Main Logo

Thursday 5 December 2019

බටහිරයන්, සිංහල නැගිටීම හා චිත්‍ර

        සිංහල ලිත් ඉලක්කම්


 බටහිරයන්, සිංහල නැගිටීම හා චිත්‍ර 



එංගලන්තයේ කොන්සර්වෙටිව් පක්‍ෂයේ මැතිවරණ ප්‍රකාශයේ ලංකාව රාජ්‍ය දෙකකට කැඩීමක් ගැන කියැවෙනවා. උදය ගම්මන්පිල ඒ ගැන කියා තිබුණා.  ඒ පිළිබඳ ව ලන්ඩනයේ ලංකා මහා කොමසාරිස්වරිය කලින් ම  පැමිණිල්ලක් කරල තියෙනවා. එවිට කොන්සර්වටිව් පක්‍ෂය කියා තියෙන්නෙ රාජ්‍ය දෙකේ කතාව ලංකාවට අදාළ නැත එය ඊනියා මැද පෙරදිගට පමණක් අදාළ බවයි. අපි කොන්සර්වෙටිව් පක්‍ෂයේ  මැතිවරණ ප්‍රකාශයේ අදාළ කොටස උපුටා දක්වමු.  "We will continue to support international initiatives to achieve reconciliation, stability and justice across the world, and in current or former conflict zones such as Cyprus, Sri Lanka and the Middle East, where we maintain our support for a two-state solution."මෙහි කියන දෙය ඉතා පැහැදිලියි. සයිප්‍රස්, ශ්‍රී ලංකාව හා මැද පෙරදිග වැනි ගැටුම් කලාපවල රාජ්‍ය දෙකක් සඳහා වූ තම ප්‍රතිපත්තිය පවත්වා ගෙන යන බව සඳහන් වෙනවා. මෙහි අවසන් කොමාව තිබෙන්නේ Middle East යන වචනවලට පසුව. එවිට රාජ්‍ය දෙකේ ප්‍රතිපත්තිය පවත්වාගෙන යන්නේ සයිප්‍රස්, ශ්‍රී ලංකාව හා මැද පෙරදිග සම්බන්ධයෙන්. කොන්සර්වෙටිව් පක්‍ෂයට රාජ්‍ය දෙකේ ප්‍රතිපත්තිය ඊනියා මැද පෙරදිගට (මෙය බටහිර ආසියාව විය යුතුයි. මැද පෙරදිගක් ඇත්තේ යුරෝපයට සාපේක්‍ෂව) පමණක් සීමා කළ යුතුව තිබිණි නම් කොමාව යොදන්න තිබුණෙ Sri Lanka යන්නට පසුව and යන්නට කලින්. කොන්සර්වෙටිව් පක්‍ෂයට කොමාව වැරදිලා ද? නැත්නම් අපට කොකා පෙන්නනවා ද? 


සුපුරුදු පරිදි උගත් සිංහලයන් හිතනවා මේ එංගලන්තයේ දෙමළ ඡන්ද ගැනීම සඳහා දෙන පොරොන්දුවක් ලෙස. එහෙත් ඔය කියන තරම් මන්ත්‍රී ආසනවල වෙනසක් කිරීමට ඒ ඒ කොට්ඨාසයේ දෙමළ ඡන්ද නැහැ. මේ උගත් සිංහලයන්ට පෙනෙන ප්‍රමාණයයි. මා කියන්නේ නැහැ හැඳිමිට දිගේ නුවණක් කියා. ඉංගිරිසින් ප්‍රධාන බටහිරයන් දෙමළ ඡන්ද ගන්න ප්‍රතිපත්ති සකස් කරනවා නොවෙයි. ඔවුන් තමයි දෙමළ ජාතිවාදය පවත්වාගෙන යන්නෙ. බටහිරයන් නැත්නම් දෙමළ ජාතිවාදයක් නැහැ. 

