Main Logo

Monday 30 September 2019

ලකුණ ද ජාතිය ද

   සිංහල ලිත් ඉලක්කම්


ලකුණ ද ජාතිය ද


ශ්‍රී ල නි පක්‍ෂය හා පොදු ජන පෙරමුණ අතර මතභේද තියෙනවා. ඒ කුමන මතභේද තිබුණත් ජාතියේ නාමයෙන් පක්‍ෂ දෙක එකතු විය යුතුයි. ඇතැම් පඬියකු (පොහොට්ටුවේත් පඬියන් ඉන්නවා) අහන්න පුළුවන් ජාතිය කියන්නෙ මොකක් ද කියලා. මා නම් දන්නේ මෙරට ඇති සිංහල ජාතිය පමණයි. මුස්ලිම් ජනවර්ගයක් හා දෙමළ කතා කරන ජනකොටස් නම් ඉන්නවා. ඔවුන් ජාතීන් නො වෙයි. ඔවුන් සිංහල ජාතිය සමග එකතු වන්න ඕන. ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතා නැති නොකර ඒ කළ හැකියි. 


බටහිර මතවාද හැරෙන්න වෙනත් මතයක් දැනුමක් ගැන නොදන්නා පඬියන්ට මේවා කියා දීමෙන් වැඩක් නැහැ. ඔවුන් ජාතික රාජ්‍යය ගැන දන්නේ බටහිර එවැනි රාජ්‍යයන් ඇති වීමට පසුවයි. සිංහලයන් ජාතික රාජ්‍යයක් බිහි කර අවුරුදු දෙදහසක් පමණ වෙනවා. බටහිරයන් එන විට මේ කලාපයේ සිංහල ජාතික රාජ්‍යය හැරුණු විට තිබුණේ වාංශික රාජ්‍ය. චේර පාණ්ඩව සොළී විජයනගර පල්ලව මෞර්ය ආදී රාජ්‍ය වාංශික රාජ්‍ය. සිංහල රාජ්‍ය ලම්බකර්ණ, මෞර්ය, නායක්කාර් රාජ්‍ය ලෙස හැඳින්වුණේ නැහැ. වසභ, ධාතුසේන, ශ්‍රී වික්‍රම රාජසිංහ ආදී සියල්ලන් ම  සිංහලේ සිංහල රජවරු. 

ශ්‍රී ල නි පක්‍ෂයේ හා පොදු ජන පෙරමුණේ ඒ පක්‍ෂ එකතු වීමට අකමැති අය ඉන්නවා. ප්‍රශ්න ඇති වන්නේ ඔවුන් හා ජාතියක් ගැන නොසිතන පිරිස නිසයි. අද ප්‍රශ්නය බවට පත්කර ගෙන තියෙන්නේ ලකුණයි. එය ලකුණක ප්‍රශ්නයකට වඩා කෝඳුරු තෙල් හත් පට්ටයක හා තවත් ටිකක ප්‍රශ්නයක්. දෙපැත්ත ම කෝඳුරු තෙල් ටිකක් හොයනවා. ඒ අමාරුවෙන් හත් පට්ටයක් හොයා ගත්තට පස්සෙ.

ඇතැම් නායකයන්ට ජාතිකත්වයක් ගෑවිලාවත් තිබුණා නම් මේ කෝඳුරු තෙල් හොයන්නේ නැහැ. අද ජාතික හා වාම කේන්ද්‍රිය පක්‍ෂවල එකතුවෙන් ජාතික අපේක්‍ෂකයා ලෙස ගෝඨාභය ඉදිරිපත් කෙරී තිබෙනවා. එහෙත් අප කොතරම් කීවත් පොහොට්ටුව ගෝඨාභය තම අපේක්‍ෂකයා කර ගෙන. එය හොඳ වැඩක් නො වෙයි. පොහොට්ටුව හිනනවා නම් තමන්ට කාගේවත් ආධාරයක් නැතිව දිනන්න පුළුවන් කියා එය හීනයක් පමණයි. අනෙක් අතට පොහොට්ටු ලකුණ නිසා ඡන්දය නොදී සිටීම ගෝඨාභයට ඡන්දය  නොදීමක්. මාත් පොහොට්ටුවේ උද්ධච්ඡයනට කැමති නැහැ. ඔවුන් බොහෝ දෙනකුට ජාතිකත්වයකුත් නැහැ. එහෙත් ඒ කියා සජිත්ට වක්‍රාකාරයකින්වත් සහාය දෙන්න බැහැ. ඔහු පිටුපස යළි උපන් (බෝන් අගේන්) ක්‍රිස්තියානිය ඉන්නවා. යළි උපන් ක්‍රිස්තියානින් පොහොට්ටුවෙත් ඉන්නවා, ශ්‍රී ල නි පක්‍ෂයේත් ඉන්නවා.

ශ්‍රී ල නි පක්‍ෂයේ ඉන්න යළි උපන් ක්‍රිස්තියානින්ට සජිත් දිනවීමේ අවශ්‍යතාව ඇති. එහෙත් ජනතාව විසින් ජාතිකත්වයේ පක්‍ෂය බවට 1952 තරම් ඇත කාලයක දී පත් කෙරුණු පක්‍ෂයකට වක්‍රාකාරව නමුත් සජිත් දිනවීමට හවුල් වන්න පුළුවන් ද? කෝඳුරු තෙල් තවත් ටිකක් සොයන්නේ සජිත් දිනවන්න ද? 

