සිංහල ලිත් ඉලක්කම්
ඊනියා ආර්ය චක්‍රවර්ති රාජ්‍යය හා වෙල්ලාල ජාතිවාදය
ආර්ය චක්‍රවර්තීන් තමන් හඳුන්වා ගෙන ඇත්තේ බ්‍රාහ්මණ ක්‍ෂත්‍රිය වාංශිකයන් ලෙසයි. භාරතයේ ඇතැම් බ්‍රාහ්මණයන් ක්‍ෂත්‍රියන්ට පුරෝහිතකම් කිරීමට අමතර ව ක්‍ෂත්‍රියන්ගේ කටයුතු ද කර තිබෙනවා. ආර්ය චක්‍රවර්තීන් මලබාරය පැත්තෙන් පැමිණියේ ද නැත්නම් කාලිංගය පැත්තෙන් පැමිණියේ ද යන්න පිළිබඳ ව ද මතභේදයක් තිබෙනවා. ඔවුන් කතා කරන්න ඇත්තේ දෙමළ භාෂාව හෝ වෙනයම් ද්‍රවිඩ භාෂාවක් වෙන්න පුළුවන්. මේ බොහෝ කරුණු පිළිබඳ නිශ්චිත මතයක් ප්‍රකාශ කරන්න තවමත් බැහැ. ආර්ය චක්‍රවර්තීන් මුුහුදු කොල්ලකාරයන් බවට ද මතයක් තිබෙන බව සඳහන් කරන්න ඕන.
ආර්ය චක්‍රවර්තීන් එන විට යාපනයේ සිටියේ සිංහලයන් බව පැහැදිලියි. එය දෙමළ කතාකරන ඉතිහාස මහාචාර්යවරයකු වූ ඉන්ද්‍රපාල පවා පිළිගෙන තියෙනවා. දොළොස්වැනි සියවසට පෙර මෙරට දෙමළ ස්ථිර වාසස්ථාන නොතිබූ බව ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ ආචාර්ය උපාධි නිබන්ධනයේ සඳහන් කර තියෙනවා. යාපනයේ වේලක්කාරයන් ද හිටියා. වේලක්කාරයන් යනු සිංහල රජවරුන් මෙරටට ගෙන ආ හමුදා භටයන්. ඔවුන් යාපනයේ පදිංචි ව හිටියා. එහෙත් ඔවුන් විවාහ වන්නට ඇත්තේ සිංහල කතුන් සමග. ඔවුන්ගේ දරුවන් බොහෝ විට සිංහල කතා කරන්න ඇති. මේ සිංහලයන් අතර මඩප්පලි නමින් කුලයක් ද සිටි බව සඳහන් වෙනවා.
ආර්ය චක්‍රවර්තීන් සමග විශාල සෙනගක් පැමිණියේ ද? පැමිණියේ නම් ඒ කවුරුන් ද? අප මෙහි දී තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. රටක් හෝ ප්‍රදේශයක් හෝ යටත් කරන, පාලකයකු සමග විශාල පිරිසක් පැමිණෙන්නේ නැහැ. කොහොමත් ඒ එන පිරිස අදාළ රටේ හෝ ප්‍රදේශයේ හෝ ජීවත්වන පිරිසට වඩා බෙහෙවින් අඩුයි. රාමායණය විශ්වාස කළත් රාම සමග විශාල පිරිසක් පැමිණියේ නැහැ. ඔවුන් සීතා රැගෙන ආපහු ගියා. එහෙත් එක් දෙයක් කළා. රාවණගේ සොහොයුරු (එක ම මවගේ නොවූවත්) විභිෂණ තම පැත්තට ගනිමින් රාජ්‍ය පාලනය ඔහු අතට පවරා ඔවුන් ගියා. සුද්දන් හැමදාමත් ගියේ කළු සුද්දන් ඉතිරි කර. සුද්දන් සුදු වෙන්න ම ඕන නැහැ.
විජය සමග කෙසේ වෙතත් ඔහුට පසුව වත්මන් බෙංගාල ඔඩිස්සා ප්‍රදේශවලින් නම් විශාල පිරිසක් පැමිණ තියෙනවා. ඒ බව සිංහලයන්ගේ හා ඒ ප්‍රදේශයේ වැසියන්ගේ ජාන පරීක්‍ෂාවකින් පෙන්වා දී තිබෙනවා. විජය ගැන, විජයගෙන් පසු ඉතිහාසය ගැන මට තවත් කතාවක් තියෙනවා. මෙරටට කාලිංග ප්‍රදේශයෙන් පමණක් නොව වත්මන් ඉන්දියාවේ බටහිර වෙරළෙන් ද ජනයා පැමිණ තියෙනවා. මහාවංසය ඒ කතාව කියන්නේ අමුතු විධියකට. මහාවංස කතෘ හිමියන් විජය ලංකාවට ඒමට පෙර නැගෙනහිර වෙරළෙන් බටහිර වෙරළේ භාරුකච්ච සුප්පාරක වරායවලට ද යවනවා ඒ කතාව ජනාධිපතිවරණයට පසුව කියන්නම්.
