Main Logo

Tuesday 14 February 2017

රනිල්ගේ ව්‍යවස්ථා සැලසුම් පරාජය කරමු

රනිල්ගේ ව්‍යවස්ථා සැලසුම් පරාජය කරමු


ව්‍යවස්ථාව ගැන ජාතිකවාදී බලවේග දක්වන උනන්දුව කිසිසේත් ම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයත් ඊනියා වාමාංශික බලවේගත් සයිටම්, බැඳුම්කරය ආදිය ගැන දක්වන උනන්දුවෙන්  සුළු කොටසක්වත් ව්‍යවස්ථාව ගැන නෙදැක්වීම කණගාටුදායකයි. රටේ ප්‍රධාන ම ප්‍රශ්නය ව්‍යවස්ථාවයි. ජාත්‍යන්තර සුපිරිව්‍යුහය මේ ආණ්ඩුව (රනිල් සුමන්තිරන් ආණ්ඩුව) බලයට පත් කෙළේ ම රට දෙකඩ කරන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටයි. අනෙක් සියළු ප්‍රශ්න ද ආණ්ඩුව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා සුදුසු පරිදි යොදා ගනීවි.


එහි දී භිෂණය ද යොදා ගැනීමට ඇති ඉඩකඩ ඉතා අධිකයි.  භිෂණය වැපිරීම සඳහා සයිටම් හොඳ තෝතැන්නක්. සයිටම් සඳහා විසඳුමක් දීම ඉතා වැදගත්. අද එය සයිටම් සිසුන්ගේ සායනික පුහුණුව ඇතුළු ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් පමණයි. ඊනියා උපාධි කඩ කතාව හැඟීම් ඇවිස්සීම සඳහා දේශපාලනඥයන් කරන ප්‍රකාශ පමණයි. සයිටම් උපාධි කඩයක් වන්නේත් කොතලාවල ආරක්‍ෂක හා විවෘත විශ්වවිද්‍යාල උපාධි කඩ නොවන්නේත් කෙසේ දැයි පඬියකු තේරුම් කර දෙන්නේ නම් හොඳයි. කඩ ඇත්තේ පෞද්ගලික අංශයේ පමණ ද?  සයිටම් සඳහා අප විසඳුම් ඉදිරිපත් කර ඇති. ඒවා සාකච්ඡාවට ගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. පසුගිය දා උසස් අධ්‍යාපන ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ව්‍යවස්ථාව ජනමත විචාරණයක් සඳහා ඉදිරිපත් කරන බවයි. ඔහු ඒසේ කියන්න ඇත්තේ සභානායක ලෙසින් විය යුතුයි. සම්බන්ධන් ද කාලයක් තිස්සේ ජනමත විචාරණයක් ඉල්ලනවා. එසේ කරන්නේ රනිල්ගේ අවශ්‍යතාවට.  රනිල් සුමන්තිරන් ආණ්ඩුව ජනමත විචාරණයක් සඳහා සූදානම් වන බව පැහැදිලියි.

ආණ්ඩුව ජනමත විචාරණය භීෂණය මැද පැවැත්වීමට ඉඩ තිබෙනවා. එහි දී අපට සැනසිය හැකි කරුණු දෙකක් තිබෙනවා. එකක් පසුගිය දා මහින්ද රාජපක්‍ෂ කළ ප්‍රකාශය. ඔහු කියා සිටියේ නව  ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවටවත් කාටවත් ජනවරමක් නැති බවයි. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මන්ත්‍රී ධුර 150ක් තබා 113ක්වත්  එ ජා පෙරමුණට ලැබුණේ නැහැ. අනෙක් කරුණ මෛත්‍රිපාල සිිරිසේන ඊනියා පොදු අපේක්‍ෂකයා ලෙස මැතිවරණයට ඉදිරිපත් වීමේ දී  ජනමත විචාරණයකට යෑමට අවශ්‍ය නොවන කරුණු සම්බන්ධයෙන් පමණක් ව්‍යවස්ථා සංශෝධනයක් කරන බවට දුන් පොරොන්දුවයි. ඔහු නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමක් ගැන කිවුවේ නැහැ.  ඔහුට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටවත් ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමටවත් අයිතියක් නැහැ.

එහෙත් රනිල් චන්ද්‍රිකා ඔහු මත බලපෑම් කිරීමට ඉඩ තිබෙනවා. මෛත්‍රිපාල ඔවුන්ගේ සිරකරුවකු නොවිය යුතුයි. මෛත්‍රිපාල ජනාධිපති වූයේ  එ ජා ප, දෙමළ ජාතික සංධාන හා මුස්ලිම් කොංග්‍රස් ඡන්ද මගින් බව ඇත්ත. එහෙත් ඔහු අද ජනාධිපති. ඔහු ඉවත් කිරීමට ඒ පක්‍ෂවලට බැහැ. එසේ ම ඔහුගේ ශක්තියට ඇත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ දී ඉදිරිපත් කරන ලද ප්‍රකාශය. එහි කියැවෙන්නේ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් නොකරන බවයි. සිංහල බෞද්ධ විරෝධී රනිල්ට හා දෙමළ ජාතිවාදීන්ට එරෙහිව මෛත්‍රිපාලට තම ජනාධිපතිවරණ ප්‍රකාශය ඉදිරිපත් කළ හැකියි. එසේ කරන්නේ නම් ඔහුට ඒකාබද්ධ විපක්‍ෂයේ සහාය දිය යුතුයි. ඔහු ආප්ප මගින් කළ පාවාදීම අමතක කරන්න බැහැ. එහෙත් ඔහු ජනමත විචාරණයකට විරුද්ධ නම් එහි දී ඔහුට සහාය දිය යුතුයි.

