Main Logo

Friday 6 September 2019

දයාසිරිගේ කේවල් කිරීම්

  සිංහල ලිත් ඉලක්කම්

දයාසිරිගේ කේවල් කිරීම්



දයාසිරි ජයසේකර කවුද මොනවද කරන්නෙ යන ප්‍රශ්නය අද දේශපාලනයට වැදගත් වෙනවා. අද ඔහුගෙ උපදේශක මණ්ඩලයෙ ඉන්න සමහරු පඬියන්. ඔවුන් අතර කොළඹ විශ්වවිද්‍යාලයෙ විද්‍යා පීඨයෙ හිටි අයත් ඉන්නවා. ඔවුන්ගේ මතවාද මගේ කර පිටින් යන අවස්ථාත් තියෙනවා. මට විරුද්ධ වීමට දත මැදගෙන ඉන්න අයට දයාසිරිගෙ එකී උපදේශකයන් කියන කරන දේ මට පහර දෙන්න යොදා ගන්න පුළුවන්. ඒකට කරන්න දෙයක් නැහැ. ඒත් මට නම් පේන්නෙ දයාසිරි තම හැකියාවන් (විභවයන්) ඉක්මවා වැඩ කරන්න යන බවයි. 


අද ශ්‍රී ල නි පක්‍ෂය මෙරට ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂය නො වෙයි. අද එයට උරුමකම් කියන්නේ ම එ පෙරමුණයි. අවුරුදු තිහක් පමණ දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් එක ම ප්‍රතිපත්තියක පිහිටා ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් කටයුතු කෙළේ ඒ පක්‍ෂයයි. එහෙත් ම එ පෙ තම ප්‍රතිපත්ති ගරුක භාවය බලයට ඒම සඳහා යොදා ගත්තේ නැහැ. ඒ වෙනුවට ශ්‍රී ල නි පක්‍ෂයේ දෙවැන්නකු ලෙස ක්‍රියා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස, 1994 දී චන්ද්‍රිකාට විරුද්ධව ස්වාධීන ස්ථාවරයක් දැරුවත්, පසුව චන්ද්‍රිකා සමග ටික කාලයකට නමුත් සහයෝගයෙන් වැඩ කළා. 

2014-15 දී ශ්‍රී ල නි ප මරා දැමුණා. ඒ එ ජා ප සමග එකතු වී ඊනියා යහපාලන ආණ්ඩුව ඇති කිරීමෙන්.  මා ඒ ගැන කතා කරන්න කැමති නැහැ. එහි වරද මෛත්‍රිපාලට පමණක් පටවා නිදහස් වෙන්න කිසිවකුටවත් බැහැ. එසේ මරා දැමුණත් 2018 පළාත් පාලන මැතිවරණයෙනුත් ශ්‍රී ල නි පක්‍ෂයට හා එක්සත් ජනතා නිිදහස් සංධානයට 16% ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලැබුණා. පොදුජන පෙරමුණට ඇතැම් පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට ශ්‍රී ල නි ප සහාය අවශ්‍ය වුණා. මට මතක හැටියට ශ්‍රී ල නි ප පළාත් පාලන ආයතනවල බලය පිළිබඳ ප්‍රශ්නයේ දී එ ජා ප සමග සහයෝගයෙන් වැඩ කෙළේ නැහැ. 

අද වන විට ශ්‍රී ල නි පක්‍ෂයට 2018 පෙබරවාරියේ තිබූ ශක්තියත් නැහැ. අද සමහර විට ඔවුන්ට 5%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ඇති. එංගලන්තයේ ලිබරල් පක්‍ෂයට වූ දේ අද ශ්‍රී ල නි පක්‍ෂයට සිදුවෙලා. එංගලන්තයේ කොන්සර්වෙටිව් (ටෝරි) පක්‍ෂයත් සමග විසිවැනි සියවසේ මුල දී ද බලයට තරග කෙළේ ලිබරල් පක්‍ෂයයි. එහෙත් ඒ තැන ලේබර් පක්‍ෂයට දී සුළුතර පක්‍ෂයක් බවට පත් වීමට ලිබරල් පක්‍ෂයට සිදු වුණා. අපේ රටේ ශ්‍රී ල නි පක්‍ෂයට පොහාට්ටුවට තැන දී අයින් වෙන්න වෙලා. ඒත් පොහොට්ටුව ජාතිකවාදී පක්‍ෂයක් නො වෙයි. 

මුහුදු මහා විහාරය ගැන පොහොට්ටුවවත් දයාසිරිවත් සජිත්වත් කිසිවක් කියන්නේ නැහැ. මුහුදු මහා විහාරය සිංහල බෞද්ධ සංස්කෘතියේ නොවෙනවා වෙන්න ඇති. සඟ වෙද ගුරු ගොවි කම්කරු කතාව අද නමටවත් ඔය කවුරුන්වත් කියන්නේ නැහැ. සජිත්ට නම් ඒකෙ උරුමයකුත් නැහැ.  