පෘතුගීසින් ලන්දේසීන් ඉංගිරිසින් අප රටට පැමිණියේ විශාල සේනා ගෙන නොවෙයි. මෙය තමයි සාධාරණ (සාමාන්‍ය) ක්‍රමය. ඒ ආක්‍රමණිකයන් ආක්‍රමණය කළ ප්‍රදේශයේ යම් පිරිසක් තම පාලනය වෙනුවෙන් යොදා ගන්නවා. එදා පෘතුගීසීන්ට සේවය කෙළේ දොන් ජුවන් පමණක් නො වෙයි. විජයත් තම පාලනය සඳහා කුවේණිය යෙදා ගත්තා. දහනවවැනි සියවස පමණ වන තෙක් ලෝක ඉතිහාසය එහෙමයි. අද නම් යමකුට සේනාවක් රැගෙන ගොස් රටක් අල්ලා ගන්න බැහැ. අද බටහිරයන් අප පාලනය කරන්නේ මූලික වශයෙන් දැනුම යොදා ගෙන. කළු සුද්දන් යනු ටයි කෝට් අඳින ඉංගිරිසියෙන් කතා කරන අය පමණක් නොව. බටහිර දැනුම් ආධිපත්‍යය පිළිගන්නා හැම කෙනකු ම කළු සුද්දෙක්. පඬියන පඬි පෝතකයන් හා පඬි නැට්ටන් ද කළු සුද්දන්.
ඔවුන් සුද්දන් වෙනුවෙන් නොදන්න දේත් කියනවා. මේ ළඟ දී එක් අයකු කියා තිබුණා තේසවලාමෙ නීතිය හා මුස්ලිම් නීිතිය ඉංගිරිසින් ගියාට පස්සෙත් නීති පොතට ඇතුළත් කළත් 1892 නීතිය ඇතුළත් කෙළේ නැහැ කියා. ඒකත් හොඳ හිතළුවක් නම් තමයි.
ආර්ය චක්‍රවර්තීන් ද විශාල පිරිසක් රැගෙන පැමිණි අය නො වෙයි. ඔවුන්ගේ පාලනයට යටත් වුණේ සිංහලයන්. ඒ රජවරුන්ට සේවය කළ සිංහලයන් ද සිටියා. කුවේණිලා හා දොන් ජුවන්ලා හැමදාමත් හැම රටක ම සිටියා. අදත් ඉන්නවා. මෙරට ජනාධිපතින් ජනාධිපතිනියන් අගමැතිවරුන් අතරත් හිටියා, ඉන්නවා. ආර්ය චක්‍රවර්තීන්ගේ සිංහල හමුදා හිටියා. බ්‍රැගන්සා නම් පෘතුගීසි කපිතාන්වරයා සටන් කෙළේ යාපනයේ සිංහල හමුදා සමග.
ක්වේරෝස්වත් රිබෙයිරෝවත් වෙල්ලාලයන් ගැන සඳහන් කරන්නේ නැහැ. මා ඔවුන් ලියූ පොත් කියවා තියෙනවා. මගේ මතකය අනුව එහෙමයි. පෘතුගීසීන් යාපනයේ පැරදුණේ 1620 දී. ඒ දෙවැනි සංගිලිට පසු. ඉන්පසු යාපනයේ පාලකයා වූයේ සෙනරත් රජු. ඔහු 1635 වන තුරු රජ කළා. ඉන්පසු දෙවැනි රාජසිංහ රජ වුණා. ලන්දේසින් මුහුදුබඩ පළාත් අල්ල ගත්තෙ දෙවැනි රාජසිංහ රජු කාලයේ.
