හා බටහිර රටවල් අතර පැවතියේ සංස්කෘතික, ඔහු කියන ආකාරයට නම් සභ්‍යත්ව ගැටුමක් බව. එය ග්‍රීක ඔතොඩොක්ස් සංස්කෘතිය හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය අතර වූ ගැටුමක්. ප්‍රාග්ධනය පෞද්ගලික ව සපයා ගන්නවා ද සාමූහිකව සපයා ගන්නවා ද යන ප්‍රශ්නය වැදගත් වුවා. මාක්ස් කතෝලික චින්තනය මත පදනම් වූවෙක්. ඔහුටත් සාමූහිකත්වයක් තිබුණා. ඔහුත් පෞද්ගලික ප්‍රාග්ධනයට විරුද්ධ වූවා. මාක්ස්ට ප්‍රාග්ධනය නැති කරන්න හැකි වුනෙත් නැහැ. නැතිකරන්න කියලා කීවෙත් නැහැ. ඔහු කීවේ පෞද්ගලික ප්‍රාග්ධනය විනාශකාරී බවත් එය අහෝසි කළ යුතු බවත්. මොන කතා කියා තිබුණත් ඔහු අවසානයේ දී කීියා ඇත්තේ සාමුහික ප්‍රාග්ධනයක් අවශ්‍ය බවයි. රුසියන් ග්‍රීක ඔතොඩොක්ස් සංස්කෘතිය මේ කතාව අවශෝෂණය කරගත්තා. ලෙනින්ගේ මාක්ස්වාදය මාක්ස්ගේ මාක්ස්වාදය නොවෙයි. මාක්ස්ගේ මාක්ස්වාදය තිබුණේ ඔහු වැනි ම යුදෙවුවකු වූ ට්‍රොට්ස්කිට. ලෙනින් රුසියන් සංස්කෘතියෙන් බිහි වූ අයෙක්. ස්ටැලින් ඊටත් එහා. ඔහු ජෝජියන් සංස්කෘතියේ දරුවෙක්. පුටින් රුසියන් ජාතිකත්වයක් ඇති පුද්ගලයෙක්. මාක්ස් ට්‍රොට්ස්කි වාදය නම් දැන් ඉතිහාසයෙන් අතුගෑවී හමාරයි. ඉතුරු වී සිටි ලංකාවේ ඉහළ ම ට්‍රොට්ස්කිවාදීන් රනිල්ට සේවය කරනවා. ඔවුන් සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථා හදන්න බෑන් කි මූන්ලා එක්ක විතරක් නොවෙයි හිලරි ක්ලින්ටන් එක්තත් එකතු වෙනවා.
හන්ටින්ග්ටන් කියන වැදගත් දේ තමයි ලෝකයේ ථෙරවාදී බෞද්ධ සභ්‍යත්වයක් නැති බව. බටහිර සංස්කෘතියෙ හැමතැනකදි වගේ ම මෙතනදිත් වැදගත් වෙන්නෙ නිර්වචන, නැත්නම් අර්ථදැක්වීම්. සභ්‍යත්වයක් කියලා කියන්නෙ මොකක් ද? එරික් ෆ්‍රොම් සභ්‍යත්ව විඥානයක් ගැන කියනවා. මාක්ස් කම්කරු පංති විඥානයක් ගැන කියනවා වගේ. හන්ටින්ග්ටන්ට අනුව මනුෂ්‍යත්වය ළඟට මිනිසුන් වර්ගීකරණය කරන්න පුළුවන් සභ්‍යත්ව ලෙස. අපට අප මිනිසුන් කියන හැඟීම තියෙනවා. හන්ටින්ග්ටන් කියන්නෙ අපට ඊළඟට තියෙන්නෙ අප අහවල් සභ්‍යත්වයෙ කියන එක. බටහිර ලෝකයේ අයට තමන් බටහිර සභ්‍යත්වයේ කියන හැඟීමක් තියෙනවා. ඔවුන් ඒ සභ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. එය ආරක්‍ෂා කිරීමට ඉදිරියට එනවා. මුස්ලිම් සභ්‍යත්වයෙ අයත් එහෙමයි. ඔවුන්ට ලෝකයේ කොහේ හිටියත් වැදගත් වෙන්නෙ මුස්ලිම්කම. ඔවුන් තම සංස්කෘතින් ආරක්‍ෂා කරගන්නවා. සංස්කෘතික අනන්‍යතාව රකිනවා.
