හාවයි ඉබ්බයි කියන දේ
හාවට ඉබ්බා පරදවන්න නොහැකි වූයේ ඇයි. මා කතා කරන්නේ හාවයි ඉබ්බයි එකට
තරගය පටන්ගෙන හාවා ටිකක් දුර දුවගොස් නිදාගෙන සිටින අතර ඉබ්බා ඉබි ගමනින් ගොස්
හාවා පසුකර ගිය කතාව නො වෙයි. මේ කතාව වෙනත් එකක්. ඒත් ඒකත් හැමෝම වගේ දන්නවා. මේ
තරගයේ ඉබ්බා කලින් පිටත් වෙනවා. හාවා එතැනින් ම පිටත්වන්නේ පසුවයි. අපි හිතමු හාවා
පිටත් වෙන්නේ ඉබ්බා අඩි විස්සක් ගමන් කර ඇති විට කියා. ඉබ්බගේ වේගය තත්පරයට අඟලයි
කියා. මෙය උදාහරණයක් පමණයි. ඉබ්බගේ වේගය මෙය නොවේය කියා ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය
නැහැ. බොහෝ දෙනකුගේ ප්‍රතිචාර එහෙමයි. තවත් අය විශ්ලේෂණය කරලා පඬි ප්‍රතිචාර
දක්වනවා මේ කතාවෙ වගේ.
ඉබ්බගේ වේගය තත්පරයට අඟලක් නිසා අඩි විස්සක් ගමන් කරන්නට තත්පර 240ක්, එනම්
විනාඩි හතරක් යනවා. ඒ කියන්නේ හාවා පිටත් වෙන්නේ ඉබ්බා පිටත් වෙලා විනාඩි හතරකින්
පසුවයි. හාවගේ වේගය තත්පරයකට අඟල් එකොළහ කියා හිතමු. හාවා ඊට වැඩි වේගයකින් දුවනවා
වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. දැන් ප්‍රශ්නය හාවට ඉබ්බා පසු කිරීමට හාවා පිටත්
වීමෙන් පසුව කොපමණ වෙලාවක් යනව ද කියන එක.
මෙය ඒ තරම් අමාරු ප්‍රශ්නයක් නො වෙයි. එ ගණන හදාගන්න ක්‍රම කිහිපයක්
තියෙනවා. ඉබ්බට සාපේ’ක්‍ෂව හාවගේ වේගය සොයන්න පුළුවන්. ඒ කියන්නෙ ඉබ්බගෙ රාමුවෙ
හාවගෙ වේගය කොපමණ ද කියා හොයන එක. එහෙමත් නැත්නම් ඉබ්බා නිසල ව ඇතැයි ගනිමින්
හාවගෙ වේගය ගණනය කිරීම. කවුරු හරි ප්‍රතිචාර දක්වලා විරුද්ධ වෙන්නත් පුළුවන් ඉබ්බා
නිශ්චල ව නැතැයි කියා. ඉබ්බා තත්පරයකට අඟලක වේගයෙන් යනව නම් ඉබ්බා නිශ්චල ව
ඉන්නවයි කියලා ගන්නෙ කොහොම ද කියලා අහන්න බැරි නැහැ. ඒ පඬි කතා.
දැන් පොළොව තම අක්‍ෂය වටේ භ්‍රමණය වෙනවා. ඒ අතර සූර්යයා වටෙත් යනවා.
