Main Logo

Sunday 15 September 2019

ජීවිතයෙන් වියෝ වූ රැකියා අධ්‍යාපනය

      සිංහල ලිත් ඉලක්කම් 


ජීවිතයෙන් වියෝ වූ රැකියා අධ්‍යාපනය

ආසියාවේ අප්‍රිකාවේ රටවලින් බටහිර රටවලට ගොස් සිටින සියල්ලන් ම පාහේ තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල උනන්දුවක් දක්වනවා. ඇතැමුන් බටහිර රටවලට යන්නේ ම තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. ලංකාවේ පමණක් නොව දියුණු යැයි කියන ජපානයේ ද තත්වය එයයි. මේ දෙමවුපියන් තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මෙතරම් උනන්දුවක් දක්වන්නේ, බොහෝ විට කැපවෙන්නේ ඇයි? 


බටහිර රටවල දෙමවුපියන් තම දරුවන්ගේ අධ්‍යාපනය ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඔවුන් දරුවන් පාසල් යවන්නේ ජීවත්වීමට අවශ්‍ය මූලික දැනුමක් ලබා දීමටයි. ඒ දැනුම වැඩිහිටියකු ලෙස ජීවිතය ඇරඹීමට පෙර ලබා දීම අවශ්‍යයි. එය මහා දැනුම් සම්භාරයක් නො වෙයි. එහෙත් එය ජීවිතයෙන් ම ලබා ගන්නවාට වඩා පාසලෙන් ලබා ගැනීම පහසුයි. එහෙත් ආසියාතිකයන් මෙන් උසස් අධ්‍යාපනයක් දරුවනට ලබා දීමේ අවශ්‍යතාවක් බටහිරයන්ට නැහැ. උසස් අධ්‍යාපනයක් අවශ්‍ය අය ඒ ලබා ගන්නවා. බටහිරයන් ආසියාතිකයන්ගේ මේ අධ්‍යාපන පිපාසය හඳුන්වන්නේ තුන්වැනි ලෝකයේ මානසිකත්වය යනුවෙන්.

එහෙත් අපට මේ මානසිකත්වය ලබා දී ඇත්තේත් බටහිරයන් විසින්. ඔවුන් අප රටවලට ඒමට පෙර අපට අවශ්‍ය අධ්‍යාපනය, එනම් දැනුම, අප ජීවිතයෙන් හරි පිරිවෙනෙන් හරි වෙනත් ආයතනවලින් හරි ලබා ගත්තා. එකල තිබූ සමාජ ක්‍රමයට එය ප්‍රමාණවත් වූයේ අද බටහිරයන්ට ජීවත් වීමට තම රටේ පාසල ප්‍රමාණවත් වන අයුරින්. බටහිරයන් පැමිණ අප රටවල සමාජ ක්‍රම සම්පූර්ණයෙන් ම අවුල් කළා. 

අපි අපේ රටට සීමා වෙමු. අපට එකල ගෙදරින් පිරිවෙනෙන් අවශ්‍ය දැනුම ලැබුණා. ඒ දැනුම ජීවිතය සමග බද්ධ වුණු එකක්. එයත් එක් දැනුම් පද්ධතියක්. මේ පද්ධතියේ තවත් ගැඹුරට යෑමට අවශ්‍ය පහසුකම් ද පිරිවෙනෙන් පංසලෙන් ලැබුණා. සංඝයා වහන්සේට ඒ සඳහා විවේකය හා පහසුකම් තිබුණා. ඇතැම් ගිහියන් ද (පිරිමින් ද ගැහැණුන් ද) ඒ අත්දැකීම ලබා ගත්තා. දෙවැනි පරාක්‍රමබාහු වැනි රජවරුන් ද ඒ පාණ්ඩිත්‍යය ලබා ගත්තා.  ඒ පාණ්ඩිත්‍යය ලබා ගත් ගිහියකු විද්‍යා චක්‍රවර්ති අභිධානයෙන් පිදුම් ලැබුවා. ඒත් සියල්ලන් ම විද්‍යා චක්‍රවර්තිලා වීමට ගියේ නැහැ. 

