Main Logo

Sunday 19 February 2017

සයිටම් රැල්ල පසුපස එන සුනාමිය


 සයිටම් රැල්ල පසුපස එන සුනාමිය

ජනමාධ්‍ය සම්බන්ධයෙන් මට එතරම් පැහැදීමක් නැති බව පළමුවෙන් කිව යුතුයි. කාලයකට පසු පුවත්පතකට ලිපි ලිවීමට තීරණය කෙළේ මා ළඟින් ඇසුරු කරන කිහිප දෙනකුගේ ආරාධනය පරිදි බවත් කිව යුතුයි. අද මම සමාජයෙන් එක්තරා දුරකට වෙන් වී සිටිමි .එයට හේතු ගණනාවක් වෙයි. ඒ හේතු කවරේදැයි කීම අනවශ්‍ය යැයි සිතමි. මගේ බොහෝ අදහස් සමාජයට නොදිරවන බව පමණක් කීමට අවශ්‍ය වෙයි. ජනමාධ්‍ය බොහෝ විට රැල්ල අනුව යන බව දනිමි. අද රැල්ල අනුව නම් සයිටම් ආයතනයට අප විරුද්ධ විය යුතුයි. එහෙත් සයිටම් හා නිදහස් අධ්‍යාපනය ගැන බොහෝ දෙනාට ඇති වැටහීම මට නැත්තේ මගේ වරදක් නිසා විය හැකියි. එහෙත් වැඩි දෙනකු වෛද්‍ය ආඥාපනත හෝ විශ්වවිද්‍යාල පනත හෝ කියවා නැති බවත් පැහැදිලියි.  පහුගිය දා සයිටම් ගැන පළ කෙරුණු අභියාචනා තීන්දුව කී දෙනෙක් කියවා ඇත් ද?


මා දැන් ලියන්නේ කාලය වෙබ් අඩවියට පමණයි. ඒ ලිපිය දිනපතා පළවෙන අතර එය පිටපත් කෙරී මුහුණු පොතේ ද පළකිරීමට මගේ හිතවතුන් පියවර ගෙන ඇති බව කිව යුතුයි. මුහුණු පොතේ බොහෝ දෙනාට මුහුණු නැති බවත් මම දැන් දනිමි. ඔවුන්ට ඇත්තේ ව්‍යාජ ගිණුම් පමණයි. ව්‍යාජ ගිණුමක් නිර්මාණය කර විවිධ කරුණු ප්‍රකාශ කිරීම කැලෑ පත්තර පළ කිරීමට සමාන බව අවධාරණය කළ යුතුයි. මුහුණු පොත කැලෑ පත්තර ගොණුවක් බවට පත් වීම වළක්වන්නේ කෙසේ ද යන්න තරුණයන්ගේ  අවධානයට යොමු විය යුතු යැයි සිතමි. මුහුණු පොත කොන්දක් ඇති අයට පමණක් සීමා කිරීමට ක්‍රමයක් සකස් කර ගත යුතුයි. එහෙත් එයට ආණ්ඩුව මැදිහත් වීම නම් එතරම් හොඳ දෙයක් නො වෙයි.

අද සිට නැවතත් රිවිර පුවත්පතට ලියන්නේ කලින් කී පරිදි හිතවතුන් කිහිප දෙනකුගේ ආරාධනය පරිදියි. මට හිතවතුන් ඇත්තේ කිහිප දෙනකු පමණයි. සයිටම් ගැන මා ලියා ඇති කරුණුවලින් ප්‍රධාන වන්නේ නිදහස් අධ්‍යාපනය යනු කුමක් දැයි දක්වා ඇති දේ බව අවධාරණය කළ යුතුයි. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය ඇති කෙළේ සේනානායකලාට ජයවර්ධනලාට හා ලේක්හවුසියට විරුද්ධවයි. එතුමාට පක්‍ෂව සිටියේ විද්‍යාලංකාර පිරීවෙන, භික්‍ෂූන් වහන්සේ, වාමාංශික පක්‍ෂ හා ගැමි ජනතාව පමණයි. නිදහස් අධ්‍යාපපනය බිහි කළ කන්නන්ගර මහතා මතුගම ආසනයෙන් පැරදවීමට එ ජා පක්‍ෂය ක්‍රියා කළ බව ඇතැම් ඇමතිවරුන්ගේ දැන ගැනීම සඳහා කිව යුතුයි.

