සංකිලි සිංහල
බෞද්ධ ද?
අපේ රටේ ඉතිහාසය පිළිබඳ පූර්ව විජය සමයේ සිට අද
දක්වා මට බොහෝ දේ කීමට තියෙනවා. ඉඩ ලැබෙන හැටියට ඒ කියන්නම්. මෙය ඒ ලිපි පෙළෙහි
එක් ලිපියක් පමණයි.
යාපනයේ ස්වාධීන
රාජ්‍ය මිථ්‍යාව යන මැයෙන් පියසිරි අමරකෝන් මහතා පොතක් පළ කරලා. එයට පෙර චන්න
ජයසුමන හා සුමේධ වීරවර්ධන යාපනයේ රාජ්‍යය පිළිබඳ ව පොත පත ලියා තිබෙනවා. වෙනත්
අයගේ ලිපි ලේඛන ඇසුරෙන් මා ද යාපනයේ ඊනියා දෙමළ ස්වාධීන රාජ්‍යය සම්බන්ධ ලිපි ලියා
තියෙනවා. එහෙත් අමරකෝන් මහතා ඒ ලිපි කියවූ බවක් පෙනෙන්නට නැහැ. යාපනයේ ස්වාධීන
රාජ්‍යයක් නොතිබූ බවට, ඒ
රාජ්‍යය ගම්පොළ හරි කෝට්ටේ හරි සීතාවක හරි යම් ආකාරයක යටත් රාජ්‍යයක් ව තිබූ බවට
සාක්‍ෂි තියෙනවා.
මේ ලිපිය
යාපනයේ ස්වාධීන රාජ්‍ය මිථ්‍යාව පොත ගැන කෙරෙන විචාරයක් නොවෙයි. මට කරුණු දෙකක් කීමට අවශ්‍යයි. එය මෙවැනි එක්
ලිපියකින් ලියා නිම කරන්න බැහැ. පළමුවෙන් මට අවශ්‍ය සංකිලි (1519-1561) රජු ගැන ප්‍රශ්න
කිහිපයක් පාඨකයන්ගේ අවධානයට යොමු කරන්නයි. දෙවනුව යාපනයේ තිබූ රාජ්‍යය දෙමළ රාජ්‍යයක්
ද යන ප්‍රශ්නය සාකච්ඡා කිරීමයි. එය ස්වාධීන රාජ්‍යයක් නොවූවා පමණක් නොව දෙමළ රාජ්‍යයක්
ද වුණේ නැහැ.
ලෝකයේ කොහේවත්
එදා මෙදා දෙමළ රාජ්‍යයක් තිබී නැහැ. චේර පාණ්ඩ්‍ය සොළී විජයනගර් මේ එකක්වත් දෙමළ
රාජ්‍යයක් නො වෙයි. ඉතා මෑතක් වන තුරු, බටහිර
ලෝකයේ ජාතික රාජ්‍ය ඇතිවන තුරු, ලෝකයේ
තිබී ඇත්තේ ජාතික රාජ්‍ය දෙකයි. ඒ සිංහල ජාතික රාජ්‍යය හා චීන ජාතික රාජ්‍යය.
ලෝකයේ ජාතීන් තිබී ඇත්තේත් සිංහල ජාතිය හා චීන ජාතිය පමණයි. අපි මේ ගැන සංකල්පීය ව
පසුව කතා කරමු.
මෙහි දී මට
අවශ්‍ය වන්නේ සංකිලි ගැන අදහස් කිහිපයක් ප්‍රකාශ කරන්න පමණයි. මේ සමහර කරුණු උපුටා
ගන්නේ යාපනයේ ස්වාධීන රාජ්‍යය මිථ්‍යාව නමැති පොතෙන්. ඒ කරුණු වෙනත් පොත්වලත්
තියෙනවා. සංකිලි යාපනයේ රජු බවට පත්වූයේ බලයෙන්.