සිංහලයන් කලාකරුවන් ශිල්පීන් මිස ශාස්ත්‍රඥයන් නොවෙයි. අද තාප්පවල චිත්‍ර ඇඳීම රැල්ලක් වෙලා. ඒක පටන් අරන් තියෙන්නෙ පාණදුරෙන්. පාණදුරෙන් පටන් ගන්න මෙවැනි දේ නම් රැලි වෙනවා. පාණදුරා වාදයත් එක්තරා ආකාරයකට රැල්ලක් වුනා. සිංහල බෞද්ධ ප්‍රබෝධය එදත් අදත් රැල්ලක් වෙන්න පුළුවන්. ඒවා ඉන්ද්‍රිය ගෝචර රැලි. මෙරට චිත්‍රත් ඉන්ද්‍රිය ගෝචර නිර්මාණ. මෙරට ඊනියා වියුක්ත චිත්‍ර බොහෝ විට විකාර. වියුක්තය අපට හුරු නැහැ. අප කරන්නේ සිද්ධියෙන් සිද්ධියට යෑම හා හේතු නිර්මාණය කිරීම. සිද්ධි මාලාවක් එකට දකින්න අපට බැහැ.  වියුක්ත කතන්දර (ප්‍රවාද) නිර්මාණය කරන්න  සිංහලයන්ට පුරුදු කරන්න බැරි ඇයි. මට නම් ඒකටත් කතන්දරයක් තියෙනවා. ඒත් මා ඒක දැන් ම කියන්නේ නැහැ. 

එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල තියෙන්නෙ සිංහල, විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධයක්. ඒ සිංහල විරෝධය දෙමළ ඡන්ද ලබා ගැනීම සඳහා නො වෙයි. විසිවැනි සිය වසේ මුල එංගලන්තයේ සර්වජන ඡන්දය තිබුණේ නැහැ. එත් ඒ දවස්වලත් ඉංගිරිසින්ගෙ සිංහල විරෝධයක් තිබුණා. ඒ විරෝධය, සිංහල බෞද්ධ විරෝධය බ්‍රවුන්රිග්ගෙ කාලෙත් තිබුණා. 1815 ගිවිසුම බ්‍රවුන්රිග්ලා අත්සන් කෙළෙ හොඳ හිතින් නොවෙයි. 1833 වන විට එය හොඳින් ම කැපී පෙනෙන්න තිබුණා. 1840, 1848 තීරණාත්මක වර්ෂ. කොන්සර්වෙටිව් පක්‍ෂය මැතිවරණ ප්‍රකාශයේ ඔය රාජ්‍ය දෙකේ කතාව කියන්නේ ඒක ඔවුන්ගේ ප්‍රතිපත්තිය නිසාත් එය නග්නාකාරයෙන් ම ඉදිරිපත් කිරීමට ඔවුන්ට අද සිදු වී තිබෙන නිසාත්. ඒ ගෝඨාභය බලයට පත් වී ඇති නිසා.

ලංකවේ ස්විට්සර්ලන්ත තානපති මහා දවල් හමු වූ ස්ත්‍රිය නාට්‍යය අධ්‍යක්‍ෂණය කරන්නේ ඒ රටේ දෙමළ ඡන්ද දිනා ගන්න නො වෙයි. ඔවුන් අවසාන වශයෙන් කරන්නේ එංගලන්තයට සහාය දීමක්. ගෝඨාභයට විරුද්ධ වීමක්. මෙරට දෙමළ ජාතිවාදයේ මුල ඉන්නෙ එංගලන්තය. අද බටහිර රටවල් ඉන්නෙ වියරුවෙන්. ඒ ගෝඨාභය ජනාධිපති වීම නිසා. ඔවුන්ට අවශ්‍ය වුනෙ ගෝඨාභය පරාද කරන්න. ඔවුන්ට කොටි පරදිනවා දකින්න වුවමනාවක් තිබුණෙත් නැහැ. උතුරු හා නැගෙනහිර පළාත් රොත්ත පිටින් සජිත්ට ඡන්දය දුන්නෙ සජිත්ගෙ ඊනියා සිංහල බෞද්ධකමකට නො වෙයි. ගෝඨාභය පරදවන්න. 

