Main Logo

Thursday 9 February 2017

කැලිෆෝනියාව වෙන් වෙයි ද?

කැලිෆෝනියාව වෙන් වෙයි ද?

පසුගිය ජනවාරි විසිහත්වැනි දා නිවුස්වීක් සඟරාවේ ලිපියක කැලිෆෝනියාව එක්සත් රාජ්‍යවලින් වෙන් වීම පිළිබඳ ප්‍රශ්නය නගා තිබුණා. එය අද සිදුවිය හැකි දෙයක් නො වෙයි. එහෙත් ඒ ගැන කතා කිරීම වුනත් වැදගත්. එක්සත් රාජ්‍ය ලෝකයේ බලවත් ම සන්ධීය රාජ්‍යය බව අමුතුවෙන් කියන්න වුවමනා නැහැ. එහෙත් කැලිෆෝනියාව වෙන්වීමක් ගැන අදහසක් වුනත් ඉදිරිපත් වීමට ඒ බලගතු රාජ්‍යයේ වුවත් ඉඩක් තිබෙනවා. එක්සත් රාජ්‍ය යනු රාජ්‍ය කිහිපයක එකතුවෙන් සැදුම් ලත් සන්ධීය රාජ්‍යයක්. එය ඒකීය රාජ්‍යයක් කඩා බිඳ දමා නිර්මාණය කරන ලද සන්ධීය රාජ්‍යයක් නො වෙයි.


සන්ධීය රාජ්‍යයක් බිහි වන්නේ ම ප්‍රධාන වශයෙන් රාජ්‍ය කිහිපයක් එකතු වීමෙන්. ඒ රාජ්‍යවලට වෙන්වීමට නොව එක්වීමට අවශ්‍යයයි. ඒ අවශ්‍යතාව සාක්‍ෂාත් කර ගැනීම සඳහා සන්ධීය රාජ්‍යයක් අවශ්‍යයි. ඒකීය රාජ්‍යයක් බිඳ දමා සන්ධීය රාජ්‍යයක් නිර්මාණය කරන්නේ එකතු වීමට නොව වෙන් වීමටයි. අද ඉන්දියාව වුවත්, මොන වචනවලින් දේශපාලන විද්‍යාඥයන් විග්‍රහ කරන්නට හැදුවත්, සන්ධීය රාජ්‍යයක්. එයට දේශපාලන විද්‍යාඥයන් ව්‍යාජ සන්ධීය රාජ්‍යය ආදී විවිධ නම් පටබඳීවි. මේ නම් මොනවා වුවත් ඉන්දියාව යනු සැබෑ සන්ධීය රාජ්‍යයක්. එහි ඇති ව්‍යාජ භාවයක් නැහැ. එක්වීම සඳහා පිහිටුවා ගත් සන්ධීය රාජ්‍යවලත් වෙන් වීමේ ප්‍රවනතා තිබේ නම් ඒකීය රාජ්‍යවල බලය විමධ්‍යගත කර පිහිටුවන සන්ධීය රාජ්‍යවල තත්වය කෙසේ ද? ඒවායේ ඇත්තේ වෙන්වීමේ ප්‍රවනතා.

අද ඉන්දියාව යන රාජ්‍යය සෑදී ඇත්තේ වාංශික රාජ්‍ය කිහිපයක් හා මහාරාජාවරුන්ගේ පාලන ප්‍රදේශ කිහිපයක් එකතු කිරීමෙන්. එයට මුල පිරුවේ ඉංගිරිසින්. නිදහස ලබා ගැනීමෙන් පසු නේරු ඒ ක්‍රියාවලිය සම්පුර්ණ කළා. ඔහු රට ජනතාව කතාකරන භාෂා අනුව ප්‍රාන්තවලට බෙදුවා. තවමත් ඒ ක්‍රියාවලිය අවසන් නැහැ. පසුගිය දා ආන්ද්‍ර ප්‍රදේශයෙන් තෙළඟාන ප්‍රාන්තය කැඩුණා. මේ ප්‍රාන්තවලට ආර්ථික ශක්තියක් ඇත්නම් වෙන ම රාජ්‍ය බිහි වීමේ අවදානම තිබෙනවා. ඉංගිරිසින් පැමිණීමට පෙර ඉන්දියාව වෙන වෙන ම රාජ්‍ය. ඉන්දියාව යනුවෙන් රාජ්‍යයක් තිබුණේ නැහැ. ඉන්දියාවට සන්ධීය රාජ්‍යයක් අවශ්‍ය වුනේ එකතු වීමටයි.

