Main Logo

Monday 16 August 2021

රට වසා රට අරාජික කිරීම

 

රට වසා රට අරාජික කිරීම

 

කලකට පෙර රට බෙදන්න කතා කළ පිරිසක් හිටියා. ඔවුන් මූලික වශයෙන් සිංහල බෞද්ධ විරෝධීන්. කාදිනල්තුමාටත් මතක ඇති. ඒ අය විවිධ සිවල් සමාගම්, ක්‍රිස්තියානි හා වෙනත් සාම මණ්ඩල, විකල්ප ප්‍රතිපත්ති කේන්දර ආදියෙහි ඉඳගෙන කේන්දර බැලුවා. ඔවුන් රට බෙදන්න කියා කෙළින් ම කිව්වේ නැහැ. ඔවුන් කිව්වේ පළාත් සභාවලට තව තවත් බලය දෙන්න කියා. ඉඩම් පොලිස් බලතල ඒ අතර වුණා. ඔවුන්ට දේශපාලන නායකත්වය දුන්නේ රනිල්. රනිල් බටහිරට අවශ්‍ය ආකාරයට ක්‍රියා කළ ක්‍රියා කරන අයෙක්. ඔහු ප්‍රභාකරන් එක්ක ගිවිසුම් අත්සන් කරන්න නෝර්වේ තානාපති සමග උතුරට ගිය අයෙක්.

 

අද රට වහන්න කතා කරන පිරිසක් ඉන්නවා. ඒ අය මධ්‍යස්ථ මතධාරීන් නො වෙයි. ඔවුන්ගේ වගතුග හෙව්වොත් ඔවුන්ගේ දේශපාලන පක්‍ෂපාතිකම් හෙව්වොත් බොහෝ දේ කියන්න පුළුවන් වේවි. බටහිර වෙදමහත්තුරු අද සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ ඒකාධිකාරයක් දරණවා. කෙහෙළිය රඹුක්වැල්ලට ඔවුන් මෙල්ල කරන්න පුළුවන් ද? ජී එල් විදේශ ඇමති වෙලා. ඔහුගේ පියා ජර්මනියේ මෙන් ම මියන්මාහිත් තානාපති වෙලා ඉඳලා තියෙනවා. කොහොමටත් මා තව මසකින් පමණ ආපසු ඒමට බලාපොරොත්තු වෙනවා.

 

අර ආයුර්වේද කොමසාරිස් කියලා ආයුර්වේද රෝහල්වලට අසාධ්‍ය රෝගීන් බාර ගන්නේ නැහැ කියල. අසාධ්‍ය රෝගීන් වෙනත් රෝහල්වලට යවනවා කියා. ඒ නිසා ආයුර්වේද රෝහල්වල රෝගීන් මිය නොගිය බව කීම සාධාරණ නැහැ කියල. එහෙම කොමසාරිස්ල ඉන්න කොට ආයුර්වේදයට විරුද්ධවාදීන් මොකට ද කියල ඇහැවුවලු. අසාධ්‍ය කියන්නෙ සුව කරන්න බැරි කියන එක. සුව කරන්න බැරි රෝගීන් තියාගත්තත් යැවුවත් ප්‍රතිඵලය එකමයි. ඔය ආයුර්වේද රෝහල්වලට ඇතුල්කළාට පස්සෙ දුස්සාධ්‍ය වෙච්ච, අමාරු වෙච්ච ලෙඩ්ඩු එහෙම ඉන්නවා ද? කොමසාරිස් මොකද කියන්නෙ. කොමසාරිස් කලින් දවසක කියල තිබුණ ධම්මික පැණියට දීපු අවසරය අවලංගු කළාය කියල. ඒ පරීක්‍ෂණවලින් පස්සෙ කියලත් තිබුණ. අපි දැනගෙන හිටියෙ නැහැ සූත්‍ර කමිටුව හරි වෙනත් කමිටුවක් හරි ධම්මික පැණිය ගැන පසුව පරීක්‍ෂා කළාය කියල. අධ්‍යක්‍ෂ කතා කරන්නෙ බටහිර වෙද මහත්තුරු පිරිසක් කළාය කියන පරීක්‍ෂණයක් ගැන ද? කොමසාරිස් ආයුර්වේද කොමසාරිස් ද නැත්නම් වෙන කොමසාරිස් කෙනෙක් ද? මා ආපසු පැමිණි පසු මේ සියල්ල ගැන කතා කරමු.

