Main Logo

Thursday 9 April 2020

කොවිඩ් නිවේදන හා අවුරුද්ද

  සිංහල ලිත් ඉලක්කම් 



කොවිඩ් නිවේදන හා අවුරුද්ද 



ඊයේ දෙරණ දේශීය වෙදමහතුන්ට අවස්ථාවක් දුන්නා හුමාලය ඇල්ලීම ගැන කියන්න. එය හොඳයි. තව තවත් දේශීය වෙදමහත්වරුන්ට තැනක් දෙන්න ඕන. ඔවුන්ට පමණයි වෛරසයට ඔරොත්තු දීම ගැන ජනතාව දැනුවත් කරන්න පුළුවන්. මා හිතන්නේ නිරෝධායනය ගැනත් ඔවුන් ලවා කියවන්න ඕන. තවමත් නිරෝධායනය  ගැන ජනතාවගේ බයක් තියෙනවා. සංඛ්‍යා ලේඛන ප්‍රස්තාර වගු ආදිය නැතිව ජනතාවට මෙය කියා දෙන්න ඕන. එහෙත් ඊයෙ සිරස වැඩ සටහනෙහි නම් ආයුර්වේද වෛද්‍යවරු  තම ගෞරවය රැකගෙන නැහැ.


ජනතාවට ඉතා සරල ව එහෙත් නිශ්චිත තේරුම් දෙන විධියට කියන්න ඕන. ඊයේ රජයේ නිවේදනයකට අනුව කියැවුණෙ මෙවර සිංහල අවුරුද්ද පවුලේ උදවිය සමග පමණක් සමරන්න කියා. මෙය ජනතාව විවිධාකාරයෙන් තේරුම් ගන්න පුළුවන්. අර සමහර දිස්ත්‍රික්කවල ඇඳිරි නීති ඉවත් කරපු වෙලාවෙ ඇතැමුන් හිතුවෙ තමන්ගෙ දිස්ත්‍රික්කයෙ ඇඳිරි නීති ඉවත් කළවිට වෙනත් දිස්ත්‍රික්කයකට වුණත් යන්න පුළුවන් කියලා. ඇතැමුන් තේරුම් ගෙනත් අවභාවිතා කළා. ඒ අය ඇඳිරි නීතිත් කඩනවා විවිධ කරුණු උපයෝගි කරගෙන. 

එහෙත් ඇතැමුන් තර්ක කෙළේ තමන් වසන දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ඉවත් කිරීම කියන්නෙ තමන්ට ඇඳිරි නීතිය නැහැ කියන එකයි. ඒ නිසා ඔවුන්ට වෙනත් දිස්ත්‍රිකයකටත් යන්න පුළුවන් කියා ඔවුන් හිතුවා. එය තර්ක කිරීමේ ක්‍රමයක්. තර්කයෙන් පමණක් අපට නිගමනවලට එන්න බැහැ. 

අලුත් අවුරුද්ද පවුලේ අය සමග පමණක් සමරන්න කිවුව ම ඒකත් එක විධියට හිතන්න පුළුවන්. ගම්බිම්වල ඉන්න තම දෙමවුපියන් බලන්න ගිහින් අවුරුද්ද සමරන්න පුළුවන් කියා ඔවුන් හිතන්න ඉඩ තියෙනවා. එතකොට ඇඳිරි නීතිය? ජනතාව ඒ ගැන හිතන්න පුළුවන් ඇඳිරි නීතිය තිබුණත් පවුලේ උදවිය සමග අවුරුද්ද සමරන්න පුළුවන් කියලා. ඒ නිසා මේ කරුණු හැකිතාක් නිශ්චිත ව කියන්න ඕන. 

මෙතනදි වැදගත් වන්නෙ පවුලෙ අය නො වෙයි. තමන් දැනට ඉන්න ගෙදර තමන් සමග ඉන්න අය එක්ක අවුරුද්ද සමරන්න කියන එක. ඒ අය පවුලෙ අය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේ කරුණු පැහැදිලි කර නිවේදනයක් නිකුත් කරනවා නම් හොඳයි.  මොන විධියට නිවේදන නිකුත් කළත් ඒ අවභාවිතා කරන අය ඉන්නවා. ඔවුන් නීතිය නවන අය. නීතිය නවන අය සමාජයේ විවිධ ස්ථරවල ඉන්නචා.

අර මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ කොවිඩ් 19 වෛරසය උල්කාපාතවලින් ආවා කියන එක ගැන යමක් ප්‍රකාශ කරන්න ඕන. ඒත් එය පසුවට කල් දමමු. ඔහු මහාචාර්ය ෆ්‍රෙඩ් හොයිල්ගෙ ගෝලයෙක්. මට මතක් වුණෙ අර වෙදමහත්තයාගෙ හා පාන්කඩ කාලා ලෙඩ හැදිල කියපු ගෝලයාගෙ කතාව.