Main Logo

Friday 27 August 2021

ලොක්කෝ බොක්කෝ හා සොක්කෝ

 

ලොක්කෝ බොක්කෝ හා සොක්කෝ

 

වසංගතයක් ආවා කියා සමාජයේ ආකල්ප වෙනස් නොවන බව අද සිදුවේගන යන ක්‍රියාවලියෙන් පැහැදිලි වෙනවා. අපට රටක් ලෙස හිතන්න පුළුවන් ලංකාව සහභාගිවන ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක දී පමණයි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී වැඩි පිරිසක් එකතු වූ නමුත් සිංහල බෞද්ධ විරෝධී සිංහලයන් ද දෙමළ ත්‍රස්තවාදය සමග බැඳුනා. ක්‍රිස්තියානි කතෝලික පූජකවරුන් ද ඒ අතර සිටි බව කාදිනල්තුමාට අමතක වන්න බැහැ. ඇතැම් ඊනියා ප්‍රගතිශීලි භික්‍ෂූන් වහන්සේ කීප නමක් ද ඔවුන්ට එකතු වුණා.

 

අද වසංගතය අස්සෙත් සමහරු කැරොල් නටනවා. ඔවුන් වසංගතය තුරන් කිරීම සඳහා පළාත් සභාවලට තවත් බලතල දෙන්න ඕන කියනවා. මොවුන් තක්කඩියන්. සිවල් සාමාජිකයන් අතර, ක්‍රිස්තියානි සාම මණ්ඩලවල, ප්‍රතිපත්ති කේන්ද්‍රවල ඔවුන් දකින්න පුළුවන්. ඒ වගේ ම කිසි දා වලංගු නොවූ මාක්ස්වාදී සමාජවාදීන් අතර ද ඔවුන් ඉන්නවා. ඒ කිසිම රටක සමාජවාදයක් බිහිවන ලකුණක්වත් නැති විටක. සමහරු හිතනවා කියුබාව සමාජවාදී කියා. ඒ රටේ බලයට පත් වී ඇත්තේ ඊනියා කම්කරු පංතියක් ද? සමහරුන්ට අනුව මාක්ස්වාදය දැන සිටි එක ම වාම නායකයා වූ රෝහණ විජේවීර මහත්තයාගෙ භාෂාවෙන් නම් නිර්ධන පංතිය ද?

 

මේ තක්කඩියන්ට අමතර ව ලොක්කන් ඉන්නවා. මහාවංසය සද්ධාතිස්ස යැයි හඳුන්වන තිස්ස කුමරුගේ මුල් කාලයේ ඔහු අයියාට රජකම නොදී රජ වෙන්න උත්සාහ කළා. ඔහු කඩොල් ඇතාත් විහාර මහා දේවියත් රැගෙන ගොස් රජවෙන්න බැලුවා. අයියත් එක්ක යුද්ධ කළා. ඒත් පැරදී අයියාගේ රාජ්‍යත්වය යටතේ දිගාමඬුල්ල සංවර්ධනය කළා.  ඔහුගේ කතා අතර අර අනුරාධපුර සරල ප්‍රෞඪ සංස්කෘතිය විදහා දැක්වෙන කතාවකුත් තියෙනවා. ගමනක් ගොස් පැමිණි සද්ධාතිස්ස කුමරු පන්සලේ උපාසක උපාසිකාවන් පිරී සිටි නිසා ගල්පොත්තක් උඩ වාඩි වී බණ අහලා. කිසිවකු ඔහු හඳුනාගෙන පන්සලට එක්ක ගිහිනුත් නැහැ.

 

එහෙත් අද තත්වය කුමක් ද? ලොක්කකු වාහන පේලියකින් යන විට අප අයින් වෙන්න ඕන. මෙය අද ඊයේ ඇති වූවක් නො වෙයි.  ඒ ලොක්කන්ට අමතර ව නිල බලය නිසා ලොක්කන් වූ අයත් ඉන්නවා. අද ඇතැම් බටහිර වෙද මහත්තුරු ක්‍රියා කරන්නේ සියල්ලට පළමු තමන්ගේ ඥාතීන්ට ඥාතීන්ගේ ඥාතීන්ට මිතුරන්ට මිතුරන්ගේ මිතුරන්ට එන්නත දිය යුතු ය යන ලෙකුකම හිතේ දරා ගෙන. පළාත් සීමා ඉක්මවා ගොස් එන්නත ලබා ගැනීම, භාර්යාවන් ස්වාමි පුරුෂයන් තුන් හතර දෙනාට එන්නත් ලබා ගැනීම ආදිය ගැන අහන්න ලැබෙනවා. එහෙත් ඔවුන්ගේ වෘත්තීය සංගම්වල නිලධාරීන් මාධ්‍යයේ පෙනී සිටින්නේ  රට වෙනුවෙන්! අවාසනාවකට සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ වෙනත් අයත් තම පොඩි පොඩි ලොකුකම් හිතට අරගෙන.