කැලිෆෝනියාව එක්සත් රාජ්‍යවල ආර්ථික වශයෙන් වඩාත් ම ශක්තිමත් රාජ්‍යය. එය ලෝකයේ හයවැනි බලවත් ම ආර්ථිකය ලෙස සැලකෙනවා. කැලිෆෝනියාවට වෙන ම රාජ්‍යයක් වීමට සුදුසුකම් තිබෙනවා. මේ වෙන ම රාජ්‍යයක් කතාව පටන් ගත්තේ ට්‍රම්ප් සමග. කැලිෆෝනියාවේ බලය ඇත්තේ ඩෙමොක්‍රටික් පක්‍ෂයටයි. එහි ආණ්ඩුකාරයාත් කොංග්‍රසයත් සෙනෙට් සභාවත් යන ත්‍රිත්වය ම ඩෙමොක්‍රටික්. එහි ට්‍රම්ප් ඡන්ද හතළිස්පන් ලක්‍ෂයකින් පමණ පැරදුණා. කැලිෆෝනියාව ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලට විරුද්ධයි.

එහි තවමත් ස්පාඤ්ඤ බලපෑම් තිබෙනවා. මෙක්සිකෝවෙන් සාංක්‍රමණිකයන් නීති විරෝධී ව එන්නේ කැලිෆෝනියාවටයි. ඔවුන් බොහෝ දෙනකු එන්නේ වීසා ඇතිව නො වෙයි. මෙක්සිකොවෙන් මත් ද්‍රව්‍ය ද කැලිෆෝනියාවට ගලා එනවා. මෙක්සිකොවෙන් හා දකුණු ඇමෙරිකානු රටවලින් එන ලතිනෝ සාංක්‍රමණිකයන් කැලිෆෝනියාවට අවශ්‍යයයි. කැලිෆෝනියානුවන් නොකරන බොහෝ රැකියාවල ලතිනෝ සාංක්‍රමණිකයන් යෙදවිය හැකියි.

එමෙන් ම සිලිකන් මිටියාවතේ ද වෙනත් ප්‍රදේශවල ද වඩා ඉහළ යැයි ගැනෙන තොරතුරු තාක්‍ෂණික රැකියා සඳහා කැලිෆෝනියාවට ආසියාතිකයන් අවශ්‍යයයි. ට්‍රම්ප්ට අවශ්‍ය රට මැද සිටින බිරිතානි සම්භවයක් ඇති රටවැසියන්ට රැකියා සැපයීමයි. ට්‍රම්ප් හා කැලිෆෝනියාව අතර දැනටමත් ගැටුමක් උද්ගත වී අවසන්. කැලිෆෝනියාවේ ස්පාඤ්ඤ භාෂාව කතාකරන විශාල පිරිිසක් සිටිනවා. කැලිෆෝනියාව රටේ සෙසු ප්‍රදේශවලින් වෙනස්. සංචාරකයන් අතර ප්‍රසිද්ධියක් උසුලන හොලිවුඩ්, ඩිස්නිලන්තය, යුනිවර්සල් ස්ටුඩියෝ වැනි චිත්‍රාගාර ආදිය ඇත්තේ කැලිෆෝනියාවෙයි. එහි දේශගුණය ද යහපත්. 

කැලිෆෝනියාවට වඩා වාසිදායක එක්සත් රාජ්‍යවල සිටීම ද නැත්නම් වෙන් වීම ද යන්න ලාවට කතා කෙරෙනවා. එහි දී බ්‍රෙක්සිට් අනුව යමින් කැලෙක්සිට් යනුවෙන් වචනයක් ද තනාගෙන තියෙනවා. මෙයින් කියැවෙන්නේ කැලිෆෝනියාව වෙන් වන බව නො වෙයි. එහෙත් ට්‍රම්ප්ට මෙයට මුහුණ දෙන්න සිදු වේවි. ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලට කැලිෆෝනියාවෙන් බලපෑමක් එල්ල වේවි. ට්‍රම්ප් එයට කෙසේ මුහුණ දේවි ද යන්න ප්‍රශ්නයක්.

කැලිෆෝනියාව අයත් වන්නේ පැරණි ලෝකයටයි. එනම් පහළොස්වැනි සියවසේ ඇරඹි ලෝකයටයි. ට්‍රම්ප් හා බ්‍රෙක්සිට්් නව ලෝකයක් තැනීමට උත්සාහ කරනවා. බ්‍රෙක්සිට් හා කැලෙක්සිට් දෙක ම වෙන්වීමක් ගැන කතාකළත් එයින් කීයැවෙන්නේ දෙකක්. කැලිෆෝනියාව වෙන්වීමට උත්සාහ කරන්නේ පැරණි ලෝකයේ ම සිටීමට.


මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
 

https://www1.kalaya.org

නලින් ද සිල්වා
2017 පෙබරවාරි 09