 

දැන් නැවතත් අර බටහිර වෙදමහතුන් ගෑන. මා කලින් දවසකත් කිව්වා ඔවුන් අද සංඛ්‍යාන විවරණ කරන්නන් පමණක් බව. ඔවුන්ට තබා ඔවුන්ගේ බටහිර ම ඉන්න බටහිර වෙදමහතුන්ටත් කොවිඩ්ට විරුද්ධ ව කළ හැකි දෙයක් නැහැ කියල. එන්නත හොඳයි. ඒක ප්‍රතිකාරයක් නොවෙයි. කොහොමටත් එන්නතට විරුද්ධ මතත් තියෙනවා. මුළු ජනගහනයට ම රෝගය ආසාදානය වුණොත් ඒකත් එක්තරා විධියකට එන්නතක් තමයි. එහෙම නොවේවා කියා මා පතන්නේ අසාධ්‍ය නොව දුස්සාධ්‍ය වූ රෝගියකු ලෙසයි.

 

මෙරට ඉන්න බටහිර වෙදමහතුන් හා වෙදනෝනලා අතරින් ජාතිකත්වයත් ඇති අය ඉන්නෙ ටිකයි. යම් පිරිසක් එ ජා ප හිතවතුන් හිතවතියන්. තවත් පිරිසක් බොරුවට සමාජවාදය ගැන කතා කරන අය. ඔවුන් පෞද්ගලික රෝහල්වල සේවය කරනවා ද නැද්ද යන්න අදාළ නැහැ. මේ අයට බටහිර විද්‍යාව සියල්ලට ම වඩා ලොකුයි. ඔවුන් අර විවිධ වර්ණ, වැඩියෙන් රතු ඉස්මතුවන ලෝගු ඇඳගෙන විවිධ වෛද්‍ය සභාවල වාර්ෂික සැසිවාරවලට සහභාගිවන විට ඇති උජාරුවට සරිලන දෙයක් ඔවුන්ගෙන් කෙරී ඇත් ද? ඔවුන් ඉදිරිපත් කර ඇති නව සංකල්පයක් ප්‍රවාදයක් වේද?

 

මා ඔය කාගෙනුත් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. වයිරස විකෘති ඇති වෙන්නෙ මොකද? වැරදීමක් (mistake) නිසා කියන එක උත්තරයක් නො වෙයි. ඒක අමාරු ප්‍රශ්නයක් නම් පොල් (ඇපල්) වැටෙන්නෙ මොක ද? මට හේතුව කියන්න. හේතුවාදය ගැන මා හියුම් නැගූ ප්‍රශ්න නගන්නෙ නැහැ. පොල් පොළොවට වැටෙන්න හේතුවක් තියෙනවා ද? අනන්‍ය හේතුවක්. 

 

අර වෛද්‍ය ආයතනවල සැසිවාරවල දකින්න පුළුවන් එක ම ජාතිකත්වය බෙර වාදන මැද්දේ ශාලාවට පැමිණ පොල්තෙල් පහන පත්තු කිරීම පමණයි. මට මතක් වෙන්නෙ ගුණදාස අමරසේකරගෙ කෙටි කතාවක්. මට කතාවෙ නම මතක නැහැ. මගේ මතකය දූර්වලයි. ඒත් ඒ කතාවෙ නායකයා පොල්තෙල් පහන පත්තු කරන්නෙ මුළු ලෝකයේ ම බර තමන් අතට ගත්තු අයෙක් වගෙයි. වගේ මිසක් අරගෙන නො වෙයි.

 

රට වහන්න කියන අයත් ආණ්ඩු විරෝධීන්, අවසානයේ දී සිංහල බෞද්ධ විරෝධීන්. රනිල් සජිත් අනුර ත්‍රිත්වයට ඇත්තේ  වෙන ම තිසරණ. එය බෞද්ධ තිසරණ නම් නොවෙයි. මේ දවස්වල විවිධ ත්‍රිත්ව එක්වෙලා කොඩ් (quad) නැත්නම් චතුෂ්කයක්   හදාගෙන. ඒ එක්සත් ජනපද, ඕස්ත්‍රේලියාව, ඉන්දියාව හා ජපානය . ඒ චීනයට විරුද්ධව. රනිල්ලා ඉන්නේ චතුෂ්කය සමග. අපට මේ සියල්ල මැද අපේ ස්වාධීනත්වය රැකගන්න ඕන. රට වහන්න ඕන කියන අය චතුෂ්කයට රට බාර දෙන්න කටයුතු කරන අය.

