Main Logo

Wednesday, 15 February 2017

බටහිර කොට්ටෝරුවෝ


බටහිර කොට්ටෝරුවෝ


බටහිර භෞතික විද්‍යාඥයන් සාමාන්‍යයෙන් අනෙක් බටහිර විද්‍යාඥයන්ට වඩා පොදුවේ බටහිර දර්ශනය හා විශේෂයෙන් බටහිර විද්‍යාවේ දර්ශනය ගැන උනන්දුවක් දක්වනවා. ලංකාවේ නම් බටහිර දර්ශනය හා බටහිර විද්‍යාවේ දර්ශනය ගැන උනන්දුවක් දක්වන්නේ බටහිර භෞතික විද්‍යාඥයන් නොව බටහිර වෛද්‍යවරුන්. එහෙත් ඔවුන්ගෙන් ඒ කිසිම දෙයකට කිසිම දෙයක් අලුතෙන් එකතු වී නැහැ. ඔවුන් කරන්නේ අවුරුදු පනහකට පමණ පෙර බටහිර ලියු දේ ඊනියා සිංහල පාඨකයාට ඉදිරිපත් කිරීමයි. ඔවුන්ට අඩු තරමේ හැටේ දශකයේ තෝමස් කූන් කියා ඇති දේ ගැනවත් ප්‍රමාණවත් දැනුමක් නැහැ.


ඒ අතර ලංකාවේ ජ්‍යෙෂ්ඨ පොදු කාමරවල (විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විවේකාගාරවල) හරබර වචන සහිත ව ශාස්ත්‍ර පීඨවල ඇතැමුන් වචන හරඹ කරනවා. ව්‍යුහවාදය, පශ්චාත් නූතනවාදය, පශ්චාත් ඉන්ද්‍රියානුභූතවාදය, අර වාදය මේ වාදය   ගැන එකිනෙකාට නොතේරෙන දේ කියවනවා. කාලෙකට පෙර මේ අය ඩෙරීඩාගේ ඊනියා විසංයෝජනය (ඩිකන්ස්ට්‍රක්ෂන්)  බුදුදහම සමග සංසන්දනය කළා. ඔවුන්ට අනුව බුදුන් වහන්සේ දේශනා කර තිබණේත් විසංයෝජනයක්. බුදු හාමුදුරුවන් ඒක ඩෙරීඩාගෙන් දැන ගත්තා ද කියා ඔවුන් කීවේ නැහැ. ඔවුන් දැනගෙන නොසිටි කාරණයක් වූයේ සෑම විසංයෝජනයක් ම  සංස්කරණයක් බවත් එය අවිද්‍යාව සමග සම්බන්ධ බවත්. ඉංගිරිසියෙන් කියනවා නම් ඩිකන්ස්ට්‍රක්ෂන් ඉස් කන්ස්ට්‍රක්ෂන්.  අවිජ්ජා පච්චයා සංඛාරා. ඩෙරීඩාලාට සිංහල බෞද්ධයන්ට උගන්වන්න දෙයක් නැහැ.

