Main Logo

Sunday 12 February 2017

බුද්ධාගම වෙනස්


බුද්ධාගම වෙනස්



සෑම ආගමකින් ම කියැවෙන්නේ එකම දෙය බවට මතයක් තිබෙනවා. ඊනියා සංහිඳියාවට එවැනි මතයක් අවශ්‍ය වනවා විය හැකියි. ඒ අතර බුදුදහම ආගමක් ද නැත් ද යන ප්‍රශ්නයත් ඇතැම් විට මතුකරනවා එය ප්‍රශ්නයක් වන්නේ ආගම යනු කුමක් දැයි නිර්වචනය කරන ආකාරයට. ඒ ගැන එතරම් කරදර වන්න දෙයක් නැහැ. ආගම එක විධියකට නිර්වචනය කළාම බුදුදහම ආගමක් වේවි. වෙනත් විධියකට නිර්වචනය කළාම ආගමක් නො වේවි. බුදුදහම ආගමක් නොවන විධියට ආගම නිර්වචනය කළොත් පඬියන් නම් අර්බුදයකට යාවි. බුදුදහම ආගමක් නොවේ නම් අනාගමික රාජ්‍යයක් ඇති කිරීම යන්න පිපිරුණු බැලුමක් මෙන් හැකිළේවි.




මා නම් බුද්ධාගමක් ගැන කියනවා. ඒ මගේ නිර්වචනය අනුවයි. අප මරණින් පසුව වන්නේ කුමක් ද කියන එක කතා කරනවා. මරණින් මතු භවය යහපත් කර ගැනීමට, නැවත භවයක් ඇති කර නොගැනීමට අප වෙහෙසනවා. අප ඒ සඳහා වත් පිළිවෙත් පුරනවා. එහෙත් බුද්ධාගම හා අනෙක් ආගම් අතර වෙනස්කම් රාශියක් තිබෙනවා. සෑම ආගමකින් ම කියන්නේ එකම ය යන්න බොරුවක්. ඒක සටන් පාඨයක් පමණයි. බෞද්ධයන් වෙනත් ආගම්වලට හරවා ගැනීමට නම් ඒ සටන් පාඨය හොඳයි. බුදුන් වහන්සේ සොක්‍රටීස් වැනි දාර්ශනිකයෙකුත් නො වෙයි.



බටහිර දර්ශනය හෙවත් ෆිලොසොෆි යන්නෙහි තේරුම ප්‍රඥාවට ඇති ආදරයයි. මෙහි ප්‍රඥාව යනුවෙන් පරිවර්තනය කෙරෙන්නේ විස්ඩම් යන්නයි. ඒ කුමක් වුවත් මෙහි ආදරය (ලව්) කියන වචනය තිබෙනවා. ආදරය යන්න අපේ සංස්කෘතියෙහි ඇති දෙයක් නො වෙයි. අපට සෙනෙහස කියා වචනයක් තිබෙනවා. අද ආදරය කියන වචනය තොරතෝංචියක් නැතිව යොදා ගැනෙනවා. අද ගායක ගායිකාවන්ට නළු නිළියන්ට පමණක් නොවෙයි ගත් කතුවරුන්ට සාහිත්‍යකරුවන්ට දේශපාලකයන්ට ආදී සෑම දෙනාට ම ආදරය කරනවා. විවිධ නිවේදකයන්ගේ කටේ අප ආදරය කරන ගායකයන් විතරක් නොවෙයි ආදරය කරන ගීතත් තියෙනවා. ඉස්සර අප කුඩා කළ ඔබ කැමති ගී යනුවෙන් ගුවන් විදුලි වැඩ සටහනක් තිබුණා. අද ඇත්තේ ඔබ ආදරය කරන ගීත. කැමැත්ත, සෙනෙහස, කරුණාව, මෛත්‍රිය ආදී සෑම දෙයක් ම ආදරය වෙලා. සතර බ්‍රහ්ම විහරණය වෙනුවට ආදරය ආදේශ වෙලා. ජාතික කොඩියෙන් බෝ පත් හතර විසි වීම පුදුමයක් නො වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවට යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ආදේශ වෙලා.



අපට බුද්ධ ශාසනයක් තියෙනවා. ත්‍රිවිධ රත්නයක් තිබෙනවා. සංඝයා වහන්සේ වැඩ සිටිනවා. සංඝයා වහන්සේ ප්ලේටෝගේ ගෝලයන් වැනි පිරිසක් නො වෙයි. උන්වහන්සේලා අතර රහතන් වහන්සේලා වැඩ සිටියා. උන්වහන්සේලා පූජ්‍ය මිසක් පූජක නො වෙයි. උන්වහන්සේලා පූජකවරුන් මෙන් දෙවියන් හා අප අතර සිටින පිරිසක් නො වෙයි. අද බටහිර විද්‍යාඥයන් ද පූජකයන් පිරිසක් වෙලා. ඔවුන් ඊනියා යථාර්ථය හා අප අතර සිටින පිරිසක් බවට පත් වෙලා.  රහතන් වහන්සේලා නිවන් අවබෝධ කරනවා. උන්වහන්සේ අපටත් නිවන් අවබෝධ කිරීමට උපදෙස් දෙනවා. බුදුන් වහන්සේ අනු දුන වදාළ මාර්ගයේ ගමන් කිරීමට අපට දේශනා කරනවා.



