Main Logo

Friday 2 September 2016

හඳ සාක්කි කියනවා

හඳ සාක්කි කියනවා

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් බෑන් කි මූන්ට ලංකාව වැදගත් බව අප දන්නවා. ඔහු දැනට දෙවරක් ම ලංකාවට පැමිණ තිබෙනවා. ඔහු අප වැනි රටවල් කීයකට දෙවරක් ගිහින් තිබෙනවා ද? ඔහු යාපනයට යන්නේ ඇයි? ඔහු දෙමළ එක්සත් සංධානය  හමුවන්නේ ඇයි? ඒ සාකච්ඡාවට විග්නේස්වරන්ට ආරාධනා නො කෙළේ ඇයි? මංගල සමරවීර ඔහු සැනසීමට නව ව්‍යවස්ථාවක් ඉක්මනින් ගෙනෙන බව කියන්නේ ඇයි? ඒත් ප්‍රශ්නයකුත් තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නෙ ලෝකය පාලනය කරන ආයතනයක් නොවෙයි. එහි යෝජනා ක්‍රියාත්මක කිරීමට රටවල් බැඳී සිටිනවා ද? බෑන් කි මූන් යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආධිපත්‍යය මෙහෙයවන්නා ලෙස පත්කරගන්න හදනවා. මෙරට ආණ්ඩුව දැනටමත් එයට යටවෙලා. ටික කලකට පෙර ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක නාමයෙන් ආරක්‍ෂාකිරීමේ වගකීම (ආර්2පී) සංකල්පය මගින් රටවල ස්වෛරීභාවය නැති කරන්න හැදුවා. මූන්ගෙන් පස්සෙ ඔබාමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් වෙන්න යනවා කියලා කතාවක් තියෙනවා.

මෙරට ඇතැම් ජාතිකවාදීන් ද සිතන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු ප්‍රජාතන්ත්‍රවාදී මානවහිතවාදී ආයතනයක් ලෙසයි. එය ප්‍රඥප්තිවලට ගරු කරන අපට යම් වරදක් සිදුවුවහොත් යාහැකි ආයතනයක් ලෙස ඒ අය ද සලකනවා. ුය වැරදියි. බෑන් කි මූන් සම්බන්ධන් හමුවුනාට මහින්ද හමුවන්නේ නැහැ. මහින්ද රටේ නැත්නම් වෙනත් අයකු හමුවෙන්න පුළුවන්. ඒක කරන්නෙත් නැහැ. මූන්ට ඒකට හොඳ උත්තරයක් ඇති. ඔහු හමුවන්නේ ජනාධිපති, අගමැති, විරුද්ධ පක්‍ෂයේ නායක යැයි කියන්න පුළුවන්. ඒත් එහෙම බේරෙන්න බැහැ. දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් හමුවන්නේ ඇයි? මූන් හමුවන්නේ ඔහුට ඕනෑ අය පමණයි. මූන් හඳ වුනත් නැතත් හඳ සාක්කි කියන්නෙ සිංහල බෞද්ධයන්ට විරුද්ධවයි.

එක්සත් ජාතින්ගේ සංවිධානයට ගිහින් සිංහල බෞද්ධයනට ලැබී තිබෙන දෙයක් තියෙනවා ද? ජෙනීවාහි පිහිටි ඊනියා මානව හිමිකම් සංවිධානවලින් සිංහලයන්ට වී ඇති සෙත කුමක් ද? මහින්දයි වාසුයි ජ වි පෙරමුණේ අතුරුදහන් වුවන් ගැන පැමිණිළි කරන්න ජෙනීවා ගියා. ලැබිච්ච දෙයක් නැහැ. අතුරුදහන් වූවන්ගේ කාර්යාල පිහිටුවන්න එදා කවුරුවත් ආණ්ඩුවට කිවුව ද? අඩු ගණනේ ඒ ගැන මතකයක් වත්මන් ජ වි පෙ නායකයන්ට තියෙනවා ද? මගේ මෝඩකමට මාත් 1988 දි පමණ ජ වි පෙ හා ආණ්ඩුවේ භීෂණයෙන් ගැලවෙන්නට එංගලන්තයට ගොස් සිටි සිටි කාලයේ එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් නොවුනත් ඊනියා ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනයට හෙවත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයටත් එංගලන්තයේ විශ්වවිද්‍යලයීය ආචාර්ය සංගමයටත් පැමිණිළි කළා. ත්‍රීමාවිතාන ඝාතනය සිද්ධ වුනෙත් ඒ දවස්වල. ඒ ආයතනවලින් වුනු දෙයක් නැහැ. අප මේවට සංදේශ ඉදිරිපත් කිරීමෙන් අප ඒවා තව තවත් තහවුරු කරනවා. අන්තිමේ දී ඔවුන් අපේ ස්වෛරීභාවය නැතිකරනවා. 