මුලදි රනිල්ටත් සුමන්තිරන්ටත් අවශ්‍ය වුනෙ සජිත් පරාජය කරන්න. සුමන්තිරන්ලා හිතුවෙ ඡන්දය දීමෙන් වළකින්න. ජ වි පෙ ලවා අපේක්‍ෂකයකු ඉදිරිපත් කෙරෙව්වෙත් සජිත්ගෙ ඡන්ද කඩන්න. ඒත් බටහිරයන් හා ඉන්දියාව තීරණය කළා ගෝඨාභය පරදවන්න. සුමන්තිරන්ලා තොග පිටින් සජිත්ට ඡන්දය දැම්මෙව්වා. ඒත් කිසිවකුටවත් ජ වි පෙ අපේක්‍ෂාවේ අපේක්‍ෂකයා අස් කර ගන්න බැරි වුනා. අනුරගෙ ඡන්ද වැටුණත් සජිත්ට දිනන්න බැහැ. අර පෙරටුගාමියාට වගේ ම අනුරටත් ඇති ඡන්දයක් නැහැ. ඊනියා වාම දේශපාලනයකට ජාතික දේශපාලනයක් ඉදිරියේ තැනක් නැහැ. 1952න් පස්සෙ තත්වෙ ඒකයි. ජ වි පෙ ආසන දිනා ගත්තෙ ජාතික දේශපාලනයත් සමග එක්වීමෙන් පමණයි. 

දැන් ගෝඨාභය දිනලා. බටහිරයන් හා ඉන්දියාව නොසිතූ පරිදි සිංහලයන් එකතු වෙලා. ඒඩ්‍රියන් කන්දප්පා පිටව ගියා. තවත් අය පිට කර ගන්න ඕන. මහා දවල් හමු වූ ස්ත්‍රිය වැදගත් චරිතයක් වෙන්න ඕන. ඇගේ නම ගානියා ඩැනිස්ටර් ෆ්‍රාන්සිස් කියා කියනවා. තානාපතිට අනුව ඇයට දුස්සාධ්‍යයිලු. ඒ නිසා ඈත් පවුලත් ස්විට්සර්ලන්තයට යවන්න ඕනලු. ඇගේ අසනීපයට පවුල ම යවන්නෙ අහවල් දේකට ද? ස්විට්සර්ලන්ත තානාපති කැමති නම් අපට ඒ ස්ත්‍රියට සිංහල පාරම්පරික බෙහෙත් දෙන්න සලස්සන්න පුළුවන්. ඒ මොකක් වුනත් පොලිස් පරීක්‍ෂණ  දිගට ම කර ගෙන යන්න ඕන. හොඳ හොඳ නැටුම් එළිවෙන ජාමෙට කිවුවලු. ස්විට්සර්ලන්තය ඇයට හා පවුලට ව්‍යාජ නම්වලින් එරට හෝ වෙනත් බටහිර යුරෝපීය රටක හෝ ගමන් බලපත්‍ර ලබා දී පිට කරන්න පුළුවන්. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට විමසිල්ලෙන් ඉන්න වෙනවා.
  
කොන්සර්වෙටිව් පක්‍ෂයෙ ප්‍රතිපත්තිය ලංකාව බෙදීම තමයි. ඔවුන් අද ඒ කතාවෙන් ගැලවෙන්න විවිධ දේ කියාවි. ලංකාවෙ ඉන්න ඔවුන්ගෙ ඇම්බැට්ටයනුත් විවිධ කතා කියාවි. ඒත් ඔවුන්ට තම ප්‍රතිපත්තිය මැතිවරණ ප්‍රකාශයෙනුත් කීමට සිදු වෙලා තියෙන තරමට ගෝඨාභය විරෝධයක් ඇතිවෙලා. ලේබර් පක්‍ෂය මෙයටත් වඩා එහා වෙන්න ඕන. සාමාන්‍යයෙන් බටහිර රටවල ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ ලිබරල් හා කොන්සර්වෙටිව් පක්‍ෂවලට වඩා සිංහල විරෝධීයි. මෙරටත් සිංහල විරෝධී සිංහලයන්ට ඇත්තේ ඊනියා සමාජවාදී පසුබිමක්.

මුජිබර් රහමන් කියනවා ආණ්ඩුව නැවතත් ජාත්‍යන්තරය සමග ගැටෙන්න යනවා කියලා. ආණ්ඩුවට බටහිර රටවල් සමග ගැටෙන්න අවශ්‍ය නැහැ. නොගැටෙනවා කියන එකෙන් රහමන් හා තවත් අය කියන්නෙ මොකක් ද? ඒ වෙන මොකක්වත් නොවෙයි බටහිර රටවල් කියන විධියට සිංහල විරෝධි වීම. බටහිර රටවලට අවශ්‍ය විධියට කටයුතු නොකිරීම ගැටීමක්. පහුගිය අවුරුදු පහකට ආසන්න කාලයක රනිල්ගෙ ආණ්ඩුව කෙළේ කුමක් ද? එකක් ජෙනීවාහි දී බටහිර රටවල තාලයට නැටීම. මංගල සමරවීර තමයි අසහාය ශිල්පියා. අනෙක සිංහල විරෝධී ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට වෙහෙස වීම. එ ජා පක්‍ෂයේ සිංහල විරෝධය අනුව ඔවුන් පාර්ලිමේන්තුවෙ කටයුතු කළා. ඔවුන්ට වෙනත් දෙයක් කරන්න වෙලා තිබුණ නම් ඒ හොරකම් කරන්න යොදා ගත්ත.