එහෙම වුනත් අපට පේන්නෙ පොළොව ගමන් කරන්නෙ නැහැ කියලා. පොළොව නිශ්චල ව තියෙනවා
කියලා අපට හිතන්න පුළුවන්. එවිට සූර්යයා අපට පේන්නෙ ගමන් කරනවා කියා. මේක තමයි
වැදගත් සංකල්පය. පේන්නෙ කොහොම ද කියන එක. ඕකට තමයි සාපේක්‍ෂතාව කියන්නෙ. පේන
විධිය. එක එක්කෙනාට එක එක දේවල් පෙනෙන්නෙ එක එක විධියට. ඔය සාපේක්‍ෂතාව නිසා තමයි
පොළොවට සාපේක්‍ෂව සෙනසුරා වක්‍ර වෙන්නෙත් සූර්යයාට සාපේක්‍ෂව වක්‍ර නොවෙන්නත්. අප
කේන්දර බලන්නෙ පොළොව ඉඳන් මිස ඉරේ ඉඳන් නොවන බැවින් සෙනසුරාගේ වක්‍ර වීම අපට
වැදගත්. පඬියන් අපට කියන්නෙ ඉරේ ඉඳන් ග්‍රහ වස්තුවල චලිත බලන්න. ඒකෙන් පඬියන්ට
වැඩක් වුනත් කේන්දරේට වැඩක් නැහැ. හැබැයි
නිර්මාණාත්මක සාපේක්‍ෂතාව කියන්නෙ ඒක නො වෙයි. ඒකෙ දි එක එක දේවලුත් එක එක්කෙනාමයි
නිර්මාණය කරන්නෙ. ඒ තම තමන්වත් නිර්මාණය කරලා.
ඒ පණ්ඩිතකම් පැත්තකින් තියමු. ඉබ්බට පේන්නෙ හාවා තත්පරයකට අඟල් දහයක
වේගයෙන් තමන් පසු පස එනවා කියා. පටන් ගන්න කොට හාවා ඉබ්බට අඩි 20ක්, අඟල්
240ක් පස්සෙන් ඉන්නෙ. රනිල් කියන්න වගේ
එහෙනන් හාවට ඉබ්බා පහු කරන්න ඉබ්බා හිතන විධියට තත්පර 240/10 = තත්පර 24ක්් යනවා. හාවයි ඉබ්බයි දෙන්න ම කාලය මනින්නෙ එකම විධියට නම්,
ඒ කියන්නෙ නිවුටන් කියන විධියට නම්, හාවත් හිතන්නෙ තත්පර 24කින් ඉබ්බා පහු කරනවා කියලා. ඒ කියන්නෙ ඉබ්බා පිටත්වෙලා විනාඩි 4යි තත්පර 24කින් පස්සෙ. හාවා ඉබ්බා පහු කරන විට
හාවයි ඉබ්බයි අඟල් 264ක්, එනම් අඩි 22ක් ගමන් කරල තියෙනවා. හාවා ඒ වේගයෙන් ම දිගට ම යනවා කියලා හිතමු. හාවා අඩි 22ක් ගමන් කරලා නැවතුනොත් හාවට ඉබ්බා පහු කරන්න බැහැ. අල්ලන්න පුළුවන්.
මේ ගණන ඕන නම් වීජ ගණිතය යොදා ගෙනත් හදන්න පුළුවන්. තවත් ක්‍රමවලටත් හදන්න
පුළුවන්. ප්‍රතිචාරකයකු කියන්න පුළුවන් මීට වඩා ලෙහෙසි ක්‍රම තියෙනව කියලා. එහෙමත්
නැත්නම් අයින්ස්ටයින්ට අනුව ඕක ඔහොම නොවෙයි කියලා. ක්වොන්ටම් හාවා ක්වොන්ටම් ඉබ්බා
අපට පේන්න දුවන්නෙ නෑ කියලත් කියන්න පුළුවන්.
