සයිටම් භීෂණයකට ඉඩ නො දෙමු
රට ම ඇත්තේ අවුලක. භීෂණයක පෙර නිමිති පහළ වෙලා. සයිටම් ප්‍රශ්නයට
පිළිතුරු තිබිය දී එය හැම දෙනා ම මෙන් දේශපාලන ප්‍රශ්නයක් කරගෙන. ජ වි පෙ හා
පෙරටුගාමි පක්‍ෂය අතර ඇති තරගයත් සයිටම් මගින් විසඳා ගැනීමට උත්සාහ දරනවා. ඒ අතර
පෙරටුගාමීන්ගේ අභ්‍යන්තර ප්‍රශ්නත් විසඳාගන්න හදන්නෙ සයිටම් මගින්. කුමාර්
ගුණරත්නම් ඕස්ත්‍රෙලියාවෙ රටවැසිකම ලබා ගනිද්දී ලංකාවේ රටවැසිකම නැතිවුනා. ඔහුට
මෙරටත් රටවැසිකම අවශ්‍ය නම් කරන්න තිබුණේ ද්විත්ව රටවැසිකමට ඉල්ලුම් කිරීමට. එහෙත්
එසේ කළ බවක් පේන්න නැහැ.
නමුත් අවසානයේ දී කුමාර් ගුණරත්නම් එය කර ඇති බව පේනවා. ආණ්ඩුව එයට
අනුමැතිය දී තිබෙනවා. එහෙත් කොන්දේසියක් ද තිබෙනවා. ඒ බව පුබුදු ජාගොඩ බොහොම
ඕනෑකමින් මාධ්‍ය සාකච්ඡාවක දී පැවසුවා. ජාගොඩ කියන විධියට ගුණරත්නම් ඕස්ත්‍රෙලියාවෙ
රටවැසිකම ආපසු දිය යුතුයි. ඒ සඳහා ඕස්ත්‍රෙලියාවට ගොස් පැමිණීමට ආණ්ඩුව කුමාර්
ගුණරත්නම්ට මාස තුනක් කල් දී තිබෙනවා. ගුණරත්නම්ට ලංකාවේ රටවැසිකම ලැබෙන්නේ ඕස්ත්‍රෙලියාවෙ රටවැසිකම ආපසු දීමෙන් පසුව පමණයි. ඒ කොන්දේසිය අමුතු එකක්.
ජ වි පෙරමුණට හා ඉන් කැඩුණු පක්‍ෂවලට පැවැත්ම සඳහා භීෂණය අවශ්‍යයි.
සයිටම් ඒ සඳහා ලැබුණු හොඳ අවස්ථාවක්. ආණ්ඩුවත් බලන් ඉන්නෙ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය
ගන්න. එ ජා ප ආණ්ඩුවලටත් භීෂණය අවශ්‍යයයි. දෙගොල්ලොම එකතු වෙලා වගේ. පක්‍ෂවල අභ්‍යන්තර
ප්‍රශ්න, පක්‍ෂ පක්‍ෂ අතර ප්‍රශ්න, පැවැත්ම පිළිබඳ ප්‍රශ්න, ආණ්ඩුව අප්‍රසාදයට පත්වී ඇති අවස්ථාවක හැකිනම්
ඉන් ගැලවීම ආදිය සඳහා භීෂණය හුඟ දෙනකුට අවශ්‍යයි. ඒකාබද්ධ විපක්‍ෂය සුපුරුදු
පරිදි ප්‍රශ්නය අතට ගෙන විසඳුමක් දෙන පාටක් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයත්
බලන් ඉන්නෙ 2020 දි බලයට පත්වීමට. අපට තවත් ත්‍රිමානවිතානලා
අවශ්‍ය නැහැ.
බොහෝ දෙනාට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා වෛද්‍ය සභාව අතර ඇති වෙනස
තේරෙන්නේ නැහැ. අන්තරේ උද්ඝෝණයකට ආණ්ඩුව පහර දුන් ප්‍රථම අවස්ථාව මෙය නො වෙයි. ඒත්
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඒ පහර දීම් පෙනිලා නැහැ. මේ උද්ඝෝණයට සහභාගි වුනේ වෛද්‍ය
සිසුන් පමණක් නො වෙයි. මා දන්නා තරමින් හාමුදුරුවරුන් වෛද්‍ය පීඨවල නැහැ. අර තාප්ප
උඩින් වැඩපු හාමුදුරුවරු සෝරත පොඩි හාමුදුරුවන්ට අනුව නම් හොඳ වැඩිල්ලක් තමයි
වැඩ්ඩෙ. උන්වහන්සේලා සෘද්ධියෙන් වැඩියා නො වෙයි.