පොහොට්ටුව හා ශ්‍රී ල නි ප එකතු වීමට දෙපැත්තේ ම සමහරුන් විරුද්ධයි. දයාසිරිගේ ගුරුවරයකු වූ ජී එල් පීරිස්ට හැමදාමත් එකතුව ප්‍රශ්නයක් වුණා. ඔහු පොහොට්ටුවේ සභාපති. ඔහුගේ ඊනියා බුද්ධියට පොහොට්ටුවේ නායකයන් වශී වෙලා. ඔහු සිංහල නීතියට නොව රෝම ලන්දේසි නීතියට එකතු කළ සංකල්පයක් ප්‍රවාදයක් වේ ද? කපා ඇළවීමේ (කට් ඇන්ඩ් පේස්ට්) ක්‍රමය මහා බුද්ධියක් මත යැපෙන්නක් නො වෙයි. 

ජී එල්ලාගේ විරුද්ධත්වයට ඔවුන්ගේ උපක්‍රමවලට දයාසිරි ඉතා ගොරහැඩි විධියට විරුද්ධ වෙනවා. ජී එල් දන්නවා සියුම් ව ශ්‍රී ල නි පක්‍ෂය සමග එකතුවකට විරුද්ධ වීමට. එහෙත් දයාසිරි එයට ප්‍රතිචාර දක්වන්නේ සියුම් ව නම් නො වෙයි. බොහෝ දෙනාට පෙනෙන්නේ ඔහු එකතුවට විරුද්ධ බවයි. 

අද ඔහු ප්‍රකාශ කර තියෙනවා තමන් ශ්‍රී ල නි පක්‍ෂයෙන් ජනාධිපතිවරණයට අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බව මැතිවරණ කොමිසමට දැන්වූ බව. මැතිවරණ කොමිසමත් නාමයෝජනා ලබා ගන්න කලින් ඉදිරිපත් වීමට බලාපොරොත්තුවන පක්‍ෂවල නම් ඉල්ලන්නේ අහවල් දේකට ද? එසේ කලින් නම් නොදුන්නොත් නාම යෝජනා පත්‍ර භාර දෙන්න බැරි ද? එසේ නම් ඉල්ලීමට මැතිවරණ කොමිසමට යම් පණතකින් බලයක් ලැබී ඇත් ද? මැකො (කොමිසම) එන්නේ මොකාට ද? 

දයාසිරි ශ්‍රී ල නි පක්‍ෂයෙන් ජනාධිපතිවරණයට අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බව කියන්නේ කේවල් කිරීමට වෙන්න පුළුවන්. එහෙත් එය ඔහු තමාට ම එරෙහිව තබා ගන්නා වෙඩි උන්ඩයක්. දේශපාලනඥයන් බොහෝ විට බලන්නේ රට ගැන නොව තමන් ගැන බව අප දන්නවා. එහෙත් මේ අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන කතාව තමන්ටවත් වැඩක් ඇති එකක් නො වෙයි. දුමින්ද දිසානායකට එ ජා පක්‍ෂයට එකතු නූණොත් දේශපාලන වශයෙන් අනාගතයක් නැහැ. දයාසිරිත් ශ්‍රී ල නි පක්‍ෂයත් හිතන්නේ එහෙම ද කියල අහන්න වෙනවා.

දයාසිරි ශ්‍රී ල නි පක්‍ෂය වෙනුවෙන් පොහොට්ටුව සමග කේවල් කරන්න ඕන. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. දයාසිරිගේ විද්‍යා පීඨ පඬියන් හිතන්නේ අපට මේ කිසිවක් නොතේරෙන බවයි.  සමහර විට පොහොට්ටුව හිතනව ඇති ශ්‍රී ල නි පක්‍ෂයට දැන් ඡන්ද  5%ක් පමණක් ඇති නිසා ඒ නැතිවත් තමන්ට දිනන්න පුළුවන් කියා. එහෙම නම් පොහොට්ටුවට බද්‍යුද්දීන්ලා නැතිවත් දිනන්න පුළුවන්. එහෙත් පොහොට්ටුව ශ්‍රී ල නි පක්‍ෂයට වඩා නම්‍යශීලි භාවයක් මුස්ලිම් පක්‍ෂවලට දක්වනවා. දයාසිරි මුස්ලිම් පක්‍ෂ ගැන කියන්නේ කුමක් ද? මුහුදු මහා විහාරයත් නැගෙනහිර පළාතේ අනෙක් බෞද්ධ සිද්ධස්ථාන ගැනත් ප්‍රකාශයක් කිරීමට ඔහු සූදානම් ද?