Main Logo

Tuesday, 3 August 2021

මරණයේ එළිපත්ත පාගල ආපහු ආවා

 

මරණයේ එළිපත්ත පාගල ආපහු ආවා

 

මරණයේ එළිපත්ත පාගල ආපහු එන්න මට හැකි වුණා. එය මගේ වාසනාවක් ද වෙනත් කාගේවත් අවාසනාවක් ද කියන්න ඉක්මන් වෙන්න ඕන නැහැ. ආපහු ඒම වාසනාවක් නම් එළිපත්ත පාගන්න ගිය එක අවාසනාවක් ද වගේ ප්‍රශ්න අහන එක තේරුමක්  නැති වෙන්නත් පුළුවන්. අවාසනාවක් කියන වචනය ම තේරුමක් නැති එකක් වෙන්න ඕන. අපි කවුරුත් කවදා හරි මැරෙනවා. අපට අමෘතය ලැබිලත් නැහැ.

 

ඒත් අමෘතයත් අර කොවිඩ් එන්නත වගේ කියල හිතෙනවා. අමෘතය බිව්වත් මැරෙණවා. ඒකට අමෘතය කිව්වෙ මොන එහෙකට ද කියලයි මා කල්පනා කරන්නෙ. අර නයාගෙ දෙපැත්තෙන් අල්ල ගෙන සුරයොයි අසුරයොයි මොන එහෙකට එච්චර මහන්සි වුණා ද? කොහොමටත් බොහෝ දෙනාට ඕන නොමැරී සදාකාලික ව ඉන්න. සදාකාලික කියන එක බමුණන්ගෙ වචනයක් වෙන්න ඕන. අපොයි බමුණො අපේ ජීවිතවලට කරල තියෙන හානිය.

 

බුදුහාමුදුරුවො අපට අමෘතය පොවන්න ලැහැස්ති වුණෙ නැහැ. අපට නොමැරී ඉන්න අරක කරන්න මේක කරන්න කියල දේශනා කළෙත් නැහැ. උන්වහන්සේ අපට ඉපදෙන්නෙ නැතිව ඉන්න ඉගැන්නුවා. ඒත් ඒක ලෙහෙසි වැඩක් නො වෙයි. බුදුහාමුදුරුවො සරල දේවල් දේශනා කළෙ. එදත් අද වගේ ම එක එක්කෙනා බුදුහාමුදුරුවන් මෙහෙම කිව්ව අරෙහෙම කිව්ව කියල තම තමන්ගේ මත කිව්ව. එදා අද වගේ ඊනියා පර්යේෂණායතන තිබුණෙ නැහැ. ඒත් ගුරුකුල නම් තිබුණා. අද ඔය බුදුදහම ගැන පර්යේෂණ කරන ලෝකයේ විවිධ ආයතන වහල දානව නම් හොඳයි. කිහිප දෙනකුට රස්සාව නැති වේවි. ඒත් බුදුදහම තියේවි.

 

අනෙක් ආගම්වල මැරෙන්නෙ නැතිව ඉන්න කියා දෙද්දි බුදුහාමුදුරුවො ඉපදෙන්නෙ නැතිව ඉන්න කිව්ව. ඒ වෙනස වුණත් ඉහළ ම වෙනසක්. ඉහළ ම වගේ වචන පාවිච්චි කරන්නෙ මගේ මෝඩකමට. ඒකට බුදුහාමුදුරුවන් අල්ල ගන්න එපා. අපි සිංහල බෞද්ධයන් හැටියට ඉපදෙන්නෙ නැතිව ඉන්න උත්සාහ කරපු ජාතියක්. අඩු තරමෙන් පොළොන්නරු කාලෙ වෙනකම් එහෙම හිටියා. ඊට පස්සෙ අපට සොළී බලපෑම් ඇති වුණා. ඒත් අමෘතෙ හොයා ගන්න බැහැ. අමෘතෙ තරංග මාර්ගයෙන් (ඔන්ලයින් ක්‍රමයට) ගෙන්න ගන්න විධියක් ඔය වෛදික ග්‍රන්ථවල ලියල නැද්ද? කොහොමටත් අපට නැවතත් ඉපදෙන්නෙ නැතිව ඉන්න උත්සාහ කරන්න පුළුවන් නම් සිංහල ජාතිය ගොඩගන්න පුළුවන් කියල හිතෙනවා.