රන්ජන් රාමනායක කියන විධියට නම් කාලෝ ෆොන්සේකා තමාගෙ මාමා. රන්ජන්
කියන්නේ ඒ මාමාට අනුව එම් බී බී එස් කියන්නෙ මුංගෙ බෙහෙත් බිවුවෙත් සුං කියන එක
බවයි. කාලෝ කියා ඇත්තෙ සයිටම් උපාධිධාරීන් ගැන නො වෙයි. කාලෝ එහෙම කිවුව ද නැද්ද
කියන්න මං දන්නෙ නැහැ. එහෙත් සයිටම් ගැන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
සාකච්ඡා කරන විට ඔහුත් එහි සාමාජිකයෙක්. එස් බී දිසානායක එවකට උසස් අධ්‍යාපන ඇමති.
ඔහු සයිටම් උපාධිය පිළිගත්තා. එහෙම කෙළෙ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට
පටහැණිව ද කියන්න මා දන්නේ නැහැ. එස් බීට ඒ ගැන ප්‍රකාශයක් කළ හැකීියි.
පසුව කාලෝ ඒ ආණ්ඩුව කාලෙ ම වෛද්‍ය සභාවෙ සභාපති වුනා. මේ ආණ්ඩුව
කාලෙත් ඔහු සභාපති. සයිටම් උපාධිධාරීන්ට වෛද්‍ය ව්‍යත්තියෙහි යෙදීමට හැකි ද යන්න
තීරණය කරන්නෙ සාමාන්‍යයෙන් නම් වෛද්‍ය සභාව. මා අභියාචනාධිකරණ තීන්දුව කියවා නැහැ.
මාධ්‍ය වාර්තා අනුව නම් තීන්දුවෙන් කියැවෙන්නේ වෛද්‍ය සභාවට සයිටම් උපාධිය
පිළිගැනීමට නීතියෙන් බාධාවක් නැති බවයි. අවශ්‍ය නම් මේ තීන්දුවට විරුද්ධව ශ්‍රෙෂ්ඨාධිකරණයට
ගිය හැකි යැයි මා විශ්වාස කරනවා. වෛද්‍ය සභාව කුමක් කරාවි ද කියලා කීයන්න බැහැයි
කියලා එහි සභාපති කාලෝත් කියනවා.
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම් කියන්නෙ ඔවුන් ජාත්‍යන්තරයට යෑමට පවා
සූදානම් කියායි. වෛද්‍ය ශිෂ්‍යයන් හා අන්තරේ වගේ ම අද බොහෝ වෛද්‍යවරුනුත් ආවේගශීලී
වෙලා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරුද්ධ වන්නේ සයිටම් උපාධිය පිළිගැනීමට ද,
වෛද්‍ය සභාව මගින් සයිටම් උපාධිධාරීන් වෛද්‍යවරුන්
ලෙස ලියාපදිංචි කරවීමට ද, ඒ දෙකටම ද යන්න පැහැදිලි නැහැ. කොතලාවල
ආරක්‍ෂක විශ්වවිද්‍යලයේ වෛද්‍ය උපාධියටත් මුදල් අය කරනවා. එහි සායන පහසුකම්වල ප්‍රමිතිය
ගැන වෛද්‍ය සභාව සෑහීමකට පත්වෙනව ද? අන්තරේ
හා වෛද්‍යවරුන් හරි එයට උපාධි කඩයක් කියලා කියනවා ද? ඒක හොර උපාධියක් ද? විවෘත
විශ්වවිද්‍යාලයේත් ඇතැම් පාඨමාලාවලට මුදල් අය කරනවා. එයත් උපාධි කඩයක් ද? එහි වෛද්‍ය පීඨයක් නම් නැහැ. අද පිටරට උපාධි සඳහා
මුදල් අයකර උගන්වන ආයතන රාශියක් තියෙනවා. ඒවා උපාධි කඩ ද, නැද්ද? වෛද්‍යවරුන් තමන් හඳුන්වා ගන්නේ උගතුන් හා බුද්ධිමතුන් ලෙසයි. එහෙත්
නිරවුල් ව කල්පනා කිරීමේ දී ඔවුන් හා සාමාන්‍ය ජනයා අතර වෙනසක් පේන්න නැහැ. නිදහස්
අධ්‍යාපනය යනු කුමක් ද යන්න ගැන බොහෝ දෙනකුට වැටහීමක් නැහැ. (පෙබරවාරි 01 දා ලිපිය කියවන්න)
යම් ආකාරයකින් වෛද්‍යවරුන් මෙරට නඩු තීන්දුවලට විරුද්ධව ජාත්‍යන්තරයට
ගියහොත් ඔවුන් විග්නේෂ්වරන්ලාගේ ගණයට වැටෙනවා. දයාසිරිට අනුව විග්නේෂ්වරන්
සුනඛයෙක්. සුනඛයා කියන්නෙ බල්ලට. ඒ මොකක් වුනත් රට නම් බල්ලට ගිහිල්ල තියෙන්නෙ.
දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය ඊනියා දෙමුහුන් අධිකරණ. මෙරට ව්‍යවස්ථාව අනුව විජාතික
විනිසුරුවන් පත්කරගන්න බැහැ. විජාතිකයකු මහා බැංකුවේ අධිපති ධුරයට නම් පත් කෙරුණා.
ඒත් වෛද්‍යවරුන් ඊනියා ජාත්‍යන්තරයට ප්‍රශ්නය ගෙන යෑමෙන් ඔය හැමෝම සේවය කිරීමට
දඟලන ජනතාවගේ පරමාධිපත්‍යය නම් නැති වෙනවා, අඩුම තරමින් බාල්දු වෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවෙ ප්‍රමිතීන් සකස්
වෙන්නෙ ජාත්‍යන්තර සුපිරිව්‍යුහයෙන් කියලා වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමයට ගැලවෙන්න
බැහැ. ජාත්‍යන්තරයෙන් මෙහෙයවෙන මෙරට බටහිර
වෛද්‍ය විද්‍යාවෙ උන්නතිය ගැන මට කැක්කුමක් නැහැ. ආණ්ඩුව දේශීය වෙදකමට බටහිර
වෙදකමට වියදම් කරන මුදලින් දාහකින් පංගුවක් වියදම් කරනව නම් රටට හොඳක් වේවි. ඒත්
භීෂණයකටවත් සයිටම් සිසුන්ට අසාධාරණයක් වීමටවත් ඉඩ දෙන්න බැහැ.
සයිටම් ප්‍රශ්නයට විසඳුම් නැතිවා නො වෙයි. ඒත් අභියාචනාධිකරණ තීන්දුව
නොකියවා යමක් නිශ්චිත ව කියන්න බැහැ. ඊආර්පීඑම් හෙවත් ඇක්ට් 16
විභාගයට පෙනී සිටීමට රජයේ නොවන ආයතනවල උපාධිධාරීන්ට බලපාන පරිදි නීතිය
සංශෝධනය කිරීම, පොදු බහුවරණ ප්‍රශ්නපත්‍රයට පෙනී
සිටීමට සියළු වෛද්‍ය උපාධිධාරීන්ට නියම කිරීම, සේවාවාසික පත්වීම් දීමේ දී පිටරට උපාධිධාරීන්ට මෙන් සැලකීම, සායන අත්දැකීම් මදි නම් සේවාවාසික පත්වීම්
දෙකක් වෙනුවට පත්වීම් හතරක් දීම ආදිය සලකා බැලිය හැකියි. භීෂණයක් වැළැක්වීමට ගත
හැකි සියලු පියවර ගත යුතුයි. මළ කඳන්
මතින් ආණ්ඩු පවත්වාගෙන යෑම හෝ පෙරළීම හෝ පක්‍ෂ පක්‍ෂ අතර ගැටුම් විසඳීම හෝ
පක්‍ෂ අභ්‍යන්තර ගැටුම් විසඳා ගැනීම හෝ නොකළ යුතුයි.
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 පෙබරවාරි 04