නොදැනුම
බුදුදහම හා අනෙක් දැනුම් අතර ඇති ප්‍රධාන ම වෙනස බුදුදහම අවසානයේ දී දැනුම නොදැනුම බවට පත්කිරීමයි. මෙහි නොදැනුම යන වචනය මා යොදා ගන්නේ වෙනත් වචනයක් නැති නිසයි. බොහෝ බෞද්ධයන් මෙයට විරුද්ධ වනු නොදනුමානයි. බුදුදහම ආගමක් ද දර්ශනයක් ද ආදී ප්‍රශ්න නිතර කතාබහට ලක්වෙනවා. මගේ නම් අදහස බුදුදහම ව්‍යවහාරාර්ථයෙන් දැනුම් පද්ධතියක්වත් නොවන බවයි. කොහොමටත් පඬියන් අද ආගම යන්න නිර්වචනය කරන්නේ ක්‍රිස්තියානිය ආගමක් ලෙස උපකල්පනය කර එයට සාපේක්‍ෂවයි. මේ නිර්වචන, අර්ථදැක්වීම් මිනිසුන්ගේ බව මිනිසුන්ට අමතක වෙනවා. ආගම යන්නෙහි නිර්වචනය වෙනස් කළ විට කලින් ආගම් නොවූ සමහරක් ආගම් බවටත් ආගම් වූ සමහරක් ආගම් නොවීමටත් ඉඩ තිබෙනවා. ක්‍රිකට් තරගයක දී හතරේ සීමාව වෙනස් කිරීමෙන් හරි හතරක් වෙනුවට ලකුණු පහක් දීමෙන් හරි වෙනත් ක්‍රමයකින් හරි තරග ප්‍රතිඵලය වෙනස් කරන්න පුළුවන්. වෙනත් ක්‍රිඩාවලත් තත්වය එසේමයි. විභාගවල ලකුණු පටිපාටි වෙනස් කිරීමෙන් නිර්ණායක වෙනස් කිරීමෙන් ප්‍රතිඵල වෙනස් කරන්න පුළුවන්.
මේ සාපේක්‍ෂ බව බොහෝ දෙනාට තේරෙන්නේ නැහැ. ඔවුන් ඒවාට ඊනියා වාස්තවිකත්වයක් ආරෝපණය කරනවා. මරණින් මතු සිදුවන්නේ කුමක් ද? එය දැනගන්නේ කෙසේ ද? පංචෙන්ද්‍රියන්ගෙන් පමණක් එය දැනගත නොහැකියි. මෙහි දීත් සෑමවිටකමත් මා පංචෙන්ද්‍රියන්ගෙන් පමණක්් කියා කියන්නේ මනස නැතිව යන්නට නොවෙයි. මනස නොමැතිව පංචෙන්ද්‍රියන්ට පමණක් ක්‍රියාකාරීවීමට බැහැ එහෙත් පංචෙන්ද්‍රිය නැතිව මනසට ක්‍රියාකාරී වෙන්න පුළුවන්.
මනස ශරීරය අතරත් අන්තර් ක්‍රියකාරකම් තිබෙනවා. එහෙත් ඒකෙන් කියැවෙන්නෙ නැහැ මනස කියන්නෙ මොළයේ ප්‍රතිඵලයක් කියලා. එහෙමත් නැත්නම් මනස මොළයට ඌනනය කරන්න පුළුවන් කියලා. මනසේ ශක්තිය දියුණු කරගත්තොත් ශරීරය උඩින් ගෙන යන්න පුළුවන්. වෙනත් ශරීර බවට හරවන්න පුළුවන්. එහෙම කරපු අය ලංකාවෙ විතරක් නොවෙයි සුද්දන් යන්න ඉස්සර ඇමරිකා මහාද්වීපයේ වාසය කරපු අයටත් තිබිලා තියෙනවා. දොන් ජුවාන්ගෙ දැනුම සහ තවත් පොත්වල ඒ බව සඳහන් වෙනවා. ඒත් අද ඒ මානසික ශක්තිය තියෙන අය එක්කෝ ඇත්තේ ම නැහැ, එහෙමත් නැත්නම් ඉතා අඩුවෙන් ලෝකයේ ඉන්නෙ.