අප සාමාන්‍යයෙන් කියන්නේ පෘතුගීසි පාලනය 1500 සිට 1650 දක්වාත් ලන්දේසි පාලනය 1650 සිට 1800 දක්වාත් ඉංගිරිසි පාලනය 1948 දක්වාත් තිබුණු බව. මෙහි ඇත්තේ අවුරුදු 150ක පමණ කාල පරිච්ඡෙද. එහෙත් නිවැරදිච කියන්නේ නම් ඒ සංශෝධනය කරන්න ඕන. ලන්දේසින් මෙරුටට මුලින් ම පැමිණ ඇත්තේ 1602 දී. ඒ විමලධර්මසූරිය රජුගෙ කාලයේ දී. රජු ලන්දේසින් ගැන පැහැදී ඔවුන්ගේ බස ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වල තියෙනවා. කොහොමටත් රජු පෘතුගීසි බස දැන සිටියා. දෝන කතිරිනා සමග පෘතුගීසි බසින් වෙන්න ඇති කතා කෙළෙත්. ලන්දේසින් පෘතුගීසින්ගෙන් මුහුදුබඩ පළාත් අයත් කර ගත්තෙ 1640 දි. එහෙත් අප සාමාන්‍යයෙන් කියන්නෙ 1650 කියලා.
ආර්ය චක්‍රවර්තීන් දෙමළ කතා කළත් ඔවුන් කවුරුන් වුවත් යාපනයේ දෙමළ රාජ්‍යයක් තිබුණෙ නැහැ. මෙරට මුහුදුබඩ පළාත්වල පෘතුගීසි රාජ්‍යයක්වත් ලන්දේසි රාජ්‍යයක්වත් තිබුණෙ නැහැ. ඔවුන් ආක්‍රමණිකයන්. ඇතැම් සිංහලයන් පෘතුගීසි කතා කළත් (විසිවැනි සියවසේ මුලත් කොළඹ ඇතැම් සිංහල පවුල්වල කතා කෙළෙ පෘතුගීසි. ඔස්මන්ඩ් ජයරත්න මා සමග පවසා තියෙනවා තම දෙමව්පියන් පෘතුගීසි බසින් කතා කළ බව), මුහුදුබඩ පළාත්වල පෘතුගීසි රාජ්‍යයක් තිබුණු බවවත් එහි පෘතුගිසින් වාසය කළ බවවත් කියන්නෙ නැහැ. 1815න් පස්සෙ මෙරට තිබුණෙ ඉංගිරිසි රාජ්‍යයක් නො වෙයි. වැසියන් ඉංගිරිසිනුත් නො වෙයි.
ආර්ය චක්‍රවර්තීනුත් එහෙමයි. අප වැරදියට ආර්ය චක්‍රවර්ති රාජ්‍යයක් ගැන කියනවා. අප හිතනවා ඔවුන් දෙමළ කියා. අප ඉන්පසු හිතනවා යාපනය දෙමළ රාජ්‍යයක් වැසියන් දෙමළ කියා. එහෙම වෙන්නෙ නැහැ. අරය චක්‍රවර්තීින් දෙමළ කතා කළත් වැසියන් සිංහල. ලන්දේසින් තමයි මලබාර් ප්‍රදේශයෙන් වෙල්ලාලයන් ගෙනාවෙ. ඒ වන විට වෙල්ලාල කිහිප දෙනකු ඉන්න ඇති. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. එහෙත් වෙල්ලාලයන් කුලයක් ලෙස සංවිධානය වී යාපනය දෙමළ කළේ ලන්දේසි කාලයෙ.
මලබාරයෙන් ගෙනා අය 1707දිත් මෙරට ස්ථිර පදිංචි කරුවන් වුණේ නැහැ. අද මෙරටින් අරාබිකරයට යන අය මෙන් ඔවුන් තම කාර්යය අවසන් කිරීමෙන් පසු ගම් රටවල් බලා ගියා. මේ කාරණයට හොඳ ම උදාහරණය තමයි තේසවලාමෙ නීතිය. ලන්දේසීන් 1707 දි තේසවලාමෙ නීතිය ඇති කෙළේ ම මේ ආපහු මලබාරයට යන පිරිස නවත්වගෙන ඔවුන් ස්ථිර පදිංචිකරුවන් කරන්න. ඒත් එයත් සාර්ථක වුණෙ නැහැ. ඒ නිසා තමයි ඉංගිරිසින්ට නැවතත් තේසවලාමෙ නීතිය පනවන්න සිදු වුණෙ. ඉතා පැහැදිලිව දහනවවැනි සියවසට පෙර මෙරට දෙමළ කතාකරන ස්ථිර වාසස්ථාන තිබිලා නැහැ. ඉංගිරිසින් වෙල්ලාලයන් මෙරට ප්‍රධාන කළු සුද්දන් බවට පත් කිරීමෙන් පසුවයි මෙරට වෙල්ලාල ජාතිවාදය ඇති වුණෙ. එහි දී වැදගත් ම වර්ෂය වන්නෙ 1833.