බොහෝ දෙනා කියවා නැති බැවින් මම මෙහි දී කාලය වෙබ් අඩවියේ පසුගියදා පළවූ ලිපියක් පළ කරමි. එය ලියා ඇති ශෛලිය වෙනස් බව පමණක් සඳහන් කරමි. 

“"මේ යන පිළිවෙළ ගැන කිසිම ආකාරයකින් සෑහීමට පත්වන්න බැහැ. විශාල අනතුරක සේයාවක් වැටී තිබෙනවා. සයිටම් විරෝධී පෙළපාලි, උද්ඝෝෂණ අන්තරේ දෛනික කටයුත්තක් බවට පත් වෙලා. එය මෙහෙයවන්නේ පෙරටුගාමීන්. ජ වි පෙරමුණත් විශ්වවිද්‍යාලවල නැවතත් බලය සඳහා සටන් කරනවා. සයිටම් නිදහස් අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයක් නො වෙයි. හැඟීම් අවුස්සන උපාධි කඩේ ආදී සටන්පාඨවල වලංගුබවක් නැහැ. මේ රටේ විවෘත විශ්වවිද්‍යාලයත් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයත් සිසුන්ගෙන් මුදල් අයකරනවා. ඒවා ලාභ ලබන ආයතන නොවෙයි කියන එක වලංගු නැහැ. ඒ නිකම් පුහු තර්ක. වැදගත් වන්නේ සිසුන් පාඨමාලා සඳහා මුදල් ගෙවනවා ද නැද්ද යන්නයි.

අනෙක් පැත්තට ලාභ ලබන ආයතන රාශියකින් ම විවිධ උපාධි ලබා දෙනවා. ඒවාට විරුද්ධව කිසිම උද්ඝෝෂණයක් කෙරෙන්නේ නැහැ. ඒවාහි ප්‍රමිතියක් ගැන කතා කරන්නේත් නැහැ. මේ ගැන මා ලිපි කිහිපයක් ම ලියා ඇති බැවින් තව දුරටත් කරුණු දැක්වීම අවශ්‍ය යැයි මා සිතන්නේ නැහැ. සයිටම් හි ප්‍රමිතිය පිළිබඳ ව නම් ප්‍රශ්න තිබෙනවා. ඒවාට විසඳුම් ද ඉදිරිපත් කර තිබෙනවා. මෙහි දී කිවයුතු කරුණක් නම් ඇතැම් රජයේ වෛද්‍ය විද්‍යා  පීඨවලත් ප්‍රමිතිය ගැන ප්‍රශ්න තිබෙන බවයි. අප ඒවාත් වසා දමනවා ද?