බටහිර වෙද මහතුන් වර්ජන කරලා තම මඩිය තරකර ගන්නවා. ඒ අතර සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ තවත් අය ද වර්ජනය කරනවා. කාටත් උගන්නන්න ඉන්න ගුරුබොරුවන් බටහිර වෙද මහතුන්ගෙන් ඉගෙන අවුරුදු විසිහතරක් පරණ ප්‍රශ්නයක් වසංගතය මගින් විසඳා ගන්න හදනවා.

   

ආණ්ඩුව එන්නත් කළමනාකරණය හමුදාවට භාරදුන් එක හොඳයි. බටහිර වෙද මහතුන්ට ඒ වැඩේ භාරදුන්න නම් අද වන විට එන්නත්වලට වෙච්ච දෙයක් හොයා ගන්නත් බැරි වෙනවා. අද අර අදක්‍ෂ පාලක රනිල් හමුදාව මේ වැඩවලින් ඉවත් කරන්න කියන්නෙ තම අනුගාමික බටහිර වෙද මහතුන්ට හා වෙද හාමිනේලාට තම ලොකුකම පෙන්වීමට අවස්ථාවක් ලබා දීමට. ඒත් දැන් මංගලත් නැති එකේ රනිල්ගෙ ලොකුකමටත් ප්‍රශ්නයක් වෙලා.

 

ලොක්කන්ට අමතර ව  තොගුන් ඉන්නවා. මා තොගා කියන්නේ තොග වෙළඳාමේ ඉන්න අයකුට. තොගා බොහෝ විට සාමාන්‍ය භාෂාවෙන් තගා කෙනකුත් වන්නේ තග දාන නිසා. අද හාල් සීනි ගෑස් සහ තවත් භාණ්ඩවල මිළ ඉහළ යන්නේ මේ වසංගතය අස්සෙන් රටක් ගැන නොබලා තම මඩිය තර කර ගන්නා තොගාලා නිසා. ඔවුන් ජනතාවට ගෑස් පෙන්නලා ආණ්ඩුවට තග දානකම් බලා ඉන්න එක නම් ආණ්ඩුවේ සෞඛ්‍යයට හොඳ නැහැ. වසංගතය අස්සෙන් අරාබි වසන්තයක් මගින් ආණ්ඩු පෙරලන්න බලන් ඉන්න අයට තොගාලා සෘජුව හරි වක්‍රව හරි ආධාර කරනවා.

 

ඊළඟට වීරයන් ඉන්නවා. අද රටේ වීරයකු කියන්නේ නීතිය කඩා බේරෙන්න පුළුවන් අයකුට. මාර්ග සංඥාව රතු තියෙද්දී පොලීසියේ ඇස් වසා ඉන් පැන යන්න පුළුවන් අය වීරයන්. වීරකම එක්ක තරමක ලොකුකමකුත් එනවා. මෙය පාසල් වියේ සිට එන්නක්. පාසල් නොගොස් කට්ටි පනින එකා වීරයෙක්. පාසලින් කට්ටි පැන චිත්‍රපටයක් බැලීම, දුම් ඉරීම, ආදිය වීර ක්‍රියා. සිසුවියන් ඉන්නා තැනක දුවන බසයෙන් පැනීමත් වීරකමක්.

 

මේ වීරකම වැඩිහිටියන් බවට පත්වීමෙන් පසුවත් නැති වන්නේ නැහැ. අද අත්‍යවශ්‍ය සේවා හරි ඇඳිරි නීති හරි බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයේ ගමනක් ගිහින් ඒම වීර කමක්. එය ලොකුකම පෙන්වීමක් ද වෙනවා. එදිනෙදා හම්බ කරන් කන අය ගමනක් බිමනක් යැමට වඩා මෙය වෙනස්. අර වීරයන් අසල්වැසියන්ට තම වීරකම පෙන්වන්නේ දුවන බසයෙන් පැන සිසුවියන්ට වීරකම පෙන්වූ අය මෙන්.

 

තව විවිධ කොටස් ඉන්නවා. බොක්කන් ගැන නොකියා ම බැහැ. බොක්කන් කියන්නේ ලොක්කන් තම බොක්කේ මිතුරන් හරි තමන් ලොක්කන්ගේ බොක්කේ මිතුරන් හරි කියා පෙන්නන අය. බොක්කන් ලොක්කන්ගේ ආධාරයෙන් නීති කඩනවා. නීති නවනවා කියන එක සුළු දෙයක්. ලංකාව සංචරණ නීති පැනවීම අතින් බොහෝ රටවලට වඩා ඉදිරියෙන් ඉන්නවා. එය ආණ්ඩුවට ලැබෙන හොඳ සහතිකයක්. ඒත් මිනිසුන් ගෙදර ඉන්න එක අතින් ඇත්තේ පහළ තැනක. ඒ වීරයන්  ලොක්කන් හා බොක්කන් නිසා.

 

මේ සියළු දෙනා මැද සොක්කන් හැමදාමත් තැළෙනවා. වසංගතය නම් ලොක්කා ද බොක්කා ද සොක්කා ද කියා බලන්නේ නැහැ. ඒත් අපේ ආකල්ප වෙනස් වන්නේත් නැහැ.