අපි ඒ පඬි කතා පැත්තකින් තියලා දැන් වෙනත් විධියකට තර්ක කරමු. හාවා
පිටත් වෙන කොට ඉබ්බා අඩි විස්සක් ගිහින්. ඉබ්බා පහු කරන්න නම් හාවා ඒ අඩි විස්ස
යන්න ඕන. හැබැයි හාවා අඩි විස්ස යන කොට ඉබ්බා නැවතිලා ඉන්නෙ නැති නිසා තව දුරක්
ගිහිල්ල. ඒ දුර අඟල් 240/11 = අඩි 20/11. දැන් ඉබ්බා පහු කරන්න නම් හාවා ඒ දුරත් යන්න ඕන. හාවා ඒ දුර යන
කොට ඉබ්බා තවත් ටික දුරක් ගිහින්. ඒ දුර කොපමණ ද කියලා ගණනය කරන එකත් අමාරුවක්
නැහැ. ඒක අඩි 20/11/11 ඒ කියන්නෙ අඩි 20 (1/11)
(1/11) . එහෙනන් ඉබ්බා පහු කරන්න හාවා ඒ දුරත්
යන්න ඕන. හාවා ඒ දුර යන කොට ඉබ්බා තව ටිකක් දුරක් ඒ කියන්නෙ අඩි 20 (1/11)
(1/11) (1/11) ක් යනවා. ඉතින් ඔහොම යනවා. ඉබ්බා යම්
දුරක් යනවා. හාවා ඒ දුර යන කොට ඉබ්බා තවත් දුරක් යනවා. මේකෙ කෙළවරක් නැහැ. ඒ
කියන්නෙ හාවට ඉබ්බා පහු කර යනවා තියා අල්ල ගන්නවත් බැහැ.
ඒ වුනාට අප දන්නවා හාවා ඉබ්බා පහු කරන බව. එහෙනන් මේ තර්කයේ වැරුද්ද
මොකක් ද? ක්‍රමයෙත් වැරැද්දක් තියෙනවා. වැරැද්ද
ඇත්තෙ නිගමනයෙ. අපි හිතනවා අනන්ත වාරයක් අර විශ්ලේෂණය කරන්න ඕන නිසා හාවට අනන්ත
දුරක් යන්නෙ නැතිව ඉබ්බා පහු කරන්න බැහැ කියලා. ඒත් අපි හාවා යන දුර එකතු කරමු. ඒ
එකතුව අපට මෙහෙම ලියන්න පුළුවන්. අඩි 20+20(1/11) + 20 (1/11)(1/11) + 20
(1/11)(1/11)(1/11) + ….. .. + .. ..+ ආදී වශයෙන්. මෙහි අනන්ත පද තියෙනවා.
ඒත් ඒ පදවල එකතුව අනන්තය නො වෙයි. අප වැරදි නිගමයකට එළඹෙන්නෙ මේ අනන්ත පදවල එකතුව
අනන්තය කියලා උපකල්පනය කරන නිසා. ඒ එක්ක අප හිතනවා වැඩේට අනන්ත කාලයක් යනව කියලා.
සාමාන්‍ය පෙළට ගණිතය හදාරල තියෙන අය දන්නවා අර විධියෙ පද අනන්තයක්
තියෙන කොට එකතු කරන විධිය. ඒකට සූත්‍රයකුත් තියෙනවා. ඒ සූත්‍රයට අනුව පදවල එකතුව 20/(1-1/11).
එනම් ගිය දුර අඩි 22. මේ ගුණොත්තර ශ්‍රේඪියක එකතුව ගණනය කරන විධිය. හාවා ගිය දුර අඩි 22 නම් ඒකට අනන්ත කාලයක් ගත වෙන්නෙ නැහැ. ඒ කාලය
තත්පර 264/11 = තත්පර 24 කියලා ගණනය කරන්නත් පුළුවන්.
විශ්ලේෂණය හොඳයි. ඒත් ඒක ඕනවට වඩා කරන්න හොඳ නැහැ. ඕනවට වඩා
විශ්ලෙෂණය කළොත් හාවට ඉබ්බා පහු කරන්න බැහැ. විශ්ලේෂණය කරන අතරෙ සංස්ලේෂණයත් තියෙන්න ඕන. ඒ කියන්නෙ ප්‍රශ්නයක්
කෑලි වලට කඩන අතරෙ සමස්තයත් බලන්න ඕන. හාවයි ඉබ්බයි අපට කියන්නෙ ඒකයි.
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 පෙබරවාරි 02