ශ්‍රී ල නි පක්‍ෂය අද ගන්නා තීරණය මත ජාතියේත් පක්‍ෂයේත් අනාගතය රැඳී තියෙනවා. ඔවුන් වැරදි තීරණයක් ගතහොත් දැනටමත් මරා දමා ඇති ශ්‍රී ල නි පක්‍ෂයේ ආදාහනය නොවැම්බර් 16 වැනි දා සිදු වේවි. හරී තීරණයක් ගතහොත් ශ්‍රී ල නි පක්‍ෂයට යළි ඉපදීමට හැකි වේවි. ඒ හරි තීරණයත් සමග පොහොට්ටුවේ අභාවය ද ඉක්මන් වේවි. ශ්‍රී ල නි පක්‍ෂයට හෝ පොහොට්ටුවට හෝ කැමැත්තක් දක්වන්නේ එක ම පිරිස්. පොහොට්ටුවේ අති බහුතරය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ හිතවතුන්. 

මේ පක්‍ෂ දෙකට එක විට (සමගාමී) පැවැත්මක් නැහැ. පොහොට්ටුව උපන්නේ ශ්‍රී ල නි ප මිය යෑම නිසයි. ශ්‍රී ල නි පක්‍ෂය යළි ඉපදුණොත් පොහාට්ටුච අභාවයට යාවි. ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැම් බලධාරීන් පොහොට්ටුවට බය ගතියක් පේන්න තියෙනවා. සමහරකුට නම් සජිත් දිනවීමේ අවශ්‍යතාවත් ඇති. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂයට බය වෙන්න දෙයක් නැහැ. මේ අවස්ථාවේ නියම තීන්දුව ගත්තොත් ජාතිකත්වයක් ඇති ජනතාව පොහොට්ටුවේ උද්ධච්ඡයන් අත් හැර ශ්‍රී ල නි පක්‍ෂය යළි උපද්දාවි. 

අනෙක් අතට පොහොට්ටුව ජාතිකත්වය වෙනුවෙන් ගෝඨාභය තම අපේක්‍ෂකයා බවට පත් නොකර පොහොට්ටුව වෙනුවට වෙනත් ලකුණකින් ඉදිරිපත් වීමට ඉඩ දුන්නොත් ශ්‍රී ල නි පක්‍ෂයේ ආදාහනය සිදුකර පොහොට්ටුව ශක්තිමත් වේවි. ජනතාව එය ජාතිකත්වයේ පක්‍ෂය බවට පත් කරාවි. අද ස්මාට් ජාතිකවාදීන්ට පොහොට්ටුවේ ඉන්න බැරි තත්වයක් උදාවෙමින් පවතිනවා. ස්මාට් ජාතිකවාදීන් එක්කෝ සජිත්ට ආධාර කරන්න ඕන. නැත්නම් ඒ ස්මාට් ජාතිකත්වය අත්හැර පොහොට්ටුවේ ඉන්න ඕන.

පොහොට්ටුව හරි ශ්‍රී ල  නි පක්‍ෂය හරි දරදඬු නොවී නිවැරදි තීරණය ගන්න ඕන. දරදඬු නොවූ පක්‍ෂයට අනාගතයක් තිබේවි. පක්‍ෂ දෙකම දරදඬු වුණොත් ජාතිය නැති වේවි. ගෝඨාභය දිනිය යුත්තේ ජාතියේ පැවැත්මට මිස මන්ත්‍රීකම් ඇමතිකම් සභාපතිකම් තානාපතිකම් බලාපොරෙත්තු වන්නන් සඳහා නො වෙයි. තම තනතුරූ ගැන හිතමින් ජාතිය පැත්තකට දමා කටයුතු කරන්නන්ට නොවැම්බර් 17 වැනි දා පාන්දර  දහඩිය දමාවි. ටයි කෝට් ඇන්දත් ඉංගිරිසි කතා කරත් සුවඳ විලවුන් ගැල්ලුවත් දහඩිය සාමාන්‍යයෙන් ගඳයි.  

අද විවිධ පුද්ගලයන් ගෝඨාභයගේ ඡන්ද කැඩීමට ඉදිරිපත් වෙනවා. ඔවුන්ට දිනන්න බැහැ. එහෙත් ඡන්ද කඩා ගෝඨාභය පරදවන්න පුළුවන්. මේ තරගය පොහොට්ටුවේ උද්ධච්ඡයන් සිතන තරම් පහසු නැහැ. ඡන්ද ලක්‍ෂයක් දෙකක් කැඩීම නිසා ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. පොහොට්ටු නායකයන් ශ්‍රි ල නි පක්‍ෂය අවතක්සේරු නොකළ යුතුයි.

මේ ලිපිය ලියන්නේ ගෝඨාභයට ජාතික අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වීමට හැකි ය යන උපකල්පනය යටතේ. සමහර විට ශ්‍රී ල නි පක්‍ෂය වෙනත් ආකාරයකට හිතනවා වෙන්න පුළුවන්. බැරි වෙලාවත් ගෝඨාභය හැරෙන්න වෙනත් අයකු ඉදිරිපත් වුණොත් ඔවුන් කුමක් කරාවි ද යන්න ප්‍රශ්නයක්. එසේ නොවේවා යන්න අපේ පැතුමයි.