ආර්ය චක්‍රවර්තීන්
යනු යාපනයේ බලය අත් කරගත් වාංශිකයන් පිරිසක්. ඔවුන් පැමිණියේ කොහේ සිට ද යන්න ගැන
මත දෙකක් තියෙනවා. අපි ඒ ගැනත් පසුව කතා කරමු. ඔවුන් ආර්ය සංස්කෘතියට අයත් වූවත්
නැතත් ඔවුන් යම් වාංශිකයන්.
ආර්ය චක්‍රවර්ති
රජු ගම්පොළ හරි කෝට්ටේ හරි රජුගෙන් තමාට රජ යන නාමය යෙදීමට අවසර ගත්තා.
පරරාජසේකරම් රජු එසේ ගම්පොළට ගොස් සිටි
අවස්ථාවක සංකිලි රාජ්‍යය පැහැර ගෙන තියෙනවා. සංකිලි කවුද යන ප්‍රශ්නයයි මෙහි දී
මතු වන්නේ. ඔහු සිංහල ද? සංකිලි
පෘතුගීසීන්ට විරුද්ධ ව සටන් කළා. ඔහු 1560 දී (1561 වෙන්නත් පුළුවන්) පෘතුගීසීන්
සමග ගිවිසුමක් අත්සන් කළා. එය තියෙන්නේ සිංහලෙන් හා පෘතුගීසි භාෂාවලින්.
මා ඒ ගැන සඳහන්
කර තිබෙනවා. මා ඒ ගැන මුලින් ම දැන ගත්තේ අභාවප්‍රාප්ත ගාමිණි ඊරියගොල්ල මහතාගෙන්.
ඒ බව ක්වේරෝස් පියතුමා ද කියා තිබෙනවා. මා තර්ක කෙළේ සංකිලි දෙමළ කතා කළත් (මා එකල
සිතා සිටි විධියට) රටේ (රාජ්‍ය) භාෂාව සිංහල නිසාත් යාපනයේ රජු සිංහලේ රජුට යටත්
නිසාත් ගිවිසුම දෙමළෙන් නොව සිංහලෙන් කෙටුම්පත් කළ බව. එයත් එක් කාරණයක් වන්නට
ඇති.
අනෙක් අතට
සංකිලිගේ බසත් සිංහල වන්න ඇති. සංකිලිගේ පළිහේ සිංහ රූපයක් කොටා තිබූ බව සඳහන්
වෙනවා. එහි “ඒ මාය” යනුවෙන් කොටා තිබූ බවත් කියැවෙනවා. එයින් කියන්නේ සංකිලි තමා
සිංහයකු ලෙස හඳුන්වා ගත් බව ද? මේ
කරුණෙන් පමණක් සංකිලි සිංහල බව කියන්න බැහැ. 1560 දී බගන්සා නම් පෘතුගීසී
සෙනෙවියාගේ හමුදාව සමග සටන් කළ සංකිලිගේ සේනාව සිංහල බවත් සඳහන් වෙනවා. එයිනුත්
සංකිලි සිංහල බවක් කියැවෙන්නේ නැති බව මා දන්නවා. එහෙත් එයින් යාපනය රාජ්‍යය ගැන
යමක් කියන්න පුළුවන්. ක්වේරොස් පියතුමාටත් අනුව එකල යාපනයේ බහුතර ජනතාව සිංහල. යාපනයේ එකල සිංහලයන් සිටි බව
විවිධාකාරයෙන් පෙන්නන්න පුළුවන්. අවශ්‍ය නම් ලංකා විශ්වවිද්‍යාලයෙන් පළ කර ඇති
ලංකා ඉතිහාසයට නටේසන් ලියා ඇති ලිපිය කියවන්න.