මේ සංවිධාන, ආයතන, ප්‍රඥප්ති සියල්ල තියෙන්නෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය රැකගැනීමට, එය පෝෂණය කිරීමට මිසක් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන්වත් මානව අයිතිවාසිකම් වෙනුවෙන්වත් නොවෙයි. අපේ ඇතැමුන් මේ සංවිධානවල, බැන් කි මූන්ගෙ දෙබිඩි ප්‍රතිපත්ති ගැන කතාකරනවා. ඒක වැරදියි. ඒ ආයතනවලට ඇත්තේ එක ප්‍රතිපත්තියක් පමණයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය, අද දවසේ නම් ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආධිපත්‍යය රැකගැනීම හා පෝෂණය කිරීම ඔවුන්ගේ කිරීම ඔවුන්ගේ එක ම ප්‍රතිපත්තියයි. එය විවිධ රටවල ක්‍රියාත්මක වන ආකාරය අපට දෙබිඩි පිළිවෙතක් ලෙස පෙනෙන්න පුළුවන්. අයිසිස් ඇති කරනු ලැබුයේ මුස්ලිමුන්ට විරුද්ධව මුස්ලිමුන් ම යොදා ගැනීමට බටහිරයන් විසින්. අද මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයක් ලෝකයේ තියෙනවා. බටහිර ඇංග්ලිකන් ක්‍රිස්තියානීන් ඒ ආක්‍රමණයට විරුද්ධව මුස්ලිමුන් ම යොදා ගැනීමට උත්සාහ කරනවා. නැත්නම් තමන් ම කළහැකි දේ කරනවා. බුර්කාව ඇඳීම සමහර රටවල තහනම් කරනවා. ට්‍රම්ප් එක්සත් රාජ්‍යවල ජනාධිපති වුනත් නැතත් මුස්ලිමුන්ට ඇති වීසා නීති තදකරනවා. ඔවුන්ට බටහිර රටවලට ඇතුල්වීම එහි රැකියා කිරීම ආදිය ඉදිරියේ දී අමාරු වේවි.

ඒත් ඒ අතර ථෙරවාද රටවල මුස්ලිමුන්ට ආධාර කරනවා. ඒ දෙබිඩි ප්‍රතිපත්තියක් නොවෙයි. අපේ බොහෝ අයට නොතේරෙන කරුණක් තමයි ථෙරවාද සංස්කෘතිය ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට අභියෝගයක් බව. බටහිරයන් මේ අභියෝගය ජයගැනීමට විවිධ දේ කරනවා. තායිලන්තය ගණිකා මඩමක් බවට පත්කළා. කාම්බෝජය පොල්පොට් හරහා බලසුන් කෙරුවා. මියන්මාරයට අවුං සාන් සුකී එවුවා. අපට චන්ද්‍රිකා එවුවා වගේ. මෙරට දෙමළ ජාතිවාදයක් ඇති කළා. දැන් මුස්ලිම් ආක්‍රමණයක් ද ඇති කරනවා. බටහිරයන් ථෙරවාදී සංස්කෘතිය නැසීමට මුස්ලිමුන් යොදගෙන පසුව ඔවුන් මූස්ලිමුන්ට ද කළ යුත්ත කරාවි. අද ලංකාවේ දෙමළ හින්දුන් යොදා ගන්නේ සිංහල බෞද්ධයන්ට විරුද්ධව. මුස්ලිමුන් මෙන් ම හින්දුන් ද ථෙරවාදයට විරුද්ධව යොදා ගැනෙනවා. කුරගල සිද්ධිය වේවා උතුරේ නාග විහාරයේ බුදු පිළිම වහන්සේට විරුද්ධවීම වේවා එකම සිද්ධිමාලාවක්. මේ අතර අධ්‍යාපනය හා ජනමාධ්‍ය බටහිරයන්ට අවශ්‍ය ආකාරයට ක්‍රිස්තියානි සංස්කෘතිය ප්‍රචලිත කරනවා. අපේ දැනුම මිථ්‍යා බවට පත්කරනවා.

ඇංග්ලො ක්‍රිස්තියානීන්් තරම් බෙදා පාලනය කිරීම ප්‍රගුණ කළවුන් ලෝකයේ නැහැ. බෑන් කි මූන් මේ සංස්කෘතියේ සුවච සොවකයකු පමණයි. ඔහුගේ රට දකුණු කොරියාව අද වන විට අබෞද්ධ රටක්. සියවස් ගණනාවක් බෞද්ධ වූ ඒ රට අබෞද්ධ කිරීමට ගියේ දශක කිහිපයයි.


සැප්තැම්බර් හයවැනි දා නැවත හමුවෙමු.

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 02