සිංහල ලිත් ඉලක්කම්
සාමනේර හිමිවරුන්ට පහර දුන්නේ කවුද?
සාමනේර හාමුදුරුවරුන් දෙනමකට පාපියකු අමානුෂික විධියට පහර දෙනවා දෙරණ රූපවාහිනියෙන් දැක්කා. ඒ පාපියා දැන් අත්අඩංගුවට ගෙන. ඒත් ඊට කලින් සකර්බරගේ දරුවන් වන පඬි නැට්ටන් ටිකක් පිටරට ඉන්න කාවද තම අත්අඩංගුවට අරගෙන. දැන් ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඕනෑ ම අයකුට ඕනෑ ම දෙයක් සකර්බර්ග් හරහා ප්‍රසිද්ධ කරන්න පුළුවන්. ඒකෙ වරදකුත් නැහැ. නමක් පළ කරාම අන්තර්ජාලයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ තොරතුරු නැවත පරීක්‍ෂා කරන්න කියලා සකර්බර්ග් කියල නැහැ.
මේ හාමුදුරුවරුන්ට පහර දුන් පළමු අවස්ථාව නො වෙයි. අපේ වංසකතාවල කැලණිතිස්ස රජ්ජුරුවන් රහතන් වහන්සේ නමක් රත්වෙන තෙල් කටාරමක දැමූ පුවතක් සඳහන් වෙනවා. ඊට බොහෝ කාලෙකට පස්සෙ වංශවත් ටොරිංග්ටන් කියන ගහලයා කඩහපොළ හාමුදුරුවන්ට වෙඩි තියන්න අණ කරපු බව පඬියන්ගේ සතුටට හේතු වන පරිදි හොඳාකාරව ම මූලාශ්‍ර සහිත ව කියන්න පුළුවන්.
හාමුදුරුවරුන් වැරදි කරල තියෙනවා. ඒ ඒ කාලෙ තියෙන නීති අනුව වැරුද්දක් කරල තියෙනව නම් දඬුවම් දෙනවා. කවුරුවත් නීතිය ප්‍රශ්න කරන්නෙ නැහැ. ඉංගිරිසි ආණ්ඩුවට විරුද්ධව නිදහස් අරගලයක යෙදීම ඉංගිරිසි නීිතියට අනුව වැරැද්දක්. ටොරිංග්ටන් හරි වෙන්නත් ඇති. කැලණිතිස්ස රජ්ජුරුවො නීතියට අනුව හරි වෙන්නත් ඇති. නඩුවලත් නිවැරදිකරුවන් වැරදිකරුවන් වීම එදත් අදත් සිද්ධ වෙන දෙයක්. නීතිය එදත් අදත් බූරුවෙක්. එතකොට තර්කය පුත්තලම් බූරුවෙක්.
මේ ඉතා මෑත කාලයේත් ජාතිකත්වය ගැන මහා (මෙගා) කතා කියන දේශපාලනඥයකු හාමුදුරුනමකට බඳ පටියෙන් පහර දුන් බවට කතාවක් තියෙනවා. ඒ හාමුදුරුවන් කළ වරද මොකක් ද කියන්න හරියට දන්නෙ නැහැ. ඒත් හාමුදුරුවන් නීතියට අනුවවත් වරදක් කර නැති බවයි කියැවෙන්නෙ. අපි බොහෝ වෙලාවට වැඩ කරන්නෙ හැඟීමෙන්. අපේ දේශපාලනයට ප්‍රශ්න ඇති කරන්නන්ට අපි කැමති නැහැ. ඒක දේශපාලනයට විතරක් නොවෙයි වෙනත් දේටත් බලපානවා. නීතිය මොකක් වුණත් අපට සාපේක්‍ෂව අපට වැරැද්දක් කළ අයට අපට පුළුවන් නම් දඬුවම් දෙන්න හිතෙනවා. ඇතැම් විට දඬුවම් දෙනවා. එ දඬුවම් දීම නීතියට පටහැනි වෙන්න පුළුවන්.
අර සාමනේර හිමිවරුන් දෙනමට පහර දුන් තැනැත්තා පාපියකු වන්නේ මට සාපේක්‍ෂ ව. නීතියට අනුව ඔහු වරදකරුවකු ද නැත් ද යන්න තවම කියන්න බැහැ. මට ඔහු පාපියකු වන්නේ නිවන් මගින් බැහැරට ගොස් තිබෙන නිසා. එහෙත් මෙහි දී වැදගත් වෙනත් දෙයක්. මේ පහර දීම සිදුවන්නේ කිනම් වටාපිටාවක ද?
සාමනේර හාමුදුරුවන් පොඩි ළමයින්. ඒ හාමුදුරුවන් ටොෆි චොකලට් හොරකම් කරා ද නැත් ද යන්න මට වැදගත් නැහැ. ඒ පහර දුන් පුද්ගලයා කැලණිතිස්ස රජු වුවත් නැතත් ටොරිංග්ටන් වුවත් නැතත් මෙගා දේශපාලනඥයා වුවත් නැතත් මෙයට අවුරුදු පනහකට පෙර එලෙස පහර දීමට පෙළඹෙයි ද?