ථෙරවාදී බෞද්ධයන්ට එවැනි හැඟීමක් තියෙනව ද? අප ථෙරවාදී කියන හැඟීම අපට තියෙනවා ද? මියන්මාරයේ හරි තායිලන්තයෙ හරි කාම්බෝජයේ හරි ථෙරවාදීන් සිංහල ථෙරවාදීන් වෙනුවෙන් ථෙරවාදී හැඟීමකින් කටයුතු කරනවා ද? එහෙම නැති වුනත් බටහිරයන් ථෙරවාදයට බයයි. කලින් සඳහන් කළ රටවල සංස්කෘතිය අපේ සංස්කෘතිය සමගවත් අනන්‍ය වන්නේ නැහැ. ඒ රටවල අය අප මෙන් ම පාලි ගාථා කියනවා. භික්‍ෂූන් වහන්සේට ගරු සැලකිලි කරනවා. සමහර විට අපටත් වඩා. ඔවුන්ගේ ශ්‍රද්ධාව අපට වඩා ඉහළ මට්ටමක පවතිනවා. ඒත් ඔවුන්ට තියෙන්නෙ චීන සභ්‍යත්වය මත ආරෝපණය වූ පාලි වත් පිළිවෙත් හා අවුරුදු උත්සව. ඒත් සිංහල අවුරුදු සිරිත් නොවෙයි. ඔවුන් අප වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ. අපත් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ.
මලයාසියාවෙත් බෞද්ධයන් ඉන්නවා. ඒ ථෙරවාදීන් නොවෙයි. මලයාසියානු බෞද්ධයන් අප වෙනුවෙන් කොහොමටවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒත් දෙමළ ජනයා කොහොම ද? මලයාසියාවේ සිටින ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනයාත් ලංකාවේ ඊළමක් වෙනුවෙන් පෙනී සිටිනවා. ඉදිරිපත් වෙනවා. මලයාසියාවේ ලංකා මහා කොමසාරිස්ට ගහනවා. ඒ සම්බන්ධ සාක්‍ෂි විභායක දී කියවිලා තියෙන කරුණක් තමයි දෙමළ ත්‍රස්තවාදීන්ගේ පරාජය සම්බන්ධයෙන් මලයාසියාවේ සිටන ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනයා ද කෝපයට පත් වී ඇති බව. අප මේ කරුණු ගැන සැලකිලිමත් විය යුතුයි. ලෝකය පුරා සිටින දෙමළ ජනයා අද කටයුතු කරන්නේ සිංහල බෞද්ධයන් ගැන වෛරයකින්. ඔවුන්ට දෙමළ යනුවෙන් හැඟීමක් තියෙනවා. සිංහල බෞද්ධයන්ට ථෙරවාද බෞද්ධයන් ලෙස නොවෙයි සිංහල බෞද්ධයන් ලෙසවත් හැඟීමක් නැහැ. සිංහල බෞද්ධයන්ගේ විචාරශීලිබවවත් බොහෝ දෙනකුට නැහැ. බටහිර ඊනියා නූතනත්වයට යටනොවුනත් සිංහල බෞද්ධ විචාරශීලි බව අප තිබිය යුතුයි. බටහිරයන් බය වන්නේ එයට මිස අපේ ශ්‍රද්ධාවකට නොවෙයි. කාම්බෝජයේ බෞද්ධයන් හරිම ශ්‍රද්ධාවන්තයි ඒත් අද කාම්බෝජයක් කෝ? ශ්‍රද්ධාව තිබිය යුතුයි. ඒත් ජීවත්වීමට එය පමණක් ප්‍රමාණවත් නැහැ. සිංහල බෞද්ධ හැඟීමක් තිබිය යුත්තේ අදාළ විචාරශීලි බවත් සමගයි.
මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/
නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 10