 

රට වැහුවොත් මොකද වෙන්නෙ. ජනතාව පැත්තෙන් ගත්තත් මෙහි පැති දෙකක් තියෙනවා. එක් පැත්තක ඉන්නෙ එදිනෙදා යමක් හම්බ කරන් කන අය. ඔවුන්ට මාසික වැටුපක් ලැබෙන්නෙ නැහැ. ඔවුන් ගැනත් බලන්න ඕන. අනෙක් පැත්තට රට වහන්න කතා කරන මාසික වැටුප් ගන්න අය ගැනත් බලන්න ඕන. රට වැහුවොත් රටේ කටයුතු නතර වෙනවා. එවිට ආණ්ඩුවට ලැබෙන බදු ටිකත් නැති වෙනවා. අද ඔය රජයේ සේවයේ වෙදමහතුන් ද ඇතුළු අයට වැටුප් විශ්‍රාම වැටුප් ගෙවන්නෙ ආණ්ඩුවේ බදු මුදලින්. බදු මුදලින් 80%ක් පමණ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවන්න යනව කියනවා. රට වැහුවොත් මාසික වැටුපත් නැති වේවි.

 

මේ ආණ්ඩුව බලයට පත්වෙන විට යහපාලන ආණ්ඩුව ඩොලර් ට්‍රිලයන ඉතිරි කරල ගියේ නැහැ. ඉතාමත් අදක්‍ෂ පාලකයකු වූ රනිල් යටතේ වර්ධනයත් අඩුවෙලා තිබුණෙ. අද යම්තම් රට ගෙනියන බව අපි දන්නවා. අද කවුරුන් කුමක් කිව්වත් එන්නත හොඳින් කෙරී ගෙන යනවා. බොහෝ ආසියාතික රටවල් සමග සංසන්දනය කළාම එය වේගවත්. එය මන්දගාමී කියන්නේ සංඛ්‍යාන ගැන කතා කළත් සංඛ්‍යා නොතේරෙන අය. පාස්කු ප්‍රහාරය නවත්ත ගන්න බැරි වුණු යහපාලනය අද රට වහන්න කියන්නෙ රට අරාජික වෙනවා දකින්නත් එමගින් අර චතුෂ්කයට රට විවෘත කරන්නත්. යහපාලනය තිබුණ නම් මෙළහකටත් රට චතුෂ්කයට බාර දීල.

 

බටහිර වෙදමහතුන් වෙදහාමිනේලා සහ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ තවත් අය හා බාහිර විවිධ අය රට වහන්න කියන කොට ගොනා හැරෙන්නේ මොකට ද කියල කියන්න පුළුවන්. ඔවුන්ගේ දේශපාලන මතිමතාන්තර අප නොදන්නවා නො වෙයි. රට අරාජික කර රට පාවාදීමට රනිල් සජිත් අනුර ක්‍රියාත්මක වෙනවා. ඔවුන් එකට වැඩ නොකරනවා වෙන්න පුළුවන්. එහෙත් වැඩ කරන්නේ එකාට. අර වෛද්‍ය ආයතනයෙ සභාපති ලේකම් ආදීන් කියන වෙදමහතුන්ගෙ වෙදහාමිනේලාගෙ රතුපාට ලෝගු අස්සෙන් කොළපාට  ටයිපටි හා සාරි   පේනවා.

 

රට බෙදන්න කතා කළ අය ම තමයි (එක ම කුලකය) රට වහන්න කතා කරන්නෙත්. ඔවුන් පිටුපස ඉන්නෙ අන්ත දක්‍ෂිණාංශික හරි අන්ත වාමාංශික හරි දේශපාලනඥයන්. රට නොබෙදා රට නොවසා කොවිඩ් පරාජය කරමු. සංචරණ නීති හැකි තාක් දැඩි කරමු. වෙන් කිරීම දැඩි ව කරමු. ඒක අපේ සංස්කෘතියෙ නොදැන සිටි දෙයක් නො වෙයි. බටහිර වෙදමහතුන් හා වෙදහාමිනේලා ඒක කියන්න ඕන නැහැ. ඔවුන්ට පුළුවන් නම් ප්‍රතිකාරයක් කියන්න. එලෙස වෙන් කරන අතර ආධ්‍යාත්මක ගුණවගාවකට නැවත එළඹෙමු.