බටහිරයන් අපේ අර්ථක්‍රමය වෙනස් කළා. ඔවුන්ගේ දැනුම මත පදනම් ව වෙනත් අර්ථක්‍රමයක් අපට හඳුන්වා දුන්නා. අපේ දැනුම ගර්හාවට පත් කළා. විශේෂයෙන් ම ඉංගිරිසින් ඉතා සූක්‍ෂම ව ඒ කටයුත්ත කළා. ඉංගිරිසින් ඇති කළ අර්ථක්‍රමයෙහි ඉහළින් සිටියේ ඔවුන්ගේ දැනුම මත පදනම් ව ක්‍රියා කළ අය. ඔවුන් ව්‍යාපාරිකයන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඊනියා වෘත්තීයිකයන් වෙන්න පුළුවන්. නැත්නම් ශාස්ත්‍රඥයන් විද්‍යාඥයන් වෙන්න පුළුවන්. මේ අර්ථක්‍රමයෙහි සිංහල වෙදමහතා සිංහල ගොවියා සිංහල ගුරුවරයා වෘත්තීයිකයන් වූයේ නැහැ. සිංහල ගුරුවරුන් වූ මගේ දෙමවුපියන්ට ඉංගිරිසි ගුරුවරුන්ට ලැබුණු වැටුප ලැබුණේ නැහැ. එකල ලංකා ජාතික ගුරු සංගමයේ එක් ඉල්ලීමක් වූයේ ඒ වැටුප් විෂමතාව නැති කිරීම.

ඉංගිරිසින් ඊනියා වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීමට වෛද්‍ය විද්‍යාලයක් කාර්මික විද්‍යාලයක් හා නීති විද්‍යාලයක් වැඩි කල් නොගොස් ම ඇති කළා. වෛද්‍ය විද්‍යාලය පිහිටුවා ලබන වසරට අවුරුදු එකසිය පනහක් වෙනවා. එහෙත් වෛද්‍ය පීඨයට අවුරුදු එකසිය පනහක ඉතිහාසයක් නැහැ. වෛද්‍ය විද්‍යාලය වෛද්‍ය පීඨය බවට පත් වූයේ 1942 දී. කොළඹ වෛද්‍ය පීඨයට එන වසරේ අවුරුදු එකසිය පනහක් පිරෙනවා නම් කැලණිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවලටත් දැන් අවුරුදු සියයකට වැඩි වෙන්න ඕන. ඉංගිරිසින් නීති විද්‍යාලය හා කාර්මික විද්‍යාලය එසේ ම තබා ගනිමින් පසුව ඉංජිනේරු පීඨ හා නීති පීඨ ඇති කළත් වෛද්‍ය විද්‍යාලයට පමණක් “උසස්" වීමක් ලබා දුන්නා.

ඉංගිරිසින් හා ඇමරිකන් මිෂනාරීන් ලංකාවේ පාසල් පිහිටුවා බොහෝ කල්. ඒ අර ඊනියා වෘත්තීය අධ්‍යාපන ආයතන පිහිටුවන්න කලින්. ගාල්ලේ  රිච්මන්ඩ් විද්‍යාලය පැරණි ම පාසල බවට මතයක් තියෙනවා. කොළඹ ඇකඩමිය (ඇකඩමි කියන්නේ ඇරිස්ටෝටල් ග්‍රීසියේ තම පාසල ආරම්භ කළ ප්‍රදේශය කියා මා අසා තිබෙනවා) පිහිටුවූයේ යාපනයේ පාසල් ඇති කිරීමෙන් පසු කලෙක 1835 දී. එහි නම පසුව රාජකීය විදුහල වුණා. ඉංගිරිසි අධ්‍යාපනය විශ්වවිද්‍යාල සමග බැඳී තිබුණා. විශ්වවිද්‍යාල ආයතනය පිහිටුවන ලද්දේ 1921 වුවත් රාජකීය වැනි විදුහල්වල සිසුන්ට ඉන් පෙරත් ඉන්දියාවේ විශ්වවිද්‍යාලවලින් උපාධි ලබා ගැනීමේ අවස්ථාව තිබුණා.

ඉංගිරිසි පාසල්වලින් බිහි කෙරුණේ ව්‍යාපාරිකයන් වෘත්තීයිකයන් හා පරිපාලකයන්. ව්‍යාපාරිකයන් වීමට සිටි අය නම් පාසල්වලින් ලැබුයේ අවශ්‍ය මූලික ම අධ්‍යාපනයක් පමණයි. ඔවුන්ට ඊනියා උසස් අධ්‍යාපනයක් අවශ්‍ය වූයේ නැහැ. ඔවුන් බටහිර රටවල මූලික අධ්‍යාපනයක් ලබන බටහිර සිසුන් මෙන්. ඔවුන් ඉගෙනීමට එතරම් උනන්දුවක් දැක්වූයේ නැහැ.  ඔවුන්ට අවශ්‍ය වුණේ නායකත්ව පුහුණුවක් හා තීරණ ගැනීමේ හැකියාවන්. ඔවුන්ට අර්ථක්‍රමය, පාසල හා ජීවිතය එකට බැඳී තිබුණා. 

