Main Logo

Saturday 25 February 2017

පශ්චාත් සත්‍යය


පශ්චාත් සත්‍යය



පසුගිය වසරේ ඉංගිරිසි භාෂාවට අලුතෙන් එකතු වූ ව්‍යවහාර අතරින් වඩාත් ම ජනප්‍රිය වී ඇත්තේ පශ්චාත් සත්‍යය හෙවත් පෝස්ට් ට්රුත් යන්නයි. මෙහි පශ්චාත් යන්නෙන් පෙන්නුම් කෙරෙන්නේ බටහිර ග්‍රීක යුදෙවු චින්තනයේ කඩා වැටීම මිස අනෙකක් නො වෙයි. දැන් කාලයක සිට බටහිර සමාජයීය විද්‍යාඥයන් පශ්චාත් යන්න යොදා ගන්නවා. පශ්චාත් ඉන්ද්‍රියානුභූතවාදය, පශ්චාත් ව්‍යුහවාදය යනු ඒ බංකොළොත් කමට උදාහරණ පමණයි. වඩාත් ම බංකොළොත් බව හෙළිවන්නේ පශ්චාත් නූතනත්වය හා පශ්චාත් නූතනවාදය යන ව්‍යවහාරවලයි. ඊනියා නූතනත්වය එලෙස නම් කිරීමෙන් ම පළවන්නේ බටහිරයන්ගේ උද්ධච්ඡ භාවය.




ලෝකයේ සෑම අවධියක් ම ඒ අවධියට සාපේක්‍ෂව නූතනත්වයක්. එහෙත් ඉස්සර මිනිසුන් තමන් බිහි කළ යුග කාල පරිච්ඡෙද ආදිය නූතනත්වය ලෙස නම් කෙළේ නැහැ. බටහිරයන් තමන් නිර්මාණය කළ යුගය ඊනියා නූතනත්වය ලෙස නම් කරා. ඒ  උද්ධච්ඡකමට. ඉන්පසු නූතනත්වයේ ලක්‍ෂණ ලෙස විවිධ අංග නම් කළා. ඒ අංග ඊට පෙර නොතිබූ පමණින් ඉන් පෙර කාල වකවානු නූතනත්වය නොවේ ය කියා හඳුන්වන්නේ කෙසේ ද? නූතනත්වයට මේ මේ අංග තිබිය යුතු යැයි කීවේ නූතනත්වය නො වෙයි. ඊනියා නූතනත්වය බිහි කළ මිනිසුන්මයි.



මේ ඊනියා නූතනත්වය අන් කිසිවක් නොව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය පදනම් කරගෙන බිහි වූ ලෝකයයි. ඒ චින්තනයේ හේතුවාදය, අනුභූතිවාදය වැනි විවිධ දර්ශන මෙන් ම ධනවාදය, බටහිර විද්‍යාව වැනි ආර්ථික පද්ධති හා දැනුම් පද්ධති ද බිහි වුණා. ඒ අතර විවිධ සංස්කෘතීන් ද බිහි වුණා. එයින් වඩාත් ම ප්‍රචලිත වී ආධිපත්‍යයක් දරන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියයි. මේ සියල්ල පහළොස්වැනි සියවසේ ඇති වූ චින්තන විප්ලවයක ප්‍රතිඵල.



මේ චින්තනයේ ප්‍රධාන කුළුණක් වූයේ ඊනියා සත්‍යයයි. සත්‍යය යනු කුමක් දැයි අර්ථ දක්වා නැහැ. එහෙත් සත්‍යය යන්න ඊනියා යථාර්ථය සමග බැඳී තිබෙනවා. හේතුවාදය, අනුභූතිවාදය ආදිය මෙන් ම ඇරිස්ටෝටලීය න්‍යාය හා අනුමාන නීති ද නිගමන ද එහි දී වැදගත් වෙනවා. එහෙත් මේ සියල්ල උද්ගමන බව බටහිරයන් දන්නේ නැහැ. සත්‍යය පරස්පරවලින් තොර විය යුතු යැයි සැලකුණා. උසාවියේත් සාක්‍ෂිවල පරස්පර ඇත්නම් එය සත්‍යය නොවන බවට සැලකෙනවා. ඇරිස්ටෝටලීය න්‍යාය අනුව පරස්පර ඇත්නම් අදාල නිගමන, උපකල්පන ආදිය ඉවත දැමෙනවා.     