එහෙත් සයිටම් සම්බන්ධ වෙනත් ප්‍රශ්න තිබෙනවා. රාජිත සේනාරත්න සයිටම් විරෝධියකු නො වෙයි. එහෙත් කාලෝ ෆොන්සේකා එදා කෙසේ වෙතත් අද සයිටම් විරෝධියෙක්. ඔහු විරුද්ධ වන්නේ ප්‍රතිපත්තියක් මත යැයි කියාවි. 2012 ජනවාරියේ දී ඔහු අවුරුදු පහකට වෛද්‍ය සභාවේ සභාපති ලෙස පත්කරනු ලැබුයේ පසුගිය ආණ්ඩුව විසින්. ඔහු එකල ප්‍රතිපත්තියක් මතවත් සයිටම් විරෝධියකු වූයේ නැහැ. එස් බී දිසානායක කාලයේ ඔහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයකු ව සිටියා. සයිටම් අනුමැතිය දුන් ඇතැම් කමිටුවල ඔහු සාමාජිකයකු වුනා. එහෙත් පසුව ඔහු සයිටම් විරෝධියකු වුනා.  සයිටම් හෝ වෙනත් ආයතනයක් හෝ උපාධි ලබා දෙන ආයතනයක් බවට ප්‍රකාශ කිරීමට බලය ඇත්තේ උසස් අධ්‍යාපන ඇමතිට පමණයි. සෞඛ්‍ය ඇමතිට ඒ සම්බන්ධ කිසිම බලයක් නැහැ. ඉංජිනේරු උපාධි ලබා දෙන ආයතනයක් සම්බන්ධයෙන් වුවත් ඒ බලය ඇත්තේ උසස් අධ්‍යාපන ඇමතිට පමණයි. එහි දී වාර්මාර්ග, මහාමාර්ග හෝ ඉංජිනේරු වෘත්තියට අදාළ වෙනත් අමාත්‍යංශවල හෝ ඇමතිවරුන්ට බලයක් නැහැ.

වෛද්‍ය සභාවටත් උපාධි ලබාදෙන ආයතනයක් අනුමත කිරීමේ බලයක් නැහැ. මෙහි දී වෛද්‍ය සභාව කරළියට එන්නේ වෛද්‍ය උපාධිධාරින් වෛද්‍යවරුන් ලෙස ලියා පදිංචි කිරීමේ දී පමණයි. ලියා පදිංචිය දෙයාකාරයි. යාවකාලීන හා ස්ථිර වශයෙන්. එහෙත් එහිදීත් නීතිය හිතන තරම් සරල නැහැ. සෞඛ්‍ය ඇමතිටත් එහි දී යම් බලතල තිබෙනවා. පවත්නා නීතිය එයයි. එය වැරදි වුවත් නිවැරදි වුවත් අද කටයුතු කිරීමට සිදු වී ඇත්තේ පවත්නා නීතිය අනුවයි. වෛද්‍ය සභාව එක් සයිටම් සිසුවියකගේ යාවකාලීන ලියා පදිංචියට අවසර දීම ප්‍රතික්‍ෂෙප කිරීමෙන් නීතිය ඉක්මවා ක්‍රියා කර ඇති බව අභියාචනාධිකරණය තීරණය කළා. නීතිය ඉක්මවා ක්‍රියා කළ වෛද්‍ය සභාවේ සභාපති ලෙස කටයුතු කෙළේ කාලෝ ෆොන්සේකා. වෛද්‍ය සභාව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහි ව ශ්‍රෙෂ්ඨාධිකරණයට යාවි. එය ඔවුන්ගේ අයිතියක්.

මට තිබෙන ප්‍රශ්නය එය නො වෙයි.  අභියාචනාධිකරණයෙන් යට කියන ලද තීන්දුක් ලැබූ වෛද්‍ය සභාවේ සභාපති කාලෝ ෆොන්සේකාට සයිටම් විරෝධියකු නොවන රාජිත සේනාරත්න විසින් පසුගිය දා වෛද්‍ය සභාවේ සභාපති ලෙස සේවා දිගුවක් ලබා දුන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. එය යහපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණය පෙන්නුම් කරන්නක් කියා කාට හරි කියන්න පුළුවන්. එහෙත් ඊනියා යහපාලනය එතරම් ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව කාලෝගේ බෑණා රන්ජන් රාමනායක වුවත් දන්නවා. මෙය ගැටළුවක්. එසේ ම රාජිත සේනාරත්නගේ ළඟ ම හිතවතකු වෛද්‍ය සභාවේ පෙනී සිටින්නේ සයිටම්වලට විරුද්ධව කාලෝ සමගයි. රාජිත මේ අයට එසේ ක්‍රියා කිරීමට පූර්ණ නිදහස දී තිබෙනවා යැයි කාට හරි කියන්න පුළුවන්. එසේ ම ඒ හිතවතා ඊයේ පෙරේදා සයිටම් විරේධියකු වූ චම්පක සමගත් ආන්දෝලනයට ලක් වූ සම්බන්ධකම් ඇති බවට කතා පැතිර යනවා.