ඒ කුමක් වුවත් දර්ශනය කියන වචනයේ තේරුම දැක්ම කියන එක. ෆිලොසොෆි කියන විෂයට දර්ශනය කියලා කියන්න පුළුවන් ද කියන එකත් ප්‍රශ්නයක්. බුදුන් වහන්සේ ෆිලොසොෆියක් දේශනා කෙළේ නැහැ. බුදුදහම බටහිර අර්ථයෙන් දර්ශනයක් නො වෙයි. බෞද්ධ දර්ශනය යන්න ම වැරදි ව්‍යවහාරයක්. බුදුන් වහන්සේ සම්‍යක් දෘශ්ටියක් දේශනා කළා. ඒ සම්‍යක් වන්නේ නිවනට සාපේක්‍ෂව. නිවන් අවබෝධයට උපකාර වන්නේ සම්‍යක් දෘශ්ටිය. දෘශ්ටි සියල්ල වැරදියි. ඒත් අප උඩ බලන් හිටියාට නිවන් අවබෝධ වන්නේ නැහැ. ඒ සඳහා යමක් කළ යුතුයි. අඩුම තරමෙන් නොකළ යුතුයි. සම්‍යක් දෘශ්ටියෙන් කෙරෙන්නේ අපට නිවන් අවබෝධය සඳහා මගක් කියා දීමයි. එහෙත් එය ද අවසානයේ දී අත්හරිනවා. ගඟෙන් එගොඩ වීමට පාරුවක් අවශ්‍ය නමුත් ගඟෙන් එගොඩ වූ පසු පාරුව කර තබා ගෙන යන්නේ නැහැ.



සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩ නැගී ඇත්තේ නිවනට සාපේක්‍ෂවයි. අප ජීවත් වන්නේ ජීවිත චක්‍රය අවසන් කිරීමට. නැවත නූපදින්නට කටයුතු කිරීමට. නිවනට සාපේක්‍ෂව කිවුවට නිවන යනුවෙන් තැනක්, දෙයක් නැහැ. නිවන් දැකීම යනු යමක් දැකීම නො වෙයි. ඒ අවබෝධයක් කියා කියනවා. ඒ අවබෝධය ලබන්නේ කවු ද? ලෝකයේ තියෙන අමාරු ම ප්‍රශ්නය එය වෙන්න පුළුවන්. ඇරිස්ටෝටල්ගෙ ද්විකෝටිකය නම් එහි දී කිසිම ප්‍රයෝජනයක් නැහැ.



ද්‍රව්‍යවාදීන් මරණින් මත්තක් ගැන සිතන්නේ නැහැ. බටහිර විද්‍යාව ද්‍රව්‍යවාදීයි. ඇතැම් පඬියන් බුදුදහම බටහිර විද්‍යාව සමග එකඟ කරවීමේ දීන වෑයම සඳහා පුනබ්භවය අත්හරිනවා. ඔවුන් බටහිර නූතනත්වයට අවශ්‍ය අන්දමට බුදුදහම විකෘත කරනවා. වෙනත් ආගම්වල උත්සාහ කරන්නේ සදාකාලික ස්වර්ගයට යෑම,  බ්‍රහ්මන් සමග එක්වීම ආදියයි. ඒ සෑම තැනක ම සදාකාලික ජීවිතයක් බලාපොරොත්තු වෙනවා. ඔවුන් මරණය ජය ගන්නේ මරණය නැති සදාකාලික ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සලසා ගැනීමෙන්. එනම් එවැනි උත්පත්තියක් අත් කර ගැනීමෙන්.    



එහෙත් බෞද්ධයන් මරණය ජයගන්නේ නැවත නූපදීමෙන්. නැවත උපදින්නේ නැත්නම් මරණයක් ද නැහැ. එය නම් හරිම සරලයි. එහෙත් නැවත නූපදීම අමාරුයි. මරණය නැති කිරීමට, ඒ ජය ගැනීමට, නැවත නූපදින ලෙස ඉගැන්වෙන්නේ බුද්ධාගමෙයි. බුද්ධාගම හා අනෙක් ආගම් අතර ඇත්තේ මොන තරම් වෙනසක් ද?





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org

               

නලින් ද සිල්වා



2017 පෙබරවාරි 12