Main Logo

Saturday 21 August 2021

රට සම්පූූර්ණයෙන් නොවසා කොවිඩ් පරදවමු

 

රට සම්පූූර්ණයෙන් නොවසා කොවිඩ් පරදවමු

 

අද ලිපියක් ලියන්න හිටියේ නැහැ. ඒත් ඊයේ ජනාධිපති ගෝඨාභය ජාතිය ඇමතීමෙන් පසු මෙය ලියන්න හිතුනා. එය සාර්ථක කතාවක්. කතාවේ මුල  ආණ්ඩුව මෙතෙක් කොවිඩ් සම්බන්ධයෙන් කර ඇති වැඩ සමාලෝචනය කෙරුණා. ආණ්ඩුව පසුගිය වර දිගු කාලයක් රට මුළුමනින් ම මෙන් වසා තැබීමෙන් අපනයනයට වූ පාඩුවත් ගෙනහැර දැක්වුවා. එය ආණ්ඩුව කළ වරදක් පිළිගැනීමක්. වරද පිළිගැනීම හොඳ ගුණයක්.

 

ඊයේ කතාවේ හරය වුණේ රට සම්පූර්ණයෙන් වසා දැමුවහොත් රටට විශාල පාඩුවක් වන බව පෙන්වීමෙයි. අද විදේශ විනිමය වැඩි වැඩියෙන් අවශ්‍ය මොහොතක්. එන්නතත් අපට නිකම් ලැබෙන්නේ නැහැ. එහෙත් මේ විනිමය ඉපයීමට ඇති මං අවුරා ඇති අවස්ථාවක්. කිසියම් හේතුවක් නිසා සංචාරකයන් ලංකාවට එන්නේ නැහැ. ඔවුන් මාල දිවයිනට යනවා. අද අපට ඉතිරිව ඇත්තේ විදේශීය රටවල අපේ අය රැකියා කර එවන මුදලත් අපනයනයෙන් ලැබෙන විනිමයත්.

 

පසුගිය වතාවේ ජනතාව යම් ආකාරයකට ආධ්‍යාත්මික පැත්තටත් යොමු වුණා. එමෙන් ම දේශීය වෙදකමටත් වත්පිළිවෙත්වලටත් යොමු වුණා. ඒ සියල්ලත් එවර කොවිඩ් මර්දනයට උපකාර වෙන්න ඇති. ඒ ගැන ඊයේ කතාවේ සඳහන් නොවීම අඩුපාඩුවක් ලෙසයි මා දකින්නේ. එහෙත් ඊයේ අවශ්‍ය වුණේ සම්පූර්ණයෙන් රට වසා දැමීමෙන් සිදුවන පාඩුව ඉස්මතු කිරීමයි. අද වන විට ආධ්‍යාත්මික පැත්ත දේශීය වෙදකම ජනමාධ්‍ය මගින් ජනතාවගෙන් ඈත් කෙරිලා. ඒ සියල්ල මිථ්‍යා ලෙස හුවා දක්වන ජනමාධ්‍යවේදීන් ජාතික යැයි කියා ගන්නා මාධ්‍ය ජාලවලත් ඉන්නවා.

 

ජනාධිපතිතුමා රට සම්පූර්ණයෙන් වසා දැමීමෙන් වන පාඩුව කීමෙන් පසු එක් වාක්‍යයකින් ඊයේ (අගෝස්තු 20) රාත්‍රියේ සිට තිස්වැනි දා අළුයම දක්වා රට වසා දමන බව කිවුවා. මා හිතනවා එතන තමයි කතාවේ පණිවුඩය තිබුණේ කියා. ඊයේ කිවුවේ රට වහන නමුත් සම්පූර්ණයෙන් වහන්නෙ නැති බව. අද වන විට ඇතැම් අත්‍යවශ්‍ය සේවාවන්ට අවසර දීලා.