අගෝස්තු මැතිවරණයේ දී සංධානය ඉදිරිපත් වූයේත් ව්‍යවස්ථා සංශෝධනයකට පමණයි. ඔවුන්ට අද ඒකාබද්ධ විපක්‍ෂයේ සිටියත් මෛත්‍රිපාලගේ මැති ඇමතිවරුන් ලෙස සිටියත් නව ව්‍යවස්ථා සම්පාදනයකට එකඟ වීමට බැහැ. අද නව ව්‍යවස්ථා විරෝධී පුළුල් පෙරමුණක අවශ්‍යතාව පැන නැගී තිබෙනවා. අද කෙරී ගෙන යන්නේ නව ව්‍යවස්ථා සම්පාදනයක්. එහි දී කසිකබල් මාක්ස්වාදීන් ද ඇතුළු සිංහල විරෝධී කණ්ඩායම් එක පිළක ඉන්නවා. අපට අද ඇත්තේ මේ කණ්ඩායම් පරාජය කිරීමේ කාර්යය මිස මීළඟ ජනාධිපතිවරණයට සූදානම් වීම නො වෙයි. නව ව්‍යවස්ථාවෙන් අගමැතිට බලය ගෙන දේවි. එවිට ජනාධිපති වීමත් හිස් බලාපොරොත්තුවක් පමණක් බවට පත් වේවි.

ආණ්ඩුවේ ඕනෑම ක්‍රියා මාර්ගයකට අප සූදානම් විය යුතුයි. ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයක් ඇති කිරීම ම වැරදියි. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීම හෝ කළ යුත්තේ පවත්නා ව්‍යවස්ථාවට අනුකූලවයි. එසේ කළ නොහැකි වූ එක් අවස්ථාවක් පමණක් තිබුණා. ඒ සෝල්බරි ජෙනිංග්ස් ව්‍යවස්ථාවෙන් ජනරජ ව්‍යවස්ථාවකට මාරු වීමේ දී. අපට එය එංගලන්ත පාර්ලිමේන්තුව මගින් කිරීමට නොහැකි බැවින් බණ්ඩාරනායක මැතිණිය ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටුවා එමගින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළා. ඒ සඳහා 1970 දී ඇයට ජනවරමක් ද ලැබී තිබුණා. නව ව්‍යවස්ථාව එදා එංගලන්ත පාර්ලිමේන්තුව ඇති කළ මෙරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ.

අද ආණ්ඩුව නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නත් පුළුවන්. නොකර සිටින්නත් පුළුවන්. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළොත් ඡන්ද තුනෙන් දෙකක් නොදීමට කටයුතු කළ යුතුයි. එය කළ හැක්කේ මොන තරම් භේද තිබුණත් සංධානයේ මන්ත්‍රීවරුන් අඩුම තරමෙන් හැත්තෑහය දෙනකු එකට සිටීමෙන් පමණයි. අනෙක් අතට ආණ්ඩුව බණ්ඩාරනායක මැතිණියගේ උදාහරණය ගනිමින් පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථාව ඉදිරිපත් නොකර කෙළින් ම ජනමත විචාරණයකට යොමු කිරීමට කටයුතු කරන්න පුළුවන්. මැතිණියගේ කාලයේ ජනමත විචාරණයක් පැවැත්වීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබුණේ නැහැ. එබැවින් එදා නොකළත් අද ජනමත විචාරණයක් පැවැත්වීමට හැකි බව පැවසීමට ඉඩ තිබෙනවා. එහෙත් ජනමත විචාරණයක් පැවැත්විය යුත්තේ පවත්නා ව්‍යවස්ථාව අනුවයි. එසේ නම් ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුත්තේත් පවත්නා ව්‍යවස්ථාව අනුවයි. ආණ්ඩුවට තමන්ට අවශ්‍ය පරිදි කබරගොයා තලගොයා කිරීමට ඉඩ දෙන්න බැහැ. එකල හා මෙකල සංසන්දනය කිරීමේ දී වෙනස්කම් අමතක කිරීමට ඉඩ දෙන්න බැහැ. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ප්‍රශ්නය හා සයිටම් ප්‍රශ්නය අතර වෙනස තේරුම් නොගෙන සටන් පාඨ කීමත් වැරදි සංසන්දනයක්.

ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතු කිරීමට සංධානයේ මන්ත්‍රීවරුන් එකඟ වීමෙන් කර ඇත්තේ වැරුද්දක්. අදවත් ව්‍යවස්ථා මණ්ඩලයෙන් අස්වීමට කටයුතු කරන්නේ නම් හොඳයි. අප කියන තරම් ඉක්මණට එවැනි පියවර ගැනීමට නොහැකි බව අප දන්නවා. එහෙත් ඒ සඳහා තුඩු දෙන පියවර එකින් එක ගැනීම වැදගත්.




මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
 
https://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 පෙබරවාරි 14