 

අර එන්නත ගැන කිව්වෙ අමෘතෙ බිව්වත් මැරෙණව වගේ එන්නත ගත්තත් කොවිඩ් හැදෙන නිසා. ඒ සැසඳීම එතරම් හොඳ නැහැ. අමෘතෙ බීල නොමැරි හිටිය කවුරුන් ගැනවත් සුරයොවත් අසුරයොවත් කතා නැහැ. ඒ කොහොම වුණත් මට කොවිඩ් හැදුණෙ එන්නත ගත්තට පස්සෙ නම් නො වෙයි. මා එන්නත ලංකාවෙ දීවත් මියන්මාහි දීවත් ලබා ගෙන නැහැ.

 

 

මරණයේ එළිපත්ත පාගන්න ගිය වෙලාවෙ මගේ සිහි විකල් වුණා කියල කියනවා. සමහරු නම් කියන්නෙ එදත් අදත් කවදත් මගේ සිහි විකල් කියල. ඔය සිහි විකල් කියන වෙලාවෙ මට දානයක් දෙන්න ඕන කමක් තිබුණා. සංකල්පීය ව එය සුළු දෙයක්. ඒත් ප්‍රායෝගික ව කරන්න බැහැ. අපේ දරුවන්, ඥාතීන් හිතවතුන් සහභාගි කරවා ගෙන දානයක් දෙන එක ගැන කරන්න පුළුවන් කතා කිරීම පමණයි. මා ඒක කරල තියෙනවා. කොහොම හරි අර එළිපත්ත පෑගුවාට පස්සෙ මාව හරවල එවල. එය කිහිප දෙනකුගේ වැඩවල ප්‍රතිඵලයක් වෙන්න ඕන. මියන්මාහි බටහිර වෙදමහතුන් ද තමන්ට පුළුවන් උපරිම වෙහෙස දරා මා ආපසු හරවා එවා තියෙනවා. ඔවුන් සියල්ලන්ට පින් පැමිණවීම හැරෙන්න මට කරන්න පුළුවන් වෙන දෙයක් නැහැ.

 

මා හොඳ මිනිහකු නොවන බව කිහිප වතාවක් ම කියා ඇති. කොවිඩ් හැදෙන්න එයත් හේතුවක් වෙන්න ඇති. ඒ මොකක් වුණත් සිංහල ජාතිය ගොඩ ගන්න නම් ධාර්මික ව ජීවත් වෙන්න ඕන. අමෘතෙ ඇණවුම් කරන්න යන්නෙ නැතිව ඉපදෙන්න නැතිව ඉන්න උත්සාහ කරමු. පඬියන් නම් කියාවි මැරුණට පස්සෙ ඉපදීමක් නැහැ කියල. සමහර ජාතික චින්තකයොත් එහෙම කියන බව මා දන්නවා. බටහිර පළවුණු පුස් කෑ අදහස් තලු මර මරා වමාරමින් නැවත නැවත කන පඬියන් සම්ම ජාතියේ අලුතෙන් යමක් කියන්නේ නැහැ. අපට ඔවුන්ට වඩා වැදගත් සංසාරයක් ගැන විශ්වාසයක් නැති ඊනියා යථාර්ථවාදී ජාතිකවාදීන්. මේ ඊනියා ජාතිකවාදීන් ද අලුතෙන් දෙයක් කියන්නේ නැහැ. බටහිර පොත් නැත්තන් ඔවුනුත් අමාරුවේ. ඒත් ඔවුන් සාමාන්‍ය ජනතාව නොමග යවනවා. අපට ඔවුන් වැදගත් වන්නේ ඒ නිසා.