Main Logo

Sunday 29 August 2021

මේ ඔබේ කාලයයි

 

මේ ඔබේ කාලයයි

 

පරාක්‍රම සමුද්‍රයේ රළපනාව මත කොන්ක්‍රීට් මංතීරුවක් ඉදිකිරීමට විරුද්ධ ව හාමුදුරුවරුන් කිහිප නමක් විරෝධය පලකරළ. වැඩේ තාවකාලික ව නතර කරළ. ඇතැමුන් කියන විධියට ලෝකයේ හොඳම ජල කළමනාකරණය තිබූ රටේ අද අපට රළපනාවක් අලුත්වැඩියා කරගන්න බැහැ. ඒ අතර මෙරට ඊනියා බටහිර වෙදකම පිළිබඳ විශේෂඥයන්ට කොවිඩ් සම්බන්ධයෙන් අලුතෙන් කිසිවක් කියන්න බැහැ. මේ වන විට චතුර අල්විස් වැනි ජනමාධ්‍යවේදීන්ටත් ඒ බව තේරුම් යමින් පවතිනවා.

 

මා ඉංජිනේරුවකු බටහිර වෙද මහතකු  දේශීය වෙද මහතකු නො වෙයි. මා උගතකු බුද්ධිමතකු වියතකු නො වෙයි. දේශීය වෙදකම ගැනවත් දේශීය වෙනත් තාක්‍ෂණයක් ගැනවත් මා දන්නා ඉටිගෙඩියක් නැහැ. ඒත් දේශීය දැනුමට අද ඇති සැලකිල්ල පිළිබඳ ව මට යමක් කියන්න පුළුවන්. බටහිර ගණිතය හා බටහිර භෞතික විද්‍යාව ගැන මා දන්නා අල්පමාත්‍ර දැනුමෙන් මට කියන්න පුළුවන් තිස්ගණන්වලින් පසුව ඒ දැනුම් කඩා වැටෙන බව.

 

විසිවැනි සියවස ආරම්භයේ දී ප්ලෑන්ක් ක්වොන්ටම් සංකල්පය ඉදිරිපත් කළා. එය වෙනත් සත්භාවයක (ontology) සංකල්පයක් බව අදත් බටහිරයන් දන්නේ නැහැ. ක්වොන්ටම් ජාගොඩ දන්නවා ද දන්නෙ නැහැ. ඒක දැන ගන්න කාලෝත් නැහැ.  අද වන විට බටහිර ආර්ථික විද්‍යාව දේශපාලන විද්‍යාව ආදියටත් යන එන මං නැහැ. ඒවට මංතීරුත් නැහැ. එයට විකල්පයක් ලෙස බටහිරින් ම ඉදිරිපත් වුණු මාක්ස්වාදය උපන්නේ ම ගබ්සා වෙලා. 

 

මෙරට මාක්ස්වාදීන් ගැන කියල වැඩක් නැහැ. ඔවුන් හැමදාම පද්ධති වෙනසක් (සිස්ටම් චේන්ජ් - system change) ගැන කියවනවා. කියෙව්වට වැඩක් නැහැ. කරන්න බැහැ. ලෙනින්ට ජෝසෆ් ස්ටැලින්ට කරන්න බැරි වුණා. ට්‍රොට්ස්කි පණ්ඩිත කතා කියව කියව ඉඳලා ස්ටැලින්ගෙ දූතයකුගෙ අයිස් පොරෝ පහරකින් මිය ගියා. මාඕලා පමණක් නොව හෝ චින් මින්ලත් අසමත් වෙලා. විජේවීර එක් රැයකින් පොලීසිවලට ගහල ඊනියා නිර්ධන පංතියට බලය අල්ලා ගැනීමට හිතුවා. මේ සියල්ලන් ම කළ එක් දෙයක් තිබුණා. ඒ ඊනියා විප්ලවය වෙනුවෙන් මිනිසුන් මරා දැමීමයි.

 

මෙරට අධ්‍යාපනය හා ජනමාධ්‍ය ඇසුරෙන් බිහි වී ඇති උගතුන්ට සිදු වී ඇත්තේ කුමක් ද? ඔවුන්ට අපේ පැරණි දැනුමත් නැහැ. බටහිර දැනුමේ යමක් නිර්මාණය (සංස්කරණය) කරන්නත් බැහැ. ඔවුන්ට කළ හැක්කේ බටහිරින් පොතක සඟරාවක දැන් නම් අන්තර්ජාලයේ යමක් කියැවුනොත් එය සිංහලෙන් කීම පමණයි. එය දහනවවැනි සියවසේ සිට කෙරෙන්නක්. ඒ මගින් යම් තරමක් හරි වෙනස් වුණෙ කුමාරතුංග මුනිදාස මහතා පමණයි.

 

මා දන්නා හැටියට රළපනාව කියන්නෙ වැවේ ඇති වෙන රළ නිසා වැව් බැම්මට විය හැකි හානිය වළක්වා ගැනීම සඳහා රළ හැරවීමට, නැවැත්වීමට තනා තිබෙන්නක්. මා වැරදි වෙන්න පුළුවන්. රළපනාව තැනීමේ දී යම් තාක්‍ෂණයක් යොදා ගන්න ඇති. අද ඒ තාක්‍ෂණය දන්නා අයකු ඉන්නවා නම් දහසින් බැඳි පියලි දී කැඳවා ගන්න ඕන. එසේ නැත්නම් කරන්නේ කුමක් ද? අද අපට මුහුණ පෑමට ඇති එක් ප්‍රශ්නයක් එයයි.