1560 සටනෙන්
පැරදී සංකිලි පළා ගොස් තිබෙනවා. එහෙත් බිසොව (කුමරිය) හා පුත් කුමරා පෘතුගීසීන්ට
හසුව බුදුන් (බුද්ධාගම) අත්හැර ක්‍රිස්තියානිය
වැළඳ ගෙන තිබෙනවා. සංකිලිත් බෞද්ධ බව හිතන්න පුළුවන්. මන්නාරමේ කතෝලික ආගම වැළඳ
ගත් 600 දෙනකු පමණ ඝාතනය කෙරී තිබෙනවා. ඒ ඔවුන්ට නව ආගම (කතෝලික ආගම) අත්හැර දමන ලෙස සංකිලි කළ ඉල්ලීම ඔවුන් පැහැර හැර
රාජද්‍රෝහී වූ බවට තීරණය වීමෙන්. වැසියන්
කතෝලික කිරීම රාජ්‍යයට ද්‍රෝහි ක්‍රියාවක් ලෙසත් ආගම වෙනස් කිරීම රාජද්‍රෝහි ක්‍රියාවක්
ලෙසත් සංකිලි සලකා ඇති බව පේනවා.
අපට මෙහි දී
වඩාත් වැදගත් වන්නේ පෘතුගීසි සෙනෙවියකු රජු මන්නාරමේ කතෝලිකයන් සම්බන්ධයෙන් එතරම්
දැඩි ක්‍රියා මාර්ගයක් ගත්තේ ඇයි දැයි ඇසූ විට රජු දුන් පිළිතුරයි. රජු
පෘතුගීසීන්ගෙන් ඔවුන් බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරන්නේ ඇයි ද කියාවත් බෞද්ධයන්ට වද
හිංසා පමුණුවන්නේ ඇයි ද කියාවත් අසා නැහැ. ක්වේරෝස් පියතුමාට අනුව රජ කියා ඇත්තේ
මෙයයි.
“යටත් වැසියන්
විසින් මා ක්‍රියාත්මක කරන නීතියට එරෙහිව කටයුතු කිරීමක් සිදු වී ඇත. මා අනුගමනය
කරන දේ මගේ පියවරුන් විසින් මට ඉගැන්වූ දේ වන අතර වෙනත් දෙයක් උතුම් කොට සැලකීම මා
උගත් සිද්ධාන්තයට පටහැණි වේ. එය රටේ සම්ප්‍රදාය වැරදි ලෙස සැලකීම යි. එයින් මා
උරුමයෙන් ලද රාජ්‍යය මා ගේ අවසරයකින් තොර ව මට අහිමි කිරීමට තැත් කිරීමකි. ඔවුන්
කර ඇති අපරාධයට ඉඩ දුන හොත් ඒ පාපයට බුදු දහම අනුව මට මා ගේ රාජ්‍යය අහිමි වනු
ඇත.”
සංකිලි කියන්නේ
තමා උරුමයෙන් රජ වූ බවයි. එය මා කලින් දැක් වූ රාජ්‍යය පැහැර ගත්තේය යන අදහසට විරුද්ධ වන බවක් පෙනී යයි. ඔහු සමහර විට බලෙන්
රාජ්‍ය බලය ලබා ගත්තේ තමාට එහි උරුමයක් තිබූ නිසා යැයි කියන්න පුළුවන්. සංකිලිගේ
මව පරරාජසේකරම්ගේ අනියම් බිරියක් කියා කියැවෙනවා. ඇය සිංහල වි ද? අනෙක් අතට රයිගම් බණ්ඩාර කුමරුත් පරරාජසේකර ලෙස
හැඳින් වී තිබෙනවා. ඒ අනුව පරරාජසේකරම් රජුත් සිංහල වී ද? සංකිලිගේ මව සිංහල බෞද්ධ වී ද? ඒ එසේ
නම් යාපනය රාජ්‍යයේ බෞද්ධ උරුමයක් ද ඇති බව පෙනී යයි. ඒ කෙසේ වෙතත් සංකිලි ද
කටයුතු කර ඇත්තේ බුදුදහමේ චිරස්ථිතිය වෙනුවෙන් යැයි කියන්න පුළුවන්. සංකිලිගේ පුතා
හා බිසොව මෙන් ම සංකිලි ද බෞද්ධ යැයි අපට කියන්න පුළුවන්.
සංකිලිගේ නම
සංක යන්නෙන් බිඳී ආවක් බවට ද මතයක් තියෙනවා. මන්නාරම මුතු සක් අතර සම්බන්ධය කුමක්
දැයි පසු දිනෙක සොයා බලමු.