Main Logo

Monday 16 September 2019

නෙළුම් කුළුණ, පැල්පත්, නියම, නියාම, හා සිස්ටම් චේන්ජ්

                   සිංහල ලිත් ඉලක්කම් 

                                             

නෙළුම් කුළුණ, පැල්පත්, නියම, නියාම, හා සිස්ටම් චේන්ජ් 


බාප්පගෙ පුතා හිල්ටන් හෝටලේ කෑම භාරව ඉන්නෙ කියල පම්පෝරි කියවල රෑට කන්නෙ නැතිව නින්දට යනව වගේ වැඩක් තමයි අද නෙළුම් කුළුණ විවෘත කරන කොට දකුණු ආසියාවෙ උසම කුළුණ කුළුණ ගැන කතා කරමින් මේ ධාරාණිපාත වරුසාවට තෙමෙන පැල්පතක ඉන්න කෙනෙකුට තෙමෙන්න වෙලා තියෙන්නෙ. මා නෙළුම් කුළුණට විරුද්ධ ව කතා කරනව නො වෙයි. ඩිජිටල් තාක්‍ෂණයට කුළුණෙ ඇති විවිධ පහසුකම්වලට විරුද්ධ වෙනවත් නො වෙයි. හිල්ටන් හෝටලේටත් මා විරුද්ධ නැහැ. ඒත් අර මිනිසුන්ගෙ වැස්සට තෙමෙන පැල්පත්.


ඒ අතරෙ රණවිරුවන් මහා පාරෙ. අප වෙනුවෙන් මිය ගිය රණවිරුවන්ගෙ දරුවොත් අර වැස්සට තෙමෙන පැල්පත්වල ජීවත් වෙනව ඇති. අද රණවිරුවනුත් දේශපාලනය අනුව බෙදන්න ලැහැස්ති වෙන පිරිසක් ඉන්නව ඒ කොහොම වුණත් රණවිරුවන්ගෙ ප්‍රශ්නෙ  විසඳන්න මෙච්චර කල් යන්නෙ ඇයි? අර වාර්තාව මේ වාර්තාව කැබිනට් පත්‍රිකාව ආදී කතාවලින් රණවිරුවන්ගෙන් යැපෙන්නන්ට වැඩක් නැහැ. මානුෂික මෙහෙයුම් ඉවර වෙලත් අවුරුදු දහයකට වැඩියි. 

වැස්සට තෙමෙන පැල්පත්වල හිටපු, නිදහස් අධ්‍යාපනයෙන් රජයේ ඉහළ නිලධාරි තනතුරුවලට පත් වුණු අයත් ඇති. සමහර විට ඔවුන් මේ වාර්තා පත්‍රිකා ප්‍රමාදයට හේතුව වෙන්නත් ඇති. ක්‍රමයෙ වැරුද්ද කිය කිය අපට ප්‍රශ්නවලින් පැන යන්න බැහැ. ක්‍රමය වෙනස් කරන්නෙ කවදා ද? ඔය ක්‍රමය කියන එක දවසෙන් දෙකෙන් වෙනස් කරන්න පුළුවන් එකක් නො වෙයි. හැත්තෑ එකේ දි පොලීසිවලට එක රැයින් පහර දීල ක්‍රමය වෙනස් කරන්න හදල දසදහස් ගණනක් මරා දාපු උම්මන්තකයනුත් හිටියා. ඔවුන් දෙවැනි වතාවකටත් අසමත් වුණා. ඒත් තාමත් ක්‍රමය වෙනස් කරන්න කතා කරන අය ඉන්නවා. ක්‍රමය වෙනස් කරන තෙක් අර මිනිසුන් වැස්සට තෙමෙන්න ඕන ද?

ක්‍රමය වෙනස් කරන්න දඟලන අය ඒකත් කියන්නෙ ඉංගිරිසියෙන්. සිස්ටම් චේන්ජ් කරන්න ඕනළු. ක්‍රමය වෙනස් වෙනවා. ඒත් ඒක වෙන්නෙ ක්‍රමික ව. බටහිර ගණිතයෙ යෙදෙන වචනයක් කිව්වොත් සන්තතික ව.  මොකෝ වෙනස් වෙන්නෙ නැති දෙයක් තියෙනවයි. ඒ සමාජ ක්‍රමය වෙනස් වෙන නියාමයක් තියෙනවා. ඒ ධම්ම නියාමයක්, නියාමයක් තියන්නෙ බටහිර විද්‍යාවෙ තියෙන නියමයක් නො වෙයි. නිව්ටන්ගෙ නියමය වගේ එකක් නො වෙයි. මාක්ස්ට වැරදුණෙ මේ ධම්ම නියාමය නිව්ටන් අනුව ගිහින් නියමයක් කරන්න හදපු නිසා. නියාමවල හේතු දක්වන්න යන්නෙ නැහැ. ඒත් නියමවල හේතු තියෙනවා. 