ඊනියා උසස් අධ්‍යාපනය අවශ්‍ය වූයේ මූලික වශයෙන් සිංහල ගුරුවරුන්ගේ හා සිංහල වෙදමහතුන්ගේ දරුවනට. ඒ මූලික වශයෙන් ඊනියා වෘත්තියිකයන් හා පරිපාලකයන් වීමට. විශ්වවිද්‍යාලය පිහිටුවාට පසු ඊනියා ශාස්ත්‍රඥයන් විද්‍යාඥයන් වීමේ බලාපොරොත්තු ව ද ඇති වුණා. නිදහස් අධ්‍යපනය මෙය තව තවත් පුළුල් කළා. 

ක්‍රමයෙන් අධ්‍යාපනය ජීවිතය සමග නොව රැකියාව සමග බද්ධ කෙරුණා. ජීවත්වීමට රැකියාවක් කරන්න සිද්ධ වුණා. ව්‍යාපාරික පවුල්වල හැරෙන්න අනෙක් පවුල්වල දරුවන්ට ජීවත්වීමට නම් වැටුප් ලබන රැකියාවක් අවශ්‍ය වුණා. ඒ රැකියාව ලබා ගැනීමට අධ්‍යාපනය අවශ්‍යයයි. අර්ථ ක්‍රමය හා බැඳුණු අධ්‍යාපනය නිසා අද සිංහල වෙදමහත්වරුන්ගේ දරුවන් වෙදකමෙන් අයින් කරලා. එපමණක් නො වෙයි. අද වන විට අධ්‍යාපනයේ ඊනියා වටිනාකම ගොවියන්ටත් දැනිලා. ඒ හේතුවෙන් ගොවියන්ගේ දරුවන් ගොවි කමෙන් ඇත් කෙරිලා. ඔවුන් සමහරුන් බටහිර විද්‍යාත්මක ගොවි උපදේශකයන් වෙලා.

රැකියාව මූලික කර ගත් අධ්‍යාපනය විසින් බිහිකෙරුණු අයට රැකියා දීමට අර්ථක්‍රමයට නොහැකි වුණා. හැටේ දශකයේ පමණ ජ්‍යෙෂ්ඨ සමතුන්ගේ ප්‍රශ්නයක් වූ විරැකියාව අද පශ්චාත් උපාධිධාරීන්ටත් බෝ වෙලා. අද සාමාන්‍ය පෙළ සමතුන්ට රැකියා ලැබෙන්නේ සහතිකය අනුව නොව උස අනුවයි.   


අපේ දැනුමට ඇති වටිනාකම අගය නැත්තට ම නැති කරළා. බටහිර දැනුම එක ම ඊනියා සත්‍ය දැනුම බවට පත් කරළා. අපේ දැනුම් කාරළා සෙම අරින තත්වයකට පත් කරළා. ඊනියා තුන්වැනි ලෝක මානසිකත්වය නිසා අප සමාජයේ ජීවත් වීමට, බලය අත් කර ගැනීමට පමණක් නොවෙයි කලකට පෙර නම් හොඳ යැයි කියන පෙළවහක් කර ගන්නත් ඉගෙන ගන්නවා. ඒ ලබා ගන්නේ බටහිර දැනුම හා ඒ දැනුමට යට කෙරී අපෙන් වෙන් කෙරුණු අපේ දැනුම. කසිකබල් දේශපාලනඥයන් ඊනියා විද්‍යාත්මක ක්‍රමයකට ඇමති මණ්ඩල සකස් කර ගත්තාවෙ.  ඒත් බුදදහම විද්‍යාත්මක කරන්න යන්නෙ මොන එහෙකට ද? අනේ අර කාළාම සූත්‍රය!

සිංහල ගුරු දෙමව්පියන්ගේ වැඩිමහල් පුතා වූ මට අන් අයට නැති වාසනාවක් පෑදුණා. බටහිර විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගිය මට හිස් අතින් ආපසු එන්න සිදු වුණා. එසේ වූයේ ඇයි දැයි තේරුම් ගැනීමට මා උත්සාහ කෙළේ යුදෙව්වකු මෙන්. මා බෝසතකු මෙන් නොකියන්නේ බුදු වීමේ අරමුණක් නොතිබූ නිසා. යුදෙව්වන්ගේ එක් අරමුණක් වනුයේ දෙවියන් වහන්සේත් කවුදැයි තේරුම් ගැනීමයි. බුදුහාමුදුරුවන් බෝමැඩ අනෙක ජාති සංසාරං යනුවෙන් දේශනා කළා. උන්වහන්සේ නොදැනුමක් ගැනයි අවුරුදු හතළිස් පහක් දේශනා කෙළේ. මට විද්‍යාඥයකු වීමට නොහැකි වුණේ ඇයි දැයි මා පසුච දැන ගත්තා. ඒ මට අවබෝධයක් මිස සම්මාබෝධයක් නැති නිසා.