 

ඒ පැරණි තාක්‍ෂණය මනුෂ්‍ය නොවන ජීවියකු හා සම්බන්ධ වී ලබා ගත හැකි ද කියා සොයා බලන්නත් පුළුවන්. මා දන්නවා ඒ කී ගමන් මෙරට ඉන්න බටහිර ඉංජිනේරුවන් හා වෙනත් උගතුන් බුද්ධිමතුන් මට හිනහවෙන බව. ඒ අතර ජනමාධ්‍යවේදීනුත් ඉන්නවා. මා උගතකු බුද්ධිමතකු නොවන නිසා මට එය ප්‍රශ්නයක් නො වෙයි. මට නැතිවන්නට සමාජ පිළිගැනීමක් නැහැ. අඩු තරමෙන් ගුණදාස අමරසේකර ඇතුලු බොහෝ ජාතිකවාදීන් අතරවත් එවැනි පිළිගැනීමක් නැහැ.

 

රළපනාව සම්බන්ධයෙන් ඇති ප්‍රශ්නය කොවිඩ් 19 සම්බන්ධයෙන් ද තියෙනවා. දේශීය වෙදකමේ ඒ සඳහා ප්‍රතිකාර කියා තිබුණත් නැතත් දේශීය වෙද මහතුන්ට බටහිර වෙදකමත් අවශ්‍ය නම් අවශෝෂණය කර ගනිමින් ප්‍රතිකාර නියම කරන්න පුළුවන්. ඒ ප්‍රතිකාර භාවනාවෙන් හරි මනුෂ්‍ය නොවන ප්‍රාණියකුගෙන් හරි ලබා ගන්න පුළුවන්. කෙසේ වෙතත් මා දන්නා තරමින් දැන් දේශීය ප්‍රතිකාර කිහිපයක් තියෙනවා.

 

අද වන තුරු සමාජයේ දේශීය වෙදකම ඇතුලු දේශීය දැනුමට තිබුණේ අඩු සැලකිල්ලක්. ආයුර්වේදය ඉගෙනීමට විශ්වවිද්‍යාලවලට පැමිණියේ ජීව විද්‍යා ධාරාවේ උසස් පෙළට පෙනී සිට වෙනත් කිසිම පීඨයකට ඇතුල්වීමට තරම් ලකුණු නොලැබූ සිසුන් හා සිසුවියන්. ඔවුන්ට තිබුණේ දොස්තර මානසිකත්වයක් කීම අතිශයෝක්තියක් නො වෙයි.

 

අද බටහිර දැනුම කඩා වැටිලා. අපට අපේ සම්ප්‍රදාය මත ඉඳිමින් අවශ්‍ය විට බටහිර දැනුම පමණක් නොව චීන වැනි වෙනත් දැනුම් ද අවශෝෂණය කර ගනිමින් දැනුම සංස්කරණයට යොමු වීමට කාලය ඇවිත්. අපේ කාලය වෙබ් අඩවියටත් ඒ අනුව තවත් අර්ථකථනයක් ලැබෙනවා.

 

ප්‍රශ්නය අපේ සම්ප්‍රදාය මතු කර ගැනීමයි. ඒත් ඉංගිරිසින් 1814 දී රිච්මන්ඩ් විද්‍යාලය ආරම්භ කළ දවසේ සිට කෙළේ අපේ සම්ප්‍රදාය මකා දැමීමයි. අපේ දැනුමට අදත් බුද්ධිමතුන් උගතුන් හිනහවෙන්නේ ඒ මිථ්‍යා ලෙස සලකන්නේ ඉංගිරිසින් අනුව යමින්. බටහිර දැනුම යම් ප්‍රමාණයකට ලබා ගැනීමට අවුරුදු දහතුනක් පාසල් යන්න ඕන. විශ්වවිද්‍යාලයේ අවුරුදු තුනක් හතරක් පහක් කල්ගෙවන්න ඕන. බටහිර දැනුම සංස්කරණය පුරුදු වෙන්න කියල අපි ඊනියා පර්යේෂණ පශ්චාත් උපාධි සඳහා තවත් අවුරුදු කිහිපයක් ගත කරනවා. ඉන් සිදුවන්නේ අපේ නම මුලට හා අගට අකුරු එකතු වීම පමණයි. එහෙත් අපට ඒ සංස්කරණ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ අප බටහිර චින්තනයේ නොමැති වීම නිසයි. චතුර අල්විස් මෙරට බටහිර වෙද මහතුන්ගෙන් අලුත් උපදෙසක් බලා ඉන්නව නම් ඒක ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනව වගේ වැඩක්.

 

අපේ ක්‍රම පුරුදු වන්නත් කාලයක් ගත වේවි. දවසකින් දෙකකින් භාවනාව පුරුදු කරන්න බැහැ. චිකන් කකා මුසා කියමින් පන්සිල් කඩමින් ඒ කරන්නත් බැහැ. ඒත් අප අධෛර්යමත් විය යුතු නැහැ. ජාතිකවාදී මනසක් ඇති තරුණ තරුණියන්ට අලුත් මගක් ගැනීමට මේ කාලයයි. මේ ඔබේ කාලයයි. මා කාලො අයං තෙ කියන්න ඕන ද?