එ ජා පක්‍ෂය උපතින් ම සිංහල විරෝධී බව මා කලින් කියා ඇති. බටහිරයන්ගෙ සිංහල විරෝධය අනුව පාද තැබීම හැරෙන්න වෙනත් දෙයක් එ ජා ප දන්නෙ නැහැ. සේනානායකලගෙ කාලෙ ඒක දැන ගන්න බැරි වුනත් ජේ ආර්ගෙන් පස්සෙ විශේෂයෙන් ම පහුගිය අවුරුදු පහක පමණ කාලයෙහි එ ජා ප සිංහල විරෝධය සිංහලයන්ට ඉන්ද්‍රිය ගෝචර ව දැන ගන්න ලැබුණා. සිංහලයන් එයට විරුද්ධ ව ඡන්දය දුන්නා. එය මංගලගෙ හරි රන්ජන්ගෙ හරි බෞද්ධ විරෝධයක් නිසා ම ඇති වුවක් නො වෙයි. මංගල සිංහල විරෝධයෙහි කප්පිත්තා පමණයි.  ජෙනීවා කතා ව්‍යවස්ථා කතා සිංහලයන්ට අමතක වුනා කියල හිතුව ද? 

අද එ ජා පක්‍ෂයේ කොටසක් උත්සාහ කරන්නෙ මංගලගෙ රන්ජන්ගෙ බෞද්ධ විරෝධි කතා කියලා කරුණාරත්න ජයසූරිය නායකත්වයට පත් කර ගෙන එ ජා පක්‍ෂයට සුදු පිරුවටයක් අන්දවන්න. එ ජා පක්‍ෂය හිතනවා නම් එවැනි පිරුවටවලින් සිංහලයන් අන්දවන්න පුළුවන් කියල එහෙම හිතා ගත්තාවෙ. නවීන් දිසානායකට මේ දවස්වල හොඳ හීන පෙනේවි. දැන් ටිකක් සීතලයි නෙ.  

සජිත්ගෙ පරාජයත් මහා දවල් හමු වූ ස්ත්‍රිය නාට්‍යයත් කන්දප්පාත් කොන්සර්වෙටිව් පක්‍ෂයේ මැතිවරණ ප්‍රකාශයත් වෙන් වෙන් සිද්ධි නො වෙයි. ඒ එක ම සිද්ධි මාලාවක්. මෙහි ඉතිහාසය දහනවවැනි සියවස මුලට ම යනවා. ඒ බ්‍රවුන්රිග්ටත් කලින් නෝත්ගෙ කාලයට ම යනවා. එදා කොහොම වුනත් අද සිංහලයන් අවදි වෙලා. අර තාප්පවල චිත්‍ර අඳින ළමයින්ටත් ඒක සංයුක්ත ව දැනෙනවා. ඔවුන්ට ඕන ලංකාව සුන්දර රටක් කරන්න. ඔවුන්ගෙ වචනවලින් නම් ලස්සන රටක් කරන්න. ඔවුන් මගේ කතාව කියවන්නෙ නැති වෙයි. ඒත් ඒ කතාව විවිධ මට්ටම්වලින් සමාජගත වෙලා. රට සුන්දර කරන්න සංස්කෘතිය මත රැඳෙන්න ඕන. ඒක චිත්‍රවල පමණක් නොවෙයි සංවර්ධනයෙදිත් වෙන්න ඕන. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පස්සෙ  සිංහලයන්  නැති වුනොත් නැති වෙන්නෙ පොහොට්ටු උද්ධච්ඡයන් නිසා මිස බටහිරයන් කියන දේ නොකරන නිසා නොවෙයි. කොහොමටත් ගෝඨාභය පරෙස්සම් වෙන්න ඕන.