ඒ කතාවල සත්‍යතාව කුමක් වුවත් අප ජීවත්වන්නේ ඩීල්ලන්තයේ බව අමතක කරන්න බැහැ. සයිටම් ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුවට අවශ්‍ය නැද්ද? සයිටම් යොදගෙන භීෂණයක් ඇති කිරීමට අවශ්‍ය කාට ද? ඉන්දියාවේ රෝ ඔත්තු සේවයට ද? ජනාධිපති පත්කරනවා යැයි කී විද්වත් කමිටුව අද හෙට පත් කරනවා ද? ප්‍රශ්නය ඇද ගෙන යෑමේ වුවමනාවක් තිබෙනවා ද? ඒකාබද්ධ විපක්‍ෂය සයිටම් ප්‍රශ්නයෙන් දේශපාලන වාසියක් ලබා ගැනීමට උත්සාහ නොකළ යුතුයි. සයිටම් ජනසතු කළ යුතු ය කීම හිස් සටන් පාඨයක්. සයිටම් ප්‍රශ්නය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නයට වඩා හාත්පසින් වෙනස්. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයේ සේවා ලබා ගනිමින් එහි සිසුන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා දීමට කටයුතු කළා. එහි දී එයට මුල දී විරුද්ධ වූයේ කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය කොල්වින් ගුණරත්න මිස කාලෝ නො වෙයි. කාලෝ විරෝධතා ව්‍යාපාරයට එකතු වූයේ පසුවයි.

කාලෝට අනුව ආචාර ධර්ම තීරණය කෙරෙන්නේ බහුතරය විසින්. වෙනත් වචනවලින් කියනවා නම් රැල්ල අනුව. ඔහු එහි දී ඇරිස්ටෝටල් ආචාර ධර්ම ගැන කී දේත් යොදා ගන්නවා (පෙබරවාරි 15 දි අයිලන්ඩ් පුවත්පත බලන්න). සිංහල බෞද්ධයන්ට ඇරිස්ටෝටල් කෙරුමකු නො වෙයි. බුදුන් වහන්සේ හොඳ නරක කියා දුන්නේ රැල්ල අනුව නො වෙයි. උන්වහන්සේ බමුණන්ගේ රැල්ලට යට වුනේ නැහැ. රැල්ල සකස් කරන්නේ කවුද කෙසේද යන්නට ඇරිස්ටෝටල් කියන්නේ කුමක් ද?

අද වැදගත් ප්‍රශ්නය ව්‍යවස්ථාව. ජයම්පති වික්‍රමරත්න කියනවා සති දෙකකින් ඒ ඉදිරිපත් කරන්න පුළුවන් කියා. දැනටමත් කෙටුම්පත් කර ඇති දෙයක් ඉදිරිපත් කරන්න දවසකිනුත් පුළුවන්. සයිටම් භිෂණයක් මත නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ආණ්ඩුව ක්‍රියා කරාවි. අප එයට කිසිසේත් ඉඩ දිය යුතු නැහැ. වහාම සයිටම් සඳහා විසඳුමක් දිය යුතුයි. රැල්ලට නොයන බටහිර වෛද්‍යවරුන් සුදුසු ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ යුතුයි."
අවසාන වශයෙන් ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරුන් අර ව්‍යවස්ථාව සම්බන්ධ ඊනියා අනුකමිටුවලින් අස්වීමට තීරණය කිරීම ගැන සතුට ප්‍රකාශ කළ යුතුයි. මෙහෙයුම් කමිටුවේ මන්ත්‍රීවරුන් දෙදෙනා ද ඉක්මණින් ම එයින් ඉවත් විය යුතුයි. අද කළ යුත්තේ ව්‍යවස්ථාව පැරදවීමට කළ හැකි සෑම දෙයක් ම කිරීමබව අවධාරණය කළ යුතුයි. 
 
නලින් ද සිල්වා

2017 පෙබරවාරි 19