ඒත් මේ කිසිවකින් කියැවෙන්නෙ නැහැ මනස කියලා දෙයක් තියෙනවා කියලා. ද්‍රව්‍ය හා විකීරණ ලෙස සැලකෙන සියල්ල මනසේ නිර්මාණ වගේ, මනසේ සංස්කරණ වගේ, මනසත් මනසේ ම නිර්මාණයක්. ඒක තේරුම් ගන්න බැරිව අප සංසාරයේ සැරිසරනවා. මනසක් කියලා දෙයක් පවතිනවා කියලා හිතන බෞද්ධයන් නිවන් අවබෝධයේ දී මනසට සිදුවන්නෙ කුමක් ද කියලා කියන්න ඕන.
නිවන් අවබෝධයේ දී මනස නැතිවෙනවා ද? එවිට එය උච්ඡෙදවාදයක් වෙනවා. නැත්නම් මනස සදාතනික ව පවතිනව ද? එවිට එය ශාස්වතවාදයට අයත් වෙනවා. එහෙමත් නැත්නම් වෙනත් දෙයක් සිදුවෙනවා ද? මා ත්‍රිපිටකය සම්පූර්ණයෙන් ම කියවලා නැහැ. සූත්‍ර කිහිපයක් පමණයි කියවා තියෙන්නෙ. අටුවාව කියවලා ම නැහැ කියන්න පුළුවන්. ඒවා කියවලා තියෙන අයට මා ගරු කරනවා. ඒත් ඔවුන් කියන සියල්ල පිළිගැනීමට මා සූදානම් නැහැ. මනස පවතින්නෙත් නැහැ නොපවතින්නෙත් නැහැ කියලා කොහේවත් කියලා තියෙනවා ද? එහෙමත් නැත්නම් මනස පවතිනවා ඒ වගේ ම නොපවතිනවා කියලා කොහේවත් කියලා තියෙනවා ද?
බුදුන්වහන්සේ තවත් දැනුමක් දේශනා කළේ නැහැ. කෙනකුට එසේ කියන්නත් පුළුවන්. සූත්‍ර පිටකයේ තිබෙන්නෙ දැනුම නොවේ ද කියලා අහන්නත් පුළුවන්. ඒ එක්තරා අයුරකින් දැනුමක් තමයි. ඒත් එය සොක්‍රටීස් හරි චීන දාර්ශනිකයකු හරි වෙනත් අයකු හරි උගන්නපු දැනුමක් වගේ දෙයක් නො වෙයි. ඒ අනෙක් දැනුම් සමහරක් අප ඉගෙන ගන්නවා. අපට ඒ සියල්ල ඉගෙන ගන්න පුළුවන් කියලා හිතන්න බැහැ.
මට තේරෙන විධියට බුදුන්වහන්සේ අපට ඉගැන්නුවෙ දැනුම කියලා හැඳින්වෙන දේ නොදැනුම බවට පත්කරගන්නයි. බුදුන් වහන්සේ දාර්ශනිකයකුවත්, කවියකුවත්, ගුරුවරයකුවත්, වෛද්‍යවරයකුවත්, ඉංජිනේරුවරයකුවත්, විද්‍යාඥයකුවත් වන්නේ නැහැ. උන්වහන්සේ අපට කියා දුන්නේ තනන්න, නිර්මාණය කරන්න, සංස්කරණය කරන්න, සංස්කරණය කළ දැනුම එකතු කරන්න නොවෙයි.
බුදුන්වහන්සේට ගුරුවරයකු වෙදාණන් කෙනකු ආදී වචන යොදා ගැනෙනවා. ඒ සාමාන්‍ය ලෙඩ ගැනවත්, දැනුම ගැනවත් නොවෙයි. උන්වහන්සේ අනිච්ච දුක්ඛ අනත්ත ගැන ඉගැන්වුවා. ඒ සාමාන්‍ය සංකල්පවලින් තේරුම් ගන්න බැහැ. ඒ සංකල්පවලින් ඔබ්බෙන් තියෙන නොදැනුමක්. මේ ලෝකයේ හිස් බව අවබෝධ කර නොගත් අප අවිද්‍යාව හේතුවෙන් සංස්කරණය කරනවා. බුදුන්වහන්සේ අවිද්‍යාව කියලා දේශනා කෙළේ අනිච්ච දුක්ඛ අනාත්ම නොදැනුම. ඒ නොදැනුම නිසා අප දැනුම සංස්කරණය කරනවා.
මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/
නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 29