මේ ඇතැමුන් කූන්ගේ සුසමාදර්ශය (පැරඩයිම්) ගැන කතා කරනවා. ඔවුන්ට සුසමාදර්ශ මාරුවක් යනු කොකාකෝලාවලින්  පෙප්සිකෝලාවලට මාරු වීම වැනි දෙයක්. ඔවුන්ට මා අභියෝග කරනවා හැකිනම් නිව්ටෝනීය සුසමාදර්ශය හා අයින්ස්ටයිනීය සුසමාදර්ශය අතර ඇති වෙනස පැහැදිලි කරන ලෙස. ක්වොන්ටම් හා තාපගතික සුසමාදර්ශ පැත්තකින් තියන්න. ඔවුන් සියලු දෙනාම පාහේ ඊනියා යථාර්ථවාදීන්. මාර්ටින් වික්‍රමසිංහගේ සිට බොහෝ සාහිත්‍ය කරුවන් ද ඊනියා යථාර්ථවාදීන් (රියැලිස්ට්ස්). සරච්චන්ද්‍ර සාහිත්‍යයේ ඊනියා තාත්විකවාදයක් ගැන කතා කළා. ඇතැම් ඊනියා යථාර්ථවාදීන් ඔහු විවේචනය කළා. ගුණදාස අමරසේකර යථාර්ථවාදියෙක්. ඔහුට අනුව ඔහු ඉදිරිපිට ඇති කෝප්පය යථාර්ථයක්.  ඇතැමුන් හේතුවාදීන් (රැෂනිලිස්ට්ස්) මෙන් ම අනුභූතවාදීන් (එම්පිරිසිස්ට්ස්). කිසිවකුට ඒ දෙකම වෙන්න බැහැ. එහෙත් ඇතැම් පඬියන්ට පුළුවන්. ලෙනින් එම්පීරියෝ ක්‍රිටිසිසම් කියන පොතේ අනුභූතිවාදය විවේචනය කළා. මා කියන්නේ ලෙනින් හරි කියන එක නො වෙයි. ලංකාවේ හේතුවාදීන් වූ ද අනුභූතිවාදීන් වූ ද යථාර්ථවාදීන් ද වූ මාක්ස්වාදීන් ඉන්නවා! ඔවුන් ලෙනින්ගේත් ගෝලයන්! ඔවුන් කෙතරම් දෙයක් බටහිර දර්ශනයට, මාක්ස්වාදයට එකතු කර ඇත් ද? ලෙනින් කලින් මිය ගිය එක හොඳයි.

බටහිරයන් අවුරුදු සිය ගනනක් තිස්සේ යථාර්ථය යනු කුමක් ද කියන ප්‍රශ්නයට උත්තර දෙන්න හදනවා. එලෙස උත්තර දෙන්න උත්සාහ කරන්නේ යථාර්ථයක් ඇති බව උපකල්පනය කරමින්. ඔවුන්ට අවකාශයත් කාලයත් පවතිනවා. අවුරුදු හතළිස් හතකට පමණ පෙර මගේ ආචාර්ය උපාධි නිබන්ධය පිළිබඳ පරීක්‍ෂකවරයා වූයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉම්පීරියල් කොලේජ් ඔෆ් ටෙක්නොලොජිහි මහාචාර්යවරයකු ව සිටි ජී ජේ විට්රෝ. ඔහු කාලය යනු කුමක් ද (වට් ඉස් ටයිම්) යනුවෙන් පොතක් ලියා තිබුණා. එය ජනප්‍රිය රැල්ලේ පොතක්. ඔහුටත් කාලය යථාර්ථයක්. මටත් ඒ දිනවල කාලය යථාර්ථයක්.

අප කාටත් කාලයේ ඉදිරියට මිස ආපස්සට නො යෑම ප්‍රශ්නයක් වුනා. නිව්ටන්ගේ සම්කරණ කාලය සම්බන්ධයෙන් සමමිතිකයි. එහෙත් කාලයේ ආපසු යෑමක් ගැන කියැවෙන්නේ නැහැ. සාපේක්‍ෂතාවාදයේ අවකාශය හා කාලය එක් කෙරෙනවා. එහෙත් අවකාශයේ ඉදිරියටත් ආපස්සටත් යන්න පුළුවන්. උතුරට ගොස් ආපසු දකුණට යන්න පුළුවන්. එහෙත් අපට අතීතයට යන්න බැහැ. අනාගතයටත් යන්න බැහැ. අනාගතය අප වෙත එනවා පමණයි.  මේ වෙනස ප්‍රශ්නයක්. සාපේක්‍ෂතාවාදයට ඒ වෙනස ගැන පිළිතුරක් නැහැ. කාලය ඉදිරියට යන්නේ ය කියන අදහස ඇතිව කාල හීය (ඇරෝ ඔෆ් ටයිම්) යනුවෙන් සංකල්පයක් ද තිබෙනවා. විට්රෝත් ඒ ගැන ලිවුවා. කාල හීය එන්ට්‍රොපිය සමග සම්බන්ධ කිරීමටත් උත්සාහයක් ගත්තා. එන්ට්‍රොපියත් වැඩි වෙනවා මිසක් අඩු වන්නේ නැහැ. එකල කළු කුහර (බ්ලැක් හෝල්ස්) පිලිබඳ අධ්‍යයනය පටන් ගත් අලුත. අංශු විකිරණ කළු කුහරවලට යෑමක් මිස ඒමක් තිබුණේ නැහැ. එකල හෝකීන් විකිරණයක් ගැන දැන සිටියේ නැහැ. මා පසුව බුද්ධඝෝෂ හිමියන්ගේ කෘතිවලින් දැන ගත්තා කාලය පඤ්ඤත්තියක් කියලා. ඉන් පසු අවුල නැති වුනා.

