Main Logo

Monday 9 September 2019

රනිල්ගේ අවශ්‍යතාව

  සිංහල ලිත් ඉලක්කම්

රනිල්ගේ අවශ්‍යතාව

රනිල් එ ජා පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක වනවා නම් හොඳයි. එවිට ගෝඨාභයට තරගයක් ඇත්තේ ම නැති වේවි. අප එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉල්ලා සිටින්න ඕන රනිල්ගේ අපේක්‍ෂකත්වය වහාම තහවුරු කරන ලෙස. මේ රට ඉන්න හිතෙන රටක් බවට පත් කරන්නේ රනිල්. ඔහු කියන දේ ඇහුන ම මේ රටේ තව තවත් ඉන්න හිතෙනවා. රනිල්ට තරගයක් දිය හැකි හාස්‍ය උපදවන රංගන ශිල්පියකු ලංකාවේ තවත් නැතිව ඇති. එහෙත් රනිල් කරන්නේ රඟ පෑමක් නො වෙයි.


රනිල් විහිළුවට මෙන් බරපතල දේත් ඇඟට නොගෑ වී කියනවා.  ඔහු යාපනයට ගොස් එවැනි ප්‍රකාශයක් කරලා. ඔහු කියා ඇත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර පළාත් සභාවලට තව තවත් බලය දිය යුතු බවයි. අද මෙරට ජාතික ව්‍යාපාරයේ අය කියන්නේ පළාත් සභා එසේ තිබිය දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන ලෙසයි. ඔහු සිංහලයන් නියෝජනය නොකරන බව පැහැදිලියි.

රනිල් සංස්කෘතියෙන් බටහිරයෙක්. දොන් ජුවන් ධර්මපාල කෙනෙක්. සංකිලි ජීවත් ව සිටියා නම් රනිල්ට කුමක් කරන්නට තිබිණි ද? සංකිලි සටන් කෙළේ මූලික වශයෙන් පෘතුගීසීන් සමග මිස සිංහලයන් සමග නො වෙයි. ඔහුට හිටියේ සිංහල හමුදාවක්. ඔය යාපනයේ හිටිය පණ්ඩාරම්ලා බණ්ඩාරලා නො වේ ද? එදිරිමානසිංහ රජුට ලෙව්කේ කුමරු නමින් පුතකු සිටියේ කෙසේ ද?

රනිල් බලය බෙදන්න හදන්නේ කිනම් ඉතිහාසයක් පදනම් කර ගෙන ද? කිනම් ප්‍රශ්නයක් විසඳීමට ද? පළාත් සභාවලට තවත් දිය යුත්තේ කිනම් බලතල ද? ඉඩම් බලතල හා පොලිස් බලතල දීමේ ආදීනව බොහෝ දෙනා කතා කර තිබෙනවා. ඊනියා 13+ යෝජනාවලියට විරුද්ධ ව සිංහලයන් දැක් වූ ප්‍රතිචාරය රනිල්ට මතක නැතිව ඇති. මහින්ද ඡන්දකාන්ත කෙනෙක් . රනිල් ඡන්ද විකර්ෂණය කරන්නෙක්. 

දෙමළ කතාකරන ජනයාට ඔවුන් දෙමළ කතා කිරීම නිසා පමණක් අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒ බව කියන්න. එවිට අපටත් යමක් ඉගෙන ගන්න පුළුවන්. රනිල් විසඳුම් දෙන්න ඉස්සර ප්‍රශ්නය කියන්න ඕන. රනිල්ට පුළුවන් ද ප්‍රශ්නය මොකක් ද කියන්න.

ඉඩම් බලතල අද බේරිලා තියෙන්නෙ අධිකරණ තීන්දුවකින් ඒ වගේමයි පළාත් සභා කිහිපයකට එකතු වීමට ඇති බලයත්. අද විධායක ජනාධිපති ක්‍රමය නිසා පළාත් සභාවලට දෙන බලතල යම් ප්‍රමාණයකට කපා හරින්න පුළුවන්.

රනිල් පමණක් නොවෙයි වෙන කවරකු වුණත් පළාත් සභාවලට වැඩි බලයක් දෙන්න කතා කරන්නෙ අවසාන වශයෙන් රට බෙදීමට. පළාත් සභාවලට දැනටත් දී ඇති බලය ඉතා වැඩියි. අද කළ යුත්තේ දහතුන්වැනි සංශෝධනයෙන් සහ පළාත් සභා පනතෙන් දී ඇති පොලිස් හා ඉඩම් බලතල නැති කිරීමට පනතක් ගෙනැවිත් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමයි. ඒ සමග පළාත්වලට එකතු වීමට ඇති බලයත් අහෝසි කරන්න ඕන. 

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පළාත් සභාවලට තවත් බලතල දුන්නොත් රට බෙදන එක වළක්වන්න බැහැ. රනිල්ටත් ඕන රට බෙදන්න.