එංගලන්තෙ වැඩවසම් ක්‍රමයෙන් ඔය කියන ධනපති ක්‍රමයට පෙරළුණෙ එක දවසකින් නොවෙයි. ඒක සියවස් කිහිපයක විකාශයක්. එහි මුල තියෙන්නෙ ඉතාලියෙ පෙරෙන්ට්සි (ඉංගිරිසින් කියන විධියට ෆ්ලොරන්ස්) නගරයෙ. මාටින් ලූතර්, ගැලීලියෝ, නිව්ටන්, අටවැනි හෙන්රි, (පහළොස්වැනි සියවසට පෙර සිටියත්) බෙකට්, ක්‍රොම්වෙල් ආදී විශාල පිරිසක් ඒක පිටුපස ඉන්නවා. එංගලන්තෙ තවමත් රජු (රැජන) ඉන්නවා. හැරීගෙ මංගල්ලෙ ගැන මේ ලංකාවෙ සිස්ටම් චේන්ජ් කාරයොත් උනන්දු වුණා. හැරී දැන් තාත්තා කෙනෙක්. හැරීට දැන් හැරෙන්න බැහැ. 

ප්‍රංශ විප්ලවයත් ක්‍ෂණික එකක් නො වෙයි. ලේ මිසරාබ්ලෙ බලන්න බැරි නම් මනුතාපය කියෙව්වත් ඒක තේරුම් ගන්න පුළුවන්. ඒකෙ දි රජ්ජුරුවන් නම් ගිලටීනයට දැම්මා. රාජාණ්ඩු ක්‍රමය වෙනස් කළා කියලා ක්‍ෂණික වෙනසක් සිද්ධ වුණෙ නැහැ. මාක්ස් ප්‍රංශ විප්ලවයෙන් වැරදි පාඩම් ඉගෙන ගත්තා. ඔහු සමාජවාදයක් ගැන කියෙව්වා. ලෙනින්ලා ට්‍රොට්ස්කිලා ඒක විශ්වාස කළා. සිස්ටම් චේන්ජ් කරන්න ගියා. ස්ටැලින් අයිස් පොරවකින් ට්‍රොට්ස්කි මරා දැම්මා. ලෙනින්ට වයස නිසා ස්වාභාවික මරණයක් අත් වුණා. ස්ටැලින් ඒකාධිපතියකු වුණා. ඒක වෙන්න ඇති කම්කරු පංති ආඥාදායකත්වය. කෘෂ්චොෆ් හරහා පුටින් ඇවිල්ලා. කෝ සමාජවාදය. කෝ වික්‍රමබාහු. සමාජවාදය සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට ඇති වෙන්නෙ නැහැ. ඊට ඉස්සර අපට නිවන් දකින්න බැරි වෙන එකක් නැහැ. 

ක්‍රමික (සන්තතික)  විකාශ මිසක් අසන්තතික සමාජ ක්‍රම වෙනස් වීමක් නැහැ. එහෙම කරන්න ගිය තැන සිදුවන්නෙ අවුල්. රුසියාවෙ හා නැගෙනහිර යුරෝපයේ වුණා වගේ. බටහිර රටවල ක්‍රමයෙන් සිදු වුණු වෙනස්කම් යටත්විජිතවාදීන් අප වැනි රටවල එක රැයෙන් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස අපේ රටවල් අවුල් වෙලා. වැඩියෙන් ම අවුල් වෙලා තියෙන්නෙ ලංකාව. ඒකට හේතුවක් තියෙනවා. ඒක පස්සෙ කතා කරමු.  ගවුම් ඇන්දට කලිසන් ඇන්දට ජීන්ස් ඇන්දට ටයි කෝට් ඇන්දට අප වෙනස් වන්නෙ නැහැ. හිල්ටන් හෝටලයට ගිහින් බලන්න. මේ රටේ බෙල් බොටම් විහාර මහා දේවිලත් හිටියා. චම්පකගෙන් අහන්න. 
    
බොහෝ දෙනා කියන විධියට මට මානව දයාවක් නැති වෙන්න පුළුවන්. ඒත් නෙළුම් කුළුණ විවෘත කරන විට මට අර වැස්සට තෙමෙන පැල්පත්වල ජීවත් වෙන මිනිසුන් මතක් වේවි. ක්‍රමය වෙනස් කිරිල්ල පැත්තකට දාලා ඒ මිනිසුන්ගෙ ජීවිතවලට එළියක් දෙන්න යමක් කරන්න. ඒකට දේශපාලනඥයන් හා නිලධාරීන් තරු පහේ හෝටල්වල වැඩ මුළු පවත්වල සමීක්‍ෂණ චාරිකාවල යෙදෙන්න ඕන නැහැ. ග්‍රාම නිලධාරි මහත්වරුන් ළඟ දත්ත තියෙනවා.  සජිත්ගෙ තාත්තගෙ කාලෙ ඉඳන් ගෙවල් හදනවා. ඒකත් ඉවරයක් නැති වැඩක්.  ආරංචි හැටියට සජිත්ට ජනාධිපති අපේක්‍ෂකකම ලැබෙන්නෙ නැහැ. රනිලුයි කරුණාරත්න ජයසූරියයි ගෙවල් හදන්නෙ නැහැ. රනිල් කෘෂිකර්මය නගා හිටවන්න වැඩ කරනවා. ඔහු කටින් බතල කොළ ඉන්දනවා. ඒකට අස්වැන්නක් තියෙන පාටයි. කරුණාරත්න ජයසූරිය අස්වැන්න නෙළා ගන්න ඉදිරිපත් වෙන හැඩයි. 

මට වෙන අයට වගේ දෝරේ ගලා යන මානව දයාවක් නැහැ. ඒ හින්ද වෙන්න ඇති මේ ගැන හිතන කොට සිස්ටම් චේන්ජ් පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ගැන මතක් වෙන කොට කේන්ති යන්නෙ.