යථාර්ථය යනු මායාවක්. එය මනසේ නිර්මාණයක්. හැකිනම් මනසෙන් තොර යථාරථයක් ඇති බව මනසෙන් තොරව පෙන්වන්න.  එහෙත් බටහිරයන් ඒ බව තේරුම් ගන්න පාටක් නැහැ. බටහිරයන් තේරුම් ගන්නකන් මෙරට පඬියන්ට ඒ බව තේරුම් ගන්න බැහැ. 2017 පෙබරවාරි 04 වැනි දා නිව් සයන්ටිස්ට් සඟරාවේ ඊනියා යථාර්ථය ගැන ලිපිය තමයි කවරයේ කතාව. ඉස්සර ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ආදිය යථාර්ථය ලෙස සැලකූ බටහිර භෞතික විද්‍යාඥයන් අද කියන්නේ යථාර්ථය එයට යටින් පවතිනවා කියා. කළු කුහරවලට යන අංශු හා විකිරණවලට කුමක් වන්නේ දැයි නොදනිතත් බටහිර භෞතික විද්‍යාඥයන් සිතන්නේ ඒ විනාශ වන බවයි. එහෙත් ඔවුන් සිතනවා අදාළ තොරතුරු (ඉන්ෆොමේෂන්) විනාශ නොවන බව. ඇතැම් කළු කුහර අතර සම්බන්ධ ඇති බවත් ඒ ක්වොන්ටම් පැටලීම (එන්ටැන්ගල්මන්ට්) නිසා සිදුුවන බවත් ඔවුන් සිතනවා.

මේ සියල්ල ක්වොන්ටම් තොරතුරු මත පදනම් වන්නේ යැයි දැන් සමහර බටහිර භෞතික විද්‍යාඥයන් සිතනවා. එවිට ඊනියා යථාර්ථය වනුයේ ක්වොන්ටම් තොරතුරුයි. අපට අසන්නට ඇත්තේ පොඩි ප්‍රශ්නයක් පමණයි. ක්වොන්ටම් තොරතුරු පදනම් වන්නේ කුමක් මත ද? බටහිර භෞතික විද්‍යාඥයන්ගේ යථාර්ථ ගවේෂණය අවසන් වන්නේ කෙසේ ද කෙදිනක ද? අප කෙසෙල් ගසක පිට පොත්ත ඉවත් කළහොත් වෙනත් ස්ථරයක් මතු වෙනවා. පිට පොත්ත ඒ ස්ථරය මත පදනම් වී ඇත කියා අපට සිතෙන්න පුළුවන්. දැන් අප ඒ ස්ථරය ඉවත් කළහොත් වෙනත් ස්ථරයක් මතු වෙනවා. ඒ ස්ථරය මත කලින් ස්ථර පදනම් වේය කියා අපට සිතන්න පුළුවන්. මේ ස්ථර සියල්ල එකිනෙක ඉවත් කළහොත් අපට අවසානයේ දී ලැබෙන දෙයක් නැහැ. බටහිර භෞතික විද්‍යාඥයන්ගේ යථාර්ථයත් එබඳුයි. ඔවුන් ඉන්නේ මහා පැටලීමක. එය ක්වොන්ටම් පැටලීමටත් එහා. කෙහෙල් ගහට කොටපු කොට්ටෝරුවන්ගේ පැටලීම කොහොම ද?  


නිව් සයන්ටිස්ට් සඟරාවේ අදාළ ලිපිය මෙතැනින්  


   

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

https://www1.kalaya.org
      
නලින් ද සිල්වා


2017 පෙබරවාරි 15