 

රට සම්පූර්ණයෙන් වහන්න කියන්නේ බලය සඳහා මිනීමැරූ ජ වි පෙ, ඔවුන්ගෙන් කැඩී ගිය කෙකරගාමීන්, රවි කුමුදේශ්, ජෝසෆ් ස්ටැලින් ආදීන්. රට සම්පූර්ණයෙන් ම වහන්න කියන්නේ අපනයනයෙන් රටට ලැබෙන විදේශ විනිමය නවත්වා ආර්ථිකය කඩා කප්පල් කිරීමටයි. ඉහත සඳහන් අය සිංහල බෞද්ධ වූ බවක් හරි සිංහල බෞද්ධ මතයක් ප්‍රකාශ කළ බවක් හරි මා අහලා නැහැ. ඒ අයට අවශ්‍ය රට අරාජික කරලා බලය ලබා ගැනීමටයි. සමහර විට ඒ අතර මිනිස් ඝාතනත් සිදුවන්න පුළුවන්. කොවිඩ් නිසා මැරෙණ සංඛ්‍යාවට වැඩි සංඛ්‍යාවක් ජ වි පෙරමුණේ විප්ලව සඳහා මරා දමා තියෙනවා. රවි කමුදේශ්ලා දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටි අය. සමගි ජන බලවේගය තමන්ට බලය ලැබේය කියා අර පිරිසට සහාය දෙනවා.

 

රටක් සම්පූර්ණයෙන් වහන බව කියන්නේ මොකක් ද? කිසිවකු තම ගෙදර වැඩ හැර වෙනත් වැඩක් නොකිරීම ද? ජලය විදුලිය සැපයීම අත්‍යවශ්‍ය ද නැද්ද? ඒ අංශවල වැඩ කරන අය සේවයට වාර්තා නොකළ යුතු ද? ජල සැපයුම නතර කළහොත් අපට නොකා නොබී ශාරීරික අවශ්‍යතාත් ඉටු නොකර ඉන්න සිදුවේ ද? ඒ පෞද්ගලික ව. රටේ අපනයන නැවැත්තුවොත් රටට ම කන්න බොන්න විධියක් නැති වේවි. එවිට එන්නත ගෙන්නන්න විනිමය දෙන්නේ අහවලාගේ අහවලී ද? නැත්නම් වෙනත් කවුරුන්වත් ද?

 

ඕනෑම රට වැහීමක අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්න ඕන. අත්‍යවශ්‍ය සේවා කවරේදැයි තීරණය කරන්නේ කවුද? රවි කුමදේශ් ද ජෝසෆ් ස්ටැලින් ද ජ වි පෙ දේශපාලන මණ්ඩලය ද කෙකරගාමීන්ගේ කමිටුවක් ද? එය තීරණය කරන්න ඕන අමාත්‍ය මණ්ඩලයයි. මට තේරෙන හැටියට අමාත්‍ය මණ්ඩලය යම් සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කර තියෙනවා. එයට ඇඟලුම් කර්මාන්තය අයිති නොවිය යුතු යැයි ජ වි පෙ කියන්නේ රට බංකොළොත් කිරීමට මිස වෙනත් කරුණකට නො වෙයි.

 

අද ජනාධිපතිතුමා එන්නත පිළිබඳ දැඩි විශ්වාසයකින් ඉන්න බව පේනවා. ලංකාවේ එන්නත්කරණය ඉතා හොඳින් කෙරී ගෙන යනවා. දැනටමත් අවුරුදු තිහෙන් ඉහළ ඉතා විශාල ප්‍රතිශතයකට පළමු මාත්‍රාව දී තියෙනවා. දෙවැනි මාත්‍රාවත් 40%ක  ප්‍රමාණයකට දී තියෙනවා. බොහෝ ආසියා අප්‍රිකා රටවල් සමග සංසන්දනය කළ  විට ඒ ඉතා ඉහළ මට්ටමක්. ඒ පිළිබඳ ගෞරවය හිටපු සෞඛ්‍ය ඇමතිනියට රාජ්‍ය ඇමතිවරුන්ට සෞඛ්‍ය මෙන් ම හමුදා නිලධාරීන්ට හා තවත් අයට හිමිවෙන්න ඕන. සයිනොෆාම් එන්නතට අර කොළපාට ටයිපටි පළඳින කොළපාට සාරි අඳින වෙද මහත්තුරු වෙද හාමනේලා මුල දී විරුද්ධ නොවන්නට සමහර විට මේ වන  විට එන්නත්කරණයේ නිමාවක් දකින්නත් තිබුණා. එසේ නම් මේ තරමටවත් රට වහන්න වෙන තත්වයකට පත්නොවන්න තිබුණා.