මේ ඊනියා සත්‍යය බුද්ධිගෝචර විය යුතු ය යන අදහසක් තිබුණා. සත්‍යය හිතට දැනෙන්නක් නොව බුද්ධියට දැනෙන්නක් ලෙස සැලකුණා. බටහිර ගණිතය සම්බන්ධයෙන් හාඩිගේ සත්‍යය රාමනුජන්ටවත්, රාමනුජන්ගේ සත්‍යය හාඩිටවත් ගෝචර වුණේ නැහැ. බටහිරයන් විසින් සත්‍යය ලෙස ගනු ලැබුයේ හාඩිගේ සත්‍යයි. සත්‍යය මොන යම් ආකාරයකින් නමුත්, ඊනියා සාධක, ඇරිස්ටෝටලීය නිගමන ආදිය මගින් ඔප්පු කළ යුතු ය යන්න සමාජයේ අධිපතිවාදී අදහස වුණා.



නිව්ටෝනීය භෞතික විද්‍යාව මත පදනම් වූ බටහිර දැනුම සත්‍යය බවට මතයක් අධිපතිවාදී ලෙස අප මත පටවනු ලැබුවා. යමක් සත්‍යය වීමට නම් ඒ විද්‍යාත්මක විය යුතු ය හා පංචෙන්ද්‍රිය ගෝචර විය යුතුය යන අදහසක් පැතුරුණා. එහෙත් මේ දෙක එකිනෙකට පරස්පර බව පරස්පර ප්‍රතික්‍ෂෙප කරන්නේ යැයි කියූ බටහිර දැනුමට හසු වුණේ නැහැ.  වල්පොල රාහුල හිමියන් ද ඇතුළු බෞද්ධ උගතුන් යැයි කියා ගත්, කියා ගන්නා අය බුදුදහම  විිද්‍යාත්මක කළා, කරනවා. බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව කාට තේරුණත් මෙරට පඬියන්ට නම් තේරෙන එකක් නැහැ. කාලෝ ෆොන්සේකා බටහිර විද්‍යාවට කිසිදු සංකල්පයක් ප්‍රවාදයක් එකතු කර නැති වුවත් ඔහු මෙරට සැලකෙන්නේ බටහිර විද්‍යාවේ ප්‍රතිමූර්තිය ලෙස. ඔහුට රෝගයක් වැළඳුනත් එය ජාතික ප්‍රවෘත්තියක් බවට පත්වෙනවා! මෙරට අනෙක් පඬියන් ද බටහිර දැනුමට එකතු කර ඇති කෙන්ගෙඩියක් නැහැ.



එහෙත් ඊනියා නූතනවාදී අදහස් 1930 පමණ සිට කඩා වැටෙන්න පටන් ගත්තා. එහි දී විශේෂ කාර්යභාරයක් කෙරුණේ ක්වොන්ටම් භෞතිකයේ අනිශ්චයතා මුල ධර්මය, ද්විත්ව සිදුරු පරීක්‍ෂණය හා ගණිතයේ ගර්ඩ්ල් ප්‍රමේයය මගින්. ඊනියා පශ්චාත්නූතනත්වය නමින් හඳුන්වනු ලැබුයේ මේ කඩා වැටීමයි. එය විශේෂයෙන් ම ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ ඉලෙක්ට්‍රොනික විප්ලවය සමග බැඳුණා. අද කෘත්‍රිම බුද්ධිය තොරතුරු තාක්‍ෂණය ආදියෙහි මේ කඩාවැටීමේ ප්‍රතිඵල හා නව ලෝකයක් ගොඩ නැගීමේ ප්‍රවණතා දැකිය හැකියි. මේ ලෝකය ඊනියා නූතනත්ව ලෝකයට හාත්පසින් ම ප්‍රතිවිරුද්ධයි.  නව ලෝකය දේශපාලනයේ පිළිබිඹු වන්නේ ට්‍රම්ප්ගෙන් හා ඔහුගේ ප්‍රධාන උපදේශකයා වූ බැනන්ගෙන්. ඔවුන් අතින් තදබල වැරදි සිදුවෙනවා. එහෙත් ඔවුන් ඊනියා නූතනත්වයේ ජාත්‍යන්තරවාදයට විරුද්ධයි. බටහිර විද්‍යාඥයන් ට්‍රම්ප්ට විරුද් ධව බොස්ටන්හි පෙළපාලි යෑමට සූදානම් වෙනවා. මෙරට පඬියන් තවමත් ඊනියා ජාත්‍යන්තර මිනිසකු බිහි කිරීමක් ගැන කෑමොර දෙද්දී ට්‍රම්ප් ජාතිකත්වය ගැන කතා කරනවා!