ජ වි පෙරමුණට හරි පෙරටුගාමින්ට හරි සම්බන්ධ හාමුදුරුවරුන් තාප්ප උඩින් වඩිනවා පොලීසියට ගහන්න වඩිනවා අප දැක තියෙනවා. ඒ කිසි දිනෙක ලෝකයේ නොතිබූ කිසි දිනෙක ලෝකයේ ඇති නොවන සමාජවාදයක් වෙනුවෙන් මිස බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් නො වෙයි. සමාජවාදය කියන්නෙ මාක්ස්ගෙ වැඩ නොකරන හිතළුවක් පමණයි. කඩහපොළ හිමියන් මොහොට්ටිවත්තෙ ගුණානන්ද හිමියන් විනයට අනුව ම වැඩ නොකරන්න ඇති. එහෙත් උන්වහන්සේලා කටයුතු කෙළේ බුදුසසුනේ චිරස්ථිතිය වෙනුවෙන්. සිංහල බෞද්ධයන් හාමුදුරුවන්ට සිවුපසය පිරිනමන්නෙ මාක්ස්ට වැඩ කරන්න නො වෙයි. මාක්ස්වාදය හා බුදුදහම අතරවත් බෞද්ධ සංස්කෘතිය අතරවත් එකඟත්වයක් නැහැ.
දැන් බලන් යනකොට සංකිලිත් වැඩ කරල තියෙන්නෙ බුදුසසුනෙ චිරස්ථිතිය වෙනුවෙන්. ආර්ය චක්‍රවර්තීන් කියන්නෙ සිංහ වංශයක්. ඒ හැමෝට ම සිංහ නමක් තිබුණා. ඔවුන් මෙහේ ඇවිත් පාලනය කෙළෙ යාපනයෙ සිංහලයන්. යාපනය සංකල්පීය ව දෙමළ රාජධානියක් කරනු ලැබුයෙ ඉංගිරිසින් විසින්. එයට ලන්දේසීන් ගෙනා වෙල්ලාලයන් ආධාර කර ගත්තා. ඉන්ද්‍රපාල කියන්නෙ දහතුන්වැනි සියවසට පෙර මෙරට ස්ථිර දෙමළ වාසස්ථාන තිබුණෙ නැහැ කියල. එහෙත් එය සම්පූර්ණ නැහැ. මෙරට දෙමළ කතා කරන ජනයාගේ ස්ථිර වාසස්ථාන දහඅටවැනි සියවසට පෙර තිබී නැහැ. මේ ගැන විස්තරයක් පසුව.
ඒ කොහොම වුණත් මේ ඊනියා වාමාංශික හාමුදුරුවරුන්ගෙ ක්‍රියාකාරීත්වය හේතුවෙන් හාමුදුරුවරුන්ට ඇති ගෞරවයට කැළලක් වෙලා. ඒ මදිවට ජාතික හෙළ උරුමය හාමුදුරුවරුන් පාර්ලිමේන්තුවට යවල උන්වහන්සේගේ ගෞරවය තවත් පහතට ගෙනාවා. ජාතික හෙළ උරුමය ජාතිකත්වය ගසා කන පක්‍ෂයක් බව අප දැන ගෙන බොහෝ කල්. එහෙත් ඒ සියල්ලටමත් වඩා හාමුදුරුවරුන්ගෙ ගෞරවය කෙළෙසන ව්‍යාපාරයක් පහුගිය අවුරුදු පනහක පමණ කාලයක කෙරී ගෙන යනවා. ඒ බටහිර මතවාදවල දාසයන් වූ පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් මගින්.
අද ඔවුන් බුදුදහමට අගෞරව කරනවා. විවිධ පඬි කතා ඊනියා අනාගමික ස්ථාවරයක ඉඳන් කියනවා. ඒත් ඒ අය ඇතැම් මෞලවීලා සහාරන් ආරක්‍ෂා කිරීම ගැන කිසිවක් කියන්නෙ නැහැ. බටහිරයන්ගේ හා ඉන්දියාවේ මෙහෙයවීමෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය හෙළා දකින ව්‍යාපාර රාශියක් පහුගිය පනස්වසරක පමණ කාලයක ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා වැඩියෙන් ම දායක වන්නෙ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ගමෙන් ආ ඊනියා උගත් ගැමි තරුණයන්.
මේ ආණ්ඩුව පහුගිය අවුරුදු හතරහාමාරක කාලයක ඒ සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයට තවත් රුකුල් දුන්නා. රන්ජන් රාමනායක එහි යම් කාර්යභාරයක් කළා. ඔහු තම ආගමේ පූජකවරුන් විවේචනය කෙළෙ නැහැ. ඒ පූජකවරුන් සියළු දෙනා ම සාන්තුවරයන් කියා හිතන්න බැහැ.
අවුරුදු පනහකට ඉස්සර සාමනේර නමකටවත් අතක් උස්සන්න හිතපු ගිහියන් හිටියෙ නැහැ. ඒත් දැන් කියන විධියට නම් චොකලට් පෙත්තකට අත් දෙක ම උස්සන අය ඉන්නවා. ඒ දෑත් ඉස්සෙව්වෙ කවුද?