 

එහෙත් අප එන්නත ගැන පමණක් විශ්වාසය තියන්න හොඳ නැහැ. අද ඊශ්‍රායලයේ ඇති වී තිබෙන තත්වය එයට නිදසුනක්. එන්නත් මාත්‍ර දෙකකින් නොනවතින්නත් ඉඩ තියෙනවා. එන්නත කරගෙන යන අතර දේශීය වෙදකමට තැන දෙන්න ඕන. අදාළ වයිරසය උගුරෙන් පහළට යෑම වැළැක්වීමට දුම් හට්ටිය ඇල්ලීම කරන්න පුළුවන්. ඒ අතර වයිරසය නැති කිරීම ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමෙන් කරන්න ඖෂධ දේශීය වෙදමහතුන් සතුව ඇති. දුම් හට්ටියෙන් වයිරසය යම් උෂ්ණත්වයක දී නැති වන බවයි කියැවෙන්නේ. ඒ කියන්නේ බාහිර ක්‍රියාකාරකම්වලිනුත් වයිරසය නැති කළ හැකිය යන්නයි. දේශීය වෙද මහත්තුරු ඒ ගැන තවත් කල්පනා කරනවා ද? 

 

අද ඔක්සිජන් තත්වය ගැන කතා කරනවා. මා අසා තිබෙනවා කුරුඳු පොතු කරාබු නැටි ආදියෙන් ලේ පිරිසිදු කරනවා කියා.  අප ආහාරවලට යොදන විවිධ කුළුබඩු එහි දී ඉතා වැදගත්. බටහිර දැනුමෙත් ORAC කියා සංකල්පයක් තියෙනවා. එයින් කියවෙන්නේ Oxygen Radical Absorbance Capacity හෙවත් ඔක්සිජන් ඛංඩක අවශෝෂණ ධාරිතාව, රුධිරයේ ගෙන යා හැකි ඔක්සිජන් ප්‍රමාණය, පෙනහළුවල ඔක්සිජන් ධාරිතාව, වැඩි කරනවා කියා . කරාබුනැටි කුරුඳු කහ ආදියෙහි මේ ධාරිතාව ඉතා ඉහළයි.

 

මා මෙයින් අහන්නේ හොට් ඩෝග්ස් ආදී ක්‍ෂණික කෑම  කා ඇතැම් අවස්ථාවල බල්ලන් මෙන් මැරී යනවා ද කුළුබඩු සහිත ආහාර  ගෙන අපේ සෞඛ්‍ය තත්වය යහපත් කර ගන්නවා  ද යන්නයි. අද ලෝකයේ ජීවන රටාව ආධ්‍යාත්මික ගුණවගාව වෙනස් වෙලා. අවශ්‍ය අය එන්නත ගන්නා අතර අප අපේ ජීවන රටාව ආහාර වෙනස් කර ගන්න ඕන. ආධ්‍යාත්මික ගුණවගාව වැඩි දියුණු කරගන්න ඕන.

 

රට සම්පූර්ණයෙන් වහන්න බැහැ. රට සම්පූර්ණයෙන් වහන්න කියන අයට ඇත්තේ රට බංකොළොත් කිරීමේ අවශ්‍යතාවයි. රට වසා නමුත් අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යමින් එන්නත අවශ්‍ය අයට දෙන අතර අපේ පැරණි ජීවන රටාවට ආහාරවලට යොමු වී කොවිඩ් පරදවමු. අපේ ක්‍රමයේ ආහාරත් ඖෂධ බව අමතක නොකළ යුතුයි.