පශ්චාත් සත්‍යය කියන්නේ ඊනියා සත්‍යයට වඩා ගැඹුරු සංකල්පයක් නො වෙයි. මෙරට ඉංගිරිසි පුවත්පතකට ලිපියක් ලියූ පඬියකු කිසිම දෙයක් ගැන නොදැන කියා සිටියේ ගැඹුරු පශ්චාත් සත්‍යය තවමත් මෙරටට ගෝචර නොවන බවයි. එහෙත් ඔහු නොදැන සිටි කරුණ නම් පශ්චාත් සත්‍යය යනු ඇඟට, හිතට දැනෙන්නක් මිස ඊනියා බුද්ධියට හසු වන්්නක් නොවන බවයි. පශ්චාත් සත්‍යයේ දී මිනිසුන් අර ඇරිස්ටෝටල්ගේ න්‍යාය පසුපස යන්නේ නැහැ. ඔවුන් හිතට දැනෙන අයුරින් තීරණ ගන්නවා. අර පඬියාට නොතේරුණත් බටහිර පඬියන් පශ්චාත් සත්‍ය ලෙස සලකන්නේ බ්‍රෙක්සිට් තීරණය, ට්‍රම්ප් ජයග්‍රහණය කරවීම, නැගී එන බටහිර ජාතිකත්වය ආදියයි. ඒ තීරණ බුද්ධිගෝචර නොවන බවයි ඔවුන් කියන්නේ.



මිනිසුන් හැමදාමත් ක්‍රියා කෙළේ හදවතට දැනෙන අයුරින් මිස ඊනියා බුද්ධියකට දැනෙන අයුරින් නො වෙයි. ඊනියා බුද්ධිගෝචර සත්‍යය මිනිසුන්ට උඩින් තිබුණේ හා තිබෙන්නේ ග්‍රීකයන්ගේ ලෝකයේ හා ඊනියා නූතනත්වයේ. එයට දායක වුණේ පඬියන්. බුද්ධිගෝචර වූ පමණින් යමක් ඊනියා සත්‍යයක් නොවන බවට හොඳම උදාහරණය බටහිර විද්‍යාවයි. අද මේ පඬියන්ගේ ලෝකය කඩා වැටී සාමාන්‍ය මිනිසුන්ගේ ලෝකයක් නැවත බිහිවෙනවා. එහෙත් අපේ රටේ ආධිපත්‍යය දරන්නේ පඬියන්. සයිටම් ප්‍රශ්නය විසඳාගන්න බැරි මේ පුහු පඬියන් නිසා. මොවුන් දන්න විද්‍යාවක්වත් නැහැ. ඊනියා පෙරටුගාමීන්ට කසිකබල් මාක්ස්වාදීන්ට ඉන්ද්‍රියානුභූතවාදීන්ට තේරෙන ක්වොන්ටම් භෞතික විද්‍යාවක් හෝ ගර්ඩ්ල් ප්‍රමේයයක් හෝ නැහැ. මේ ආධිපත්‍යය කෙතරම් ද යන්න කාලෝගේ රෝගය ජාතික පුවතක් බවට පත්වීමෙන් හෙළිවෙනවා.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.






නලින් ද සිල